தமிழ்
English
Contact
Monday 22nd April 2019    
පෙබරවාරි 13 ගුරු අරගලයට ආණ්ඩුවෙන් විසදුම් නෑ - මැයි 9-10 දෙදින අරගලයක්! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

පෙබරවාරි 13 ගුරු අරගලයට ආණ්ඩුවෙන් විසදුම් නෑ – මැයි 9-10 දෙදින අරගලයක්!



පාසල් අධ්‍යාපනය තුළ ගැටලු රාශියක් ඇතිකරමින් ගුරුවරු හා විදුහල්පතිවරුන්ට මුහුණ දෙන්නට සිදුව ඇති වෘත්තිය ගැටලුවලට අදාළ ඉල්ලීම් ඉටුකරන ලෙස බලකරමින් මැයි 9-10 දෙදින ඒකාබද්ධ ක‍්‍රියාමාර්ගයකට යන්නට ගුරු විදුහල්පති සංගම් විසින් තීරණය කර තිබේ.
අද 31 කොළඹ පැවති ගුරු විදුහල්පති සංගම් ඒකාබද්ධ මාධ්‍ය සාකච්ඡුාවකදී එම සංගම් නියෝජිතයන් විසින් මේ බව ප‍්‍රකාශ කරන ලදී. ඒකාබද්ධ ගුරු සේවා සංගමයේ සංවිධායක ලේකම් සංජීව බන්ඩාර මෙම ඒකාබද්ධ ක‍්‍රියාමාර්ගය සම්බන්ධව කළ අදහස් දැක්වීම මේ සමග සටහන් කරමු.

“පෙබරවාරි 13 වැනිදා ලංකාවේ ගුරුවරු විදුහල්පතිවරු ගෙන ගිය වෘත්තිය අරගලය සම්බන්ධයෙන් ආණ්ඩුව දක්වන ප‍්‍රතිචාරය ගැන අපට දැන් වැටහීමක් තිබෙනවා.
එක්දින අසනීප නිවාඩු ක‍්‍රියාමාර්ගය ප‍්‍රකාශයට පත් කළාම ආණ්ඩුව සද්ද නොකර හිටියේ අසාර්ථක වෙයි කියන අපේක්ෂාවෙන්. නමුත් ගුරුවරු සහ විදුහල්පතිවරු තමන්ගෙ ඉල්ලීම් වෙනුවෙන් එම දවසෙ අරගලය සාර්ථකව ක‍්‍රියාවට නැගුවම පාසල් අක‍්‍රිය වුණාම ආණ්ඩුව කලබල වුණා. කවදාවත් නැති කම්පාවකින් දරුවන්ගේ අධ්‍යාපනය ගැන කතා කරන්න පටන් ගත්තා. නමුත් පාසල් අධ්‍යාපනයට අත්‍යවශ්‍ය ගුරුවරු හා විදුහල්පතිවරුන්ගෙ සාධාරන අයිතින් ලබාදීම සම්බන්ධයෙන් ආණ්ඩුව කිසිදු වගකිවයුතු පියවරක් තවමත් අරගෙන නෑ. එක්කො ආණ්ඩුවට මේ ගුරුවරුන්ගෙ හා විදුහල්පතිවරුන්ගේ ප‍්‍රශ්න අදාල නෑ. ඒත් නැතනම් අපි ගත්ත ක‍්‍රියාමාර්ගය දැනිලා නෑ. එහමෙ නැත්නම් දැණුනත් නොදුණුනා වගේ ඉන්නවා. 13 වැනිදායින් පස්සෙ ගෙවුණු සති දෙකක් කියන්නෙ ආණ්ඩුවකට පොඩි කාලයක් නෙවෙයි, ආණ්ඩුවට මේ ප‍්‍රශ්න විසදන්න කාලය මදි නම් විසදන්න අවශ්‍ය පියවරක් තියන්න මේ කාලය ප‍්‍රමාණවත්. අපි දන්නවා මේ වසර 22ක කාලය තුල මේ ආණ්ඩුව විතරක් නෙවෙයි, පැවති හැම ආණ්ඩුවකටම මේ ලෙඩේ තිබුණා. හැම ආණ්ඩුවම ගුරුවරුන්ට නොසළකන, රවට්ටන, ගොනාට අන්දන පිළිවෙතක් ක‍්‍රියාත්මක කළා. මේ අසනීපය දිගටම පාලකයන්ට තිබුණා. මෙවරත් මේ ආණ්ඩුවටත් ඒ බෙහෙත අල්ලලා නැති බවයි පෙනී යන්නෙ. එක්කො අපිට ඒ බෙහෙත් වේල වැඩිකරලා දෙන්න වෙනවා. එහෙම නැත්නම් ඊට වඩා සැර බෙහෙතක් දෙන්න වෙනවා. අපි සියලු ගුරු සංගම් එකතුවෙලා තීරණයක් අරගෙන තිබෙනවා, ටිකක් සැර බෙහෙතක් පාවිච්චි කරන්න. පෙබරවාරි 13 වැනිදා එක්දින ක‍්‍රියාමාර්ගයක් ගත්තෙ. අපි මැයි 9-10 දෙදින ක‍්‍රියාමාර්ගයක් සදහා යන්න ගුරු සහ විදුහල්පති සංගම් ඒකාබද්ධව තීරණය කරලා තිබෙනවා. අපි ආණ්ඩුවට කියනවා මේ බෙහෙතත් සැර මදිනම් අපි ළග තව සැර බෙහෙත් තියෙනවා. මීට වඩා බරපතළ ක‍්‍රියාමාර්ගවලට යන්න අපි පසුබට වෙන්නෙ නෑ. අපිව එතැනට තල්ලු නොකර වහාම මේ ගුරුවරු විදුහල්පතිවරු මුහුණ දෙන ගැටලු විසදන්න කියලා ආණ්ඩුවට බලකරනවා.
පෙබරවාරි 13 වැනිදා එක් දින ක‍්‍රියාමාර්ගය සම්බන්ධව නොකර සද්ද හිටපු පාලකයන් එම ක‍්‍රියාමාර්ගය සාර්තක වුණාට පස්සෙ දිනයෙ පැය, තත්පරය දක්වා ගණන් හදලා දරුවන්ට සිදුවුණ පාඩුව ගැන අවලාද නගන්න පටන් ගත්තා. අපි දැන් දින දෙකක ක‍්‍රියාමාර්ගයකට ගියාම එදාටත් මේ විදියටම ගණන් හහදලා දරුවන් ගැන බොරු අනුකම්පාවකින් කතා කරයි.
දරුවන්ගෙ අධ්‍යාපනය ගැන මේ තියෙන උනන්දුව හොදයි, නරක නෑ. නමුත් අපි ආණ්ඩුවෙන් අහන්නෙ පාසල්වලට අයවැයෙන් මුදල් වෙන්කරද්දි මේ අනුකම්පාව අවධානය තියෙනවද? පාසල් පෙළපොත් කපද්දි, නිලඇදුම් කපද්දි, පාසල් පිටින් වසා දමද්දි ආණ්ඩුව මේ අවධානය යොමුකරන්නෙ නෑ. අවුරුදු 5-6 කිරි දරුවො තමන්ට පාසලක් ඉල්ලලා පාරවල් ගානෙ බෝඩ් අල්ලගෙන ඉන්නවා. එතකොට මේ අකිල විරාජලට අනුකම්පාව උපදින්නෙ නෑ. හැබැයි මේ දරුවන්ට උගන්වන ගුරුවරු අයිතිවාසිකම් ඉල්ලලා පාරට බහිනකොට මේ අයට බොරු අනුකම්පාවක් ඉපදිලා මේ දරුවන්ගෙ අධ්‍යාපනය ගැන කිඹුල් කදුලු හෙළනවා. අපි මේ රටේ මවුපියන් ඇතුලු සමස්ත ජනතාවට කියනවා මේ ආණ්ඩුව හෙළන කිඹුල් කදුලුවලට රුවටෙන්න එපා. මේ රටේ අධ්‍යාපන ක්ෂේත‍්‍රයම වෙලාගෙන තියෙන අර්බුදයට විසදුම් හොයන්න මේ ආණ්ඩුව කටයුතු කරන්නෙ නෑ, ඒ වෙනුවට තවතවත් අධ්‍යාපනය කප්පාදුකරන, අධ්‍යාපනය විකුණන දෙසට මේ ආණ්ඩුව කටයුතු කරන්නෙ. ඒ නිසා මේ ගැටලුවලට එරෙහිව ගුරුවරු අරගල කරද්දි ඒ සදහා මව්පියන්ගෙ සහ ජනතාවගේ සහයෝගය අපි ඉල්ලා සිටිනවා.
අපි මේ රටේ ජනතාවට හා විශේෂයෙන් පාසල් දරුවන්ගෙ මව්පියන්ගෙන් ඉල්ලා සිටිනවා, මේ ගුරුවරු සහ විදුහල්පතිවරු අරගල කරන්නෙ මොකක් නිසාද කියලා තේරුම් ගන්න කියලා. ගුරුවරුන්ට හෝ විදුහල්පතිවරුන්ට මේ රටේ පාසල් වහන්න අවශ්‍යතාවක් නෑ. හැබැයි මේ ආණ්ඩුව ගුරුවරයාගේ ප‍්‍රශ්නවලට විසදුම් දෙන්න උවමනාවක් නැත්නම් සටන් කිරීම හැර වෙන විකල්පයකුත් ඉතිරි වෙලා නෑ. දවසක් හරි දෙකක් හරි පාසල් වැහෙන එක මේ රටේ පාසල් දරුවන්ට පාඩුවක් තමයි. හැබැයි, මේ විදියටම මේ ගැටලු විසදන්නෙ නැතිව පාසල් පද්ධතිය ඔහෙ ්යන එකෙන් දරුවන්ට සිදුවන පාඩුව ඊටත් වඩා වැඩියි. ගුරුවරුන්ට සාධාරණ වැටුපක් නොලැබීමේ ප‍්‍රතිපලයක් විදියට අද මේ ක්ෂේත‍්‍රයට දක්ෂයන් එන්නෙ නෑ. ඉන්න දක්ෂයන් පවා ගුරු වෘත්තිය අතහැර යනවා, දක්ෂයන් රට හැර යනවා. ලෝකයේ විවිධ රටවල් දක්ෂ ගුරුවරුන්ට හොද වැටුප් ලබා දෙමින් ඔවුන් තෘප්තිමත්ව තබනවා. වෙනත් රටින් හොද ගුරුවරුන්ට වැටුප් සහ වරප‍්‍රසාද දෙමින් තමන්ගෙ රටේ අධ්‍යාපන ක‍්‍රියාදාමයට එකතු කරගන්නවා. විවිධ විෂය ප‍්‍රවීණයන් ගුරු වෘත්තියට ලබාගෙන රදවා ගන්න හොද වැටුපක් ලබාදෙනවා. අපේ රටේ ගුරුවරුන්ට ජිවත්වෙන්න වැටුපත් නොගෙවන ආණ්ඩුව මේ රටේ අධ්‍යාපනය කඩාවැටීමට වගකිව යුතු වෙනවා. ජීවත්වෙන්න ප‍්‍රමාණවත් වැටුපක් නැතිව තමන්ගෙ සේවය ගැන තෘප්තිමත්ව කටයුතු කරන්න ගුරුවරු නැත්නම්, මේ රටේ අධ්‍යාපනය හොද වෙන්නෙ කොහොමද? අපි අහනවා මේ රටේ මව්පියන්ගෙන්, ගුරුවරුන්ට ප‍්‍රමාණවත් වැටුපක් නැතිව දරුවන්ට හොද අධ්‍යාපනයක් නොලැබෙන එක ගැන ආණ්ඩුව වගකිව යුතු නැද්ද?
ඒ වගේම අපි කියනවා ගුරුවරුන්ට එක එක අමාත්‍යංශවල කොළ පුරවන වැඩ පවරන්නෙ නැතිව, ඒවයින් නිදහස් කරලා ගුරු වෘත්තියට අදාළ කටයුතු කරමින් දරුවන්ගෙ අධ්‍යාපනයට තමන්ගෙ කාලය ශ‍්‍රමය යොදවන්න අවශ්‍ය වටපිටාවක් හදන්න ඔ්න.
ආණ්ඩුව අධ්‍යාපනයට අයවැයෙන් අවශ්‍ය ප‍්‍රතිපාදන වෙන්කරලා නෑ. දළජාතික නිෂ්පාදිතයෙන් 6‍%ක් වෙන්කරනවා කියලා පොරොන්දු වුණාට දැන් ටික ටික මුදල් කපලා පාසල් නඩත්තු කිරීමේ බර වැටිලා තියෙන්නෙ මව්පියන්ගෙ කරපිටට. අද පාසල් යන වයසේ දරුවන් 450000ක් පාසල් යන්න නොහැකිව ඉන්නවා, මව්පියන්ට ඒ පාසල් වියදම් දරාගන්න බැරි නිසා. ඉතින් දරුවො ගැන ආණ්ඩුවට ඇත්ත කැක්කුමක් තියෙනවා නම් මේ ප‍්‍රශ්න විසදිය යුතුයි, වහාම මේ ගැටලු විසදන්න කියලා අපි ආණ්ඩුවට බලකරනවා. ගුරුවරු සහ විදුහල්පතිවරු විදියට මේ අරගලය කරන්නෙ ආන්ඩුවට ඒ බලකිරීම කරන්න බව අපි මේ රටේ මව්පියන්ට හා ජනතාවට මතක් කරනවා. ඒ වගේම මේ ගුරුවරු හා විදුහල්පතිවරු කරන මේ අරගලය මේ රටේ සාමාන්‍ය ජනතාවට අයිති පොදු ප‍්‍රශ්න වෙනුවෙන් කරන අරගලයක් බව අපි අවධාරණය කරනවා. මේ රටේ දරුවන්ගෙ අධ්‍යාපනය හොදම මට්ටමකට ගෙන ඒමේ අරමුණ ඇතිව මේ ගුරු සහ විදුහල්පති සංගම් ගෙනයන ඒකාබද්ධ අරගලයට මේ රටේ සියලු බලවේග සහයෝගය දියයුතු බවත් විශේෂයෙන් මව්පියන් මේ අරගලය ශක්තිමත් කරන්න සහයෝගය දිය යුතු බවත් අපි කියන්නෙ ඒ නිසා. මැයි 9-10 දෙදින වෘත්තිය අරගලයට ගුරුවරු හා විදුහල්පතිවරු ගත්ත තීරණය ජයග‍්‍රහණය කරා ගෙනයන්න, එයින් බලපෑමක් ඇතිකර මේ රටේ ගුරුවරු වසර 22ක් තිස්සෙ විදින පීඩාව අවසන් කරන්න සහ අධ්‍යාපන ක‍්‍රියාදාමය ගුණාත්මකව වර්ධනය කරන්න අවශ්‍ය සහයෝගය ලබා දෙන්න කියලා අපි අවසන් වතාවටත් ඉල්ලා සිටිනවා.”