தமிழ்
English
Contact
Tuesday 27th October 2020    
පොලිස්පති සිහිනයෙන් බේගල් ඇදබෑම ගැන දේශබන්දුට පොලිස් වෘත්තික සංවිධාන චෝදනා! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

පොලිස්පති සිහිනයෙන් බේගල් ඇදබෑම ගැන දේශබන්දුට පොලිස් වෘත්තික සංවිධාන චෝදනා!



බස්නාහිර පළාත භාර ජ්‍යෝෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් දේශපාලන ගැතිකම් කිරීම නිසා ජනතාව අතර පිළිකුලට ලක්ව ඇති පොලිසිය තවදුරටත් විශ්වාස කළ නොහැකි බොරුකාර තත්වයට ඇද වැටෙන බවත් පොලිස් වෘත්තික සංවිධානයක් චෝදනා කරයි.

පොලිස් දෙපාර්තමේන්තුව තුළ නීතිය හා මහජන ආරක්ෂාව නිසි ලෙස ක්‍රියාත්මක කරන නිලධාරින් සිටින බවත් පත්වන ආණ්ඩුවලින් වාසි ලබාගැනීමේ අරමුණින් සැලියුට් ගහන, උසස්වීම් හා තනතුරු ලෝභයෙන් ජනතාව පෙළන නිලධාරින් විසින් එවැනි නිලයන් පහත් තැනකට ඇද දමන බවද ඔවුන් චෝදනා කරයි. මෙම චෝදනාව ඔවුන් විසින් මුහුණුපොත හරහා ප්‍රචාරය කර ඇත්තේ පසුගිය ජූනි 9 වැනිදා කොළඹ පැවති සාමකාමී උද්ඝෝෂනයකට පොලිස් ප්‍රහාරයක් එල්ලකර එය සාධාරණිකකරණය කිරීමට දේශබන්දු තේන්නකෝන් විසින් ගත් උත්සාහය නිසාය.

බස්නාහිර පළාත භාර ජ්‍යෝෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිධුරයට පත්වීමෙන් පසුව මීළඟ පොලිස්පති වීමේ සිහිනයක සිටින ඔහු සාමකාමීව පැවැත්වූ නිහඬ විරෝධයකට පහරදීමට පොලිසියට නියෝග කිරීමේ වරද වසාගන්නට මාධ්‍ය හමුවේ බොරු ප්‍රකාශයක් කළ බවද මෙම පොලිස් නිලධාරි සංගමය චෝදනා නගයි.

කොල්ලුපිටිය අමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය අබියස විරෝධතාවක් සංවිධානය කිරීමට එරෙහිව අධිකරණ නියෝගයක් තිබියදී එය උල්ලංඝනය කළ පිරිස අත්අඩංගුවට ගත් බව නියෝජ්‍ය පොලිස්පතිවරයා මාධ්‍ය කැමරාවලට ප්‍රකාශයක් කර ඇත. ඔහු පැවසුවද එවැනි උද්ගෝෂණයක් නොමැතිව, වැඩිහිටි කාන්තාවන් ඇතුළු පුද්ගලයන් 22ක් අත්අඩංගුවට ගනු ලැබුවේ තානාපති කාර්යාලයට දුරින් පිහිටි බස් නැවතුමකදී බව මාධ්‍ය මගින්ද ප්‍රසිද්ධියට පත්ව ඇති කාරණයක් බව මෙම චෝදනාව නගමින් ඔවුන් පවසා ඇත. එසේම මාධ්‍ය හමුවේ තවත් අසත්‍ය ප්‍රකාශයක් ලෙස අධිකරණ නියෝගය, ඉන්පෙර දින විරෝධතාකරුවන් වෙත බාරදුන් බවට නියෝජ්‍ය පොලිස්පතිවරයා පවසන්නේ පොලිස් නිලධාරියකු නොව, වරදකර අතටම හසුවීමෙන් පසුවත් සාමාන්‍ය හොරෙකු නිදහසට කරුණු කියන ආකාරයෙනි. එවැනි නියෝගයක් විරෝධතාවයේ සංවිධායකයන්ට භාරදුන් බවට පොලිසිය සතුව කිසිදු සාක්ෂියක් නොමැති බව කොල්ලුපිටිය පොලිසියේ ප්‍රධාන නිලධාරියකු පසුව තම හිතවතුන්ට පවසා ඇති අතර එවැනි අසත්‍ය ප්‍රකාශ නිසා අධිකරණය හමුවේ දණ්ඩනයට ලක්වීමේ ඉඩක් ඇති බවද එහිදී ප්‍රකාශවී ඇත.
විරෝධතාව කොල්ලුපිටියේ පැවැත්වීම අවලංගුකර ඒ සඳහා පැමිණි පිරිස වගර ශාලාව දෙසට ගමන්ගත් බව පොලිසියට සාක්ෂි තිබියදී සහ අධිකරණ නියෝගයද බල නොපවත්වන තත්වයකදී එම ස්ථානයට ගොස් ඉලක්ක සහගතව විරෝධතාව සංවිධානය කළ දේශපාලන පක්ෂයේ නායකයන් අත්අඩංගුවට ගෙන ඇත්තේ දේශබන්දු තෙන්නකෝන්ගේ පෞද්ගලික නියෝග ක්‍රියාත්මක කළ පොලිස් නිලධාරින් පිරිසක් බව පොලිස් වෘත්තික සංගමය අනාවරණයකරගෙන තිබේ.

විරෝධතාවට සහභාගිව සිටි ප්‍රසිද්ධ දේශපාලන නායකයන් දෙදෙනකු දෙසට අත දිගුකර, අරුන් දෙන්නා ගන්නවා යැයි දේශබන්දු තෙන්නකෝන් කිසියම් පොලිස් නිලධාරියකුට මහ හඬින් නියෝග කරන ආකාරය මාධ්‍ය කැමරාවල සටහන්ව ඇත. එසේ නියෝග කරනු ලැබුවේ කුරුඳුවත්ත තැපැල් කාර්යාලය ඉදිරිපස සමාජ දුරස්තභාවයද සහිතව පැවත්වුණු නිහඩ, සාමකාමී විරෝධතාවක් මැදට පැමිණිමෙන් පසුව බව මාධ්‍ය වීඩියෝ දර්ශන සාක්ෂි හමුවේ. ප්‍රසිද්ධ ස්ථානයකදී මහජන සාමය බිඳ දමා නොසන්සුන් කැළඹීමක් ඇති කිරීමේ අරමුණ ඇතිව සිදුකළ අපකීර්තිමත් ආක්‍රමණයක් සිදුකළ නිලධාරියකු ලෙස ජ්‍යෝෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පොලිසියේ ඉතිහාසයට එක්ව ඇති බව පෙන්වා දෙයි. එසේ අප්‍රසාදය පළ කරන පොලිස් වෘත්තිකයන් විසින් මෙවැනි පොලිස් නිලධාරියකු පොලිස්පති සිහිනය සැබෑකර ගන්නවා නම් තමන්ට තවදුරටත් පොලිසිය සහ ජනතාව අතර කිසිදු සංහිඳියාවක් පවත්වාගන්නට නොහැකි බවද ප්‍රකාශකර ඇත.

ජ්‍යෝෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් ජූනි 10 වැනිදා පස්වරුවේ සිදුකළ අත්අඩංගුවට ගැනීම් සම්බන්ධව එහි සිටි මාධ්‍යවේදීන් හමුවේ සිදුකළ ප්‍රකාශය පහත පළ වේ.