தமிழ்
English
Contact
Saturday 24th October 2020    
පොලිසිය , සාමකාමී විරෝධතාවක් කොටුකර අධිකරණ නියෝග අපහරණය කළ හැටි!! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

පොලිසිය , සාමකාමී විරෝධතාවක් කොටුකර අධිකරණ නියෝග අපහරණය කළ හැටි!!



“යටි බඩට ගහන්න එපා!” දුමින්ද නාගමුව එසේ ඉල්ලා සිටියේ, ජූනි 9වැනිදා කොල්ලුපිටියේදී පොලිස් ජීප්රථයකට නංවාගෙන පහරදෙන අවස්ථාවේදීය. පසුදා ඔහු, ශාරීරික සංකූලතා හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් විය. මින් පෙරාතුවද, විරෝධතාවකදී පොලිස් පහරදීමකදී දකුණු ඇස අසළ සිදුවු තුවාලයක් හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලැබීය. ඔහු මෙදා අත්අඩංගුවට ගනු ලැබුවේ කොල්ලුපිටිය පොදු වෙළඳසල් සංකීර්ණය ඉදිරිපස බස් නැවතුම අසළදීය. කොල්ලුපිටියේ, ගාලුපාර අසළ පිහිටි අමෙරිකන් තානාපති කාර්යාලය ඉදිරියේ සංවිධානය කළ විරෝධතාවක් සඳහා යාමට පැමිණියද පොලිසිය විසින් ගෙන ඇති පියවර නිසා විරෝධතාව පැවැත්විය නොහැකි තත්වයක් ඇතිව තිබිණි.

කොල්ලුපිටිය පොලිසියේ ස්ථානභාර නිලධාරි ප්‍රධාන පොලිස් පරික්ෂක සුමිත් ගුණරත්න විසින් පෙර දින(8) කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයෙන් එම විරෝධයට එරෙහිව තහනම් නියෝගයක් ඉල්ලා තිබිණි. කොරෝනා නම් භයානක වසංගතයක් පවතින අතර පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සේනාධීර ගුණතිලක (සංවිධායක ලේකම් වුවද ප්‍රධාන ලේකම් ලෙස වැරදියට තනතුර සඳහන් කරමින්), එම පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව ඇතුලු පිරිසක් අමෙරිකන් තානාපති කාර්යාලය අසළ විරෝධතාවක් සංවිධානය කරන එම විරෝධතාව වැළැක්වීමේ නියෝගය මහෙස්ත්‍රාත්වරයා ලබා දී තිබුණු අතර එය නම්කරන ලද වගඋත්තරකරුවන් දෙදෙනාට ඉදිරිපත් කිරීමක් හෝ එය කියවීමක් සිදු නොවිණි. පොලිසිය පැමිණ බස් නැවතුම අසළ සිටි පෙ.ස.ප. ක්‍රියාකාරින් බලහත්කාරයෙන් ගෙන යන්නට සූදානම් වූයේ ඔවුන් කිසිදු නීති විරෝධී ක්‍රියාවක් සිදුකර නොමැති තත්වයක් යටතේය.

අධිකරණ නියෝගයක් ලබාගෙන තිබුනේ එක්සත් ජනපද තානාපති කාර්යාලය අවට විරෝධතාවක් වැළැක්වීමට වුවද පොලිසිය සිදුකළේ අධිකරණ නියෝගය, නිකරුණේ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට තමන්ට ලැබුනු වරෙන්තුවක් ලෙස සළකමින් ක්‍රියාත්මකවීමය. එහිදී පෙ.ස.ප. ක්‍රියාකාරිහු විරෝධය පළ කරමින් මෙසේ කලබලයක් සිදුකරමින් තමන් වෙත කඩාපනින්නේ කුමක් නිසාදැයි විමසා සිටියහ. තමන්ට අධිකරණ නියෝගයක් ඇති බව පවසමින් පොලිසිය එහි සිටි කාන්තාවන් අත්අඩංගුවට ගැනීමට ක්‍රියාකළ අතර වැඩිහිටි කාන්තාවක් පොලිසියේ බලහත්කාරය නිසා පාරේ ඇදවැටුණි. ඇයගේ කෝපාන්විත විරෝධය නිසා පොලිසිය මඳක් පසුබට විය. කෙසේවෙතත් පොලිස් කාන්තාවන් මැදිහත්ව ඇය අත්අඩංගුවට ගනු ලැබිණි. මේ ආකාරයට එහි සිටි කිහිපදෙනකුම WP KO 0375 අංක දරණ කොම්පඤ්ඤවීදිය පොලිසියේ ජීප්රථයට තල්ලුකර ගෙනයාමට සූදානම් කෙරිණී.

මේ අතර, තමන්ගේ ජංගම දුරකතනය පොලිසියෙන් කඩාපැන්න අවස්ථාවේ සොරාගෙන ඇති බව තරුණ කාන්තාවක ප්‍රකාශ කළාය. පොලිස් නිලධාරින් මෙසේ ජංගම දුරකථන සොරකම් කරන්නේ නම් පර්ස් පවා පරිස්සම් කරගත යුතු බවට පිරිස අතර කතාබහක් ඇති විය. (පසුව ඇයගේ ජංගම දුරකතනය පොලිසිය විසින්ම ලබා දී තිබිණි.) අවට රැස්ව සිටි සාමාන්‍ය ජනතාව මෙන්ම ජනමාධ්‍යවේදින් එහි පැමිණ සිදුවන දේ ගැන විමසා සිටියේ එවිටය. විරෝධතාව පැවැත්වීමක් හෝ අධිකරණ නියෝගය කියවා එය උල්ලංඝනය කිරීමක් කරන්නට පෙරාතුවම අත්අඩංගුවට ගැනීම එසේ කළ බවට චෝදනා කරමින් පොලිසිය විසින් බලය අයුතු ලෙස පාවිච්චි කිරීමක් බව පැහැදිලිය. විරෝධතාවයේ සංවිධායකයකු ලෙස දුමින්ද නාගමුව අමෙරිකන් තානාපති කාර්යාලය දෙසට යන්නට එතැනට පැමිණියේ මේ අවස්ථාවේදීය. සිදුවීමක් නිරීක්ෂණය වීම නිසා ඔහු පැමිණ තම හිතවතුන්ගෙන් විමසා සිටියේ “මෙතන මොකද වෙන්නෙ?” යනුවෙනි. එහිදී පොලිසිය පස්වරු 1.00ට පමණ ඔහු අත්අඩංගුවට ගැනීමට කටයුතු කරණ ලදී. තමන් එතැනින් ගමන්කරන අවස්ථාවේ මෙතැනට පැමිණි බවත් මෙසේ අත්අඩංගුවට ගන්නට සිදුකළ වරද කුමක්ද යන්නත් ඔහු විමසා සිටියේය. පොලිස් නිලධාරින්ගේ ප්‍රතිචාරය වූයේ ඔහුට පහර දෙමින් ජීප් රථයට තල්ලුකර දැමීමය. තම යටිබඩ පෙදෙසට පා පහර එල්ල කිරීම නිසා ඔහු වේදනාවෙන් හා විරෝධය පළකරමින් කෑගසනු වීඩියෝ දර්ශනවල සටහන් විය.

නීතිඥ නුවන් බෝපගේ මෙම සිදුවීම දැක පොලිසිය විසින් මෙසේ අත්අඩංගුවට ගැනීමක් සිදුවන්නේ ඇයිදැයි විමසා සිටි අතර එයට ප්‍රතිචාරය වූයේ ඔහු අත්අඩංගුවට ගැනීමය. අධිකරණ නියෝග කඩා ඇති බව පොලිසිය පවසා සිටි අවස්ථාවේ නීතිඥවරයා දැඩි ලෙස විරෝධය පළකරමින් පවසා සිටියේ නීතිමය අවශ්‍යතාව අනුව, අධිකරණ නියෝගයක් තමන් දුටුවේ නැති බවත් එය කියවන ලද්දේද නැති බවය. නීතිය අතට ගෙන සිටි පොලිස් ප්‍රධානින්ට එය වැදගත් නොවීය. නීතිඥවරියක් පැමිණ තමන් නීතිඥවරියක් බව ප්‍රකාශ කරමින් පොලිස් නිලධාරින් විසින් මෙසේ අත්අඩංගුවට ගැනීමේ නීතිමය තත්වය කුමක්දැයි විමසා සිටි අවස්ථාවේ ඇයද අත්අඩංගුවට ගන්නා ලදී. මේ අවස්ථාවේදී පොලිසියට අවශ්‍ය අධිකරණ නියෝගය පරිදි එක්සත් ජනපද තානාපති කාර්යාලය අසළ විරෝධතාව වැළැක්වීම නොව, පෙ.ස.ප. ක්‍රියාකාරින් හා විරෝධතාවට එක්වන්නට පැමිණි වැඩි පිරිසක් අත්අඩංගුවට ගැනීම බව පැහැදිලි විය.

කොල්ලුපිටිය පොලිසියේ නිලධාරින්, ඇතුලු පොලිස් ප්‍රධානින් පිරිසක් සමග එහි පැමිණි බස්නාහිර පළාත භාර නියෝජ්‍ය පොලිස්පති තෙන්නකෝන් මුදියන්සේලාගේ දේශබන්දු තෙන්නකෝන් ජනමාධ්‍ය වෙත ප්‍රකාශ කළේ සියලු නිරෝධායන ක්‍රම අනුගමනය කරමින් විරෝධතාව වැළැක්වීමට පොලිස් නිලධාරින් 100ක් තමා සමග සිටින බවය. එහෙත් එම අවස්ථාවේ ලබාගත් ඡායාරූප හා වීඩියෝ දර්ශන අනුව නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ ප්‍රකාශය අසත්‍යයක් බව පැහැදිලි වේ. පොලිසියේ නිලධාරින් කිහිපදෙනකු ආරක්ෂක ඇඳුමින් සැරසී සිටියද ප්‍රකාශය කළ නිලධාරියා ඇතුළු විශාල පිරිසක් මුඛ ආවරණ හැරුණුකොට, සැරසී සිටියේ සාමාන්‍ය නිලඇඳුමින් පමණකි. අත්අඩංගුවට පත්වීමෙන් වැළකී පිරිස එතැනින් පිටව ලිබර්ටි වටරවුම දෙසට යනවිට පොලිස් භටයන්ද ඔවුන් හඹා යන්නට විය. භික්ෂුන් වහන්සේලා දෙනමක් පොලිසියේ මෙම අත්තනෝමතිකත්වය හා හිරිහැරදායක හැසිරීමට විරෝධය පළකිරීමේදී අත්අඩංගුවට ගන්නා ලද්දේ ලිබර්ටි සිනමාහල් සංකීර්ණය අසළදීය.

මේ අතර පෙ.ස.ප. ක්‍රියාකාරීහු එකිනෙකා අදහස් හුවමාරු කරගනිමින් කොළඹ නගර ශාලාව දෙසට යන්නට පටන් ගත්හ. පස්වරු 2.00ට පමණ කොළඹ නගර සභාව අසළ ලිප්ටන් වටරවුමට එක්වූ ඔවුහු, සමාජ දුරස්තභාවය සහිතව නිහඬ විරෝධතාවක් ආරම්භ කළහ. පක්ෂයේ ප්‍රධාන ලේකම් කුමාර් ගුණරත්නම් හා අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ ඔවුන් සමග එක්ව සිටිනු දක්නට ලැබුනි. මිනිත්තු 15ක් පමණ යනවිට පොලිසිය එතැනට ළඟවනු දක්නට ලැබුනි. ඉහළ පොලිස් නිලධාරින් පිරිසක් සමඟ එහි පැමිණි බස්නාහිර පළාත භාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සිය පහළ නිලධාරින්ට නියෝග කළේ වහාම ගොස් විරෝධතාකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙසය. මේ වනවිට පෙ.ස.ප. නායකයන් විරෝධතාව අවසාන කිරීමට විද්‍යුත් මාධ්‍යවේදීන් වෙත අදහස් පළ කිරීම ආරම්භ වී තිබිණි.

මාධ්‍යවේදීන් වටකරගෙන සිටි කුමාර් ගුණරත්නම් සහ අසළ සිටි පුබුදු ජයගොඩ දෙසට අත දිගුකරමින් නියෝජ්‍ය පොලිස්පතිවරයා නියෝග කළේ “අරුන් දෙන්නා ගන්න!” යනුවෙනි. ඔහු කිසියම් පූර්ව විනිශ්චයක සිට එහි පැමිණ සිටි බව අනාවරණය වූයේ ඒ අන්දමටය. පොලිස් නිලධාරින් මාධ්‍යවේදීන් සමග සිටින පෙ.ස.ප. ක්‍රියාකාරින් වෙත ළංවූ අතර අත්අඩංගුවට ගැනීමක් සිදුවන්නට නියමිත බව වටහාගත් විරෝධතාකරුවන් එහි පැමිණ පොලිස් නිලධාරින්ට විරෝධය පළ කරන්නට විය. කෙසේවෙතත් පොලිස් නිලධාරින් කුමාර් ගුණරත්නම් අල්ලාගෙන යනවිට ඔහු නැවත ඇදගෙන එන්නට පිරිසට හැකි වුවද එසේ මැදිහත්වූවන් එකා දෙන්නා අල්ලාගෙන පොලිස් ට්‍රක් රථයකට දාගන්නට කටයුතු කෙරිනි.

මෙහිදී පොලිස් නිලධාරින්ට තමන්ගේ රාජකාරිමය අවශ්‍යතාව කුමක්ද යන්න හෝ නීතිමය සීමාවන් පිළිබඳ සැළකිල්ලක් නොතිබුණු බව පැහැදිලිව පෙනෙන්නට තිබිණි. ඔවුන් සිදු කළේ දේශබන්දු තෙන්නකෝන්ගේ නියෝග පිළිපැදීමය. එහිදී තරුණ කාන්තාවන් පැහැරගෙන යමින් ජීප්රථයට වීසිකරන දර්ශනයක් සමාජ ජාලවල සංසරණය විය. මේ අවස්ථාවේ කිසිදු කාන්තා නිලධාරිනියක් එහි මැදිහත්වූයේ නැත. විරෝධතාවට එක්ව සිටි කාන්තාවන් අත්අඩංගුවට ගනු ලැබුවේ පිරිමි නිලධාරින් විසින් ලිංගික හිංසනයන් සිදුකරමිනි. මෙම අත්අඩංගුවට ගැනීමේදී ඊට විරෝධය දක්වමින් පෙ.ස.ප. ක්‍රියාකාරින් පොලිසියෙන් විමසා සිටියේ නිරෝධායන පිළිවෙත් උල්ලංඝනයක් හෝ වෙනත් නීති විරෝධී කිසිවක් නොමැතිව අත්අඩංගුවට ගන්නේ කෙසේද යන්නය.

අධිකරණ නියෝගය ලිප්ටන් වටරවුමේදී විරෝධතා දැක්වීමක් සම්බන්ධව නොවෙන තත්වයක් තුළ පොලිසිය අධිකරණ නියෝගය අවභාවිත කරමින් තිබිණි. දේශබන්දු තෙන්කෝන් නමැති නිලධාරියා පූර්ව නිශ්චිත සැලැස්මකින් සිය වෘත්තියමය උසස්වීම් සම්බන්ධ අරමුණක සිටින බවක් පැහැදිලිව පෙනෙන්නට තිබිණි. ගෝඨාභය රාජපක්ෂ පාලනය යටතේ මීළග පොලිස්පති තනතුර ලබාගන්නට වුවද ඔහුට සිහිනයක් ඇතිවා විය හැකිය. සමාජ දුරස්තභාවය සහිතව නිහඬ සාමකාමී විරෝධතාවක් මැදට කඩා පැනීමෙන් නිරෝධායන පිළිවෙත් උල්ලංඝනය කළේ දේශබන්දු ඇතුලු පොලිසියයි. කොරෝනා ආසාදනය ව්‍යාප්තවීම වැළැක්වීමට මාස ගණනක් පවත්වාගෙන ගිය මීටරයක දුරස්තභාවය බිඳදමමින් පොලිස් නිලධාරින් විරෝධතාකරුවන් අතරට කඩාපැන්න ආකාරය අනුව, පැහැදිලි වුනේ පොලිසියට කොරෝනා වසංගතය වැළැක්වීමට අවශ්‍ය පියවර ගැන කිසිදු වගකීමක් නොතිබුනු බවයි. ඔවුන් සාමාන්‍ය එළිමහනේ රාජකාරිකරන කොළඹ නගරයේ විවිධ ස්ථානවල ගමන්ගත් පොලිස් නිලධාරින් වූ අතර සමාජ දුරස්තබාවය සහිතව මුඛ ආවරණ පැලඳ සිටි විරෝධතාකරුවන් වෙත පැන ඔවුන්ව ඇදගෙන ගියේ සෞඛ්‍ය අවදානමකට ඇදදමමිනි.

අත්අඩංගුවට ගත් විරෝධතාකරුවන් ගණන 53ක් බවද ඔවුන් වරාය අසළ පොලිස් මූලස්ථානය කරා ගෙනයන ලද බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මාධ්‍යවේදීන් වෙත හෙළිකරන ලදී. කෙසෙවෙතත් විරෝධතාකරුවන් අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත ඉදිරිපත්කර වාර්තා රැගෙන කොටුව මහෙස්ත්‍රාත්වරයා හමුවට යොමු කිරීමට පොලිසිය කටයුතුකරන ලදී.
මහෙස්ත්‍රාත්වරයා හමුවේ පොලිසිය කරුණු දක්වන ලද්දේ වසංගත තත්වයක් රටපුරා පැතිර යමින් තිබෙන අවස්ථාවක එම වසංගතය ව්‍යාප්තවන ආකාරයෙන් නිරෝධායන පිළිවෙත් උල්ලංඝනයවන අයුරින් කටයුතු කළ, එසේම විරෝධතා නොපැවැත්විය යුතු බවට අධිකරණ නියෝගයක් තිබියදී එය නොතකා අධිකරණයට අපහාස කළ චූදිතයන් 53ක් අධිකරණයට ඉදිරිපත්කරන බවය.

එහෙත් විරෝධතාවට සහභාගිවූවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් ප්‍රකාශ කළේ නිරෝධායන නීති යනු ශාරීරික සෞඛ්‍ය සම්බන්ධ පනවන පිළිවෙත් බවද එක්සත් ජනපද තානාපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවය යනු මූලික මිනිස් අයිතිවාසිකමක් සම්බන්ධ දෙයක් බවත්ය. පොලිසිය විසින් නිරෝධායන පිළිවෙත්, වසංගත ව්‍යාප්තවීම වැනි කරුණු පටලවමින් කරුනු ඉදිරිපත්කර ඇත්තේ, ඔවුන් කියන සෞඛ්‍යාරක්ෂක අරමුණකින් නොව, මෙම විරෝධතාව වැළැක්වීමට බව නීතිඥවරයා පෙන්වා දුන්නේය. මින් පෙරාතුව විරෝධතා ගණනාවක් සමාජ දුරස්තභාවය ඇතිව රටපුරා පැවති බව පෙන්වාදුන් නීතිඥ සාලිය පීරිස්, එවැනි විරෝධතා වැළැක්වීමට පොලිසිය අධිකරණය ඉදිරියට ගොස් තහනම් නියෝග ගෙන නැති බව පැවසීය. එසේම අරුමුගම් තොණ්ඩමන්ගේ අභිවයෙන් පසුව දින ගනනාවක් අවමංග්‍ය කටයුතුවලට ජනතාව රැස්වන විට පොලිසිය නිරෝධායන පිළිවෙත් උල්ලංඝනයවන ආකාරයෙන් සිදුවන කටයුතු සම්බන්ධ කිසිදු මැදිහත්වීමක් සිදුකර නැති බව පැවසූ නීතිඥවරයා අවධාරනය කළේ මෙම නිශ්චිත අවස්ථාවේ විරෝධතාවක් වැළැක්වීමට අධිකරණ නියෝග තබාගැනීමට පොලිසිය අදහස් කළේ සෞඛ්‍යාරක්ෂාව අරමුණු කරගෙන නොව දේශපාලන අරමුණකින් බවය. පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ විරෝධතාව පැවතියේ එක්සත් ජනපද පොලිසියේ නිලධාරියකු විසින් කළ මිනිස් ඝාතනයක් සම්බන්ධව ලොව පුරා පවත්වන විරෝධතාවන්ට සහයෝගයක් ලෙස බව පෙන්වා දෙමින් ඔහු පැවසුවේ මෙම විරෝධතාව සිදුවනු වැළැක්වීම පොලිසියේ අරමුණ වූ බවත් එහිදී සෞඛ්‍ය ආරක්ෂක ක්‍රම රකිනවාට වඩා ඒවා උල්ලංඝනය කරමින් කටයුතු කළේ පොලිසිය බව ඡායාරූප සාක්ෂි සහිතව පෙන්වා දිය හැකි බවට මහෙස්ත්‍රාත්වරයා හමුවේ කරුනු දැක්වීය.

මෙහිදී පොලිසිය වෙනුවෙන් කරුනු දැක්වූ ප්‍රධාන පොලිස් පරික්ෂකවරයා පෙන්වා දුන්නේ විරෝධතාකරුවන් රජයේ දේපල විනාශකර ඇති බවත් ඒ සම්බන්ධව සාක්ෂි සහිතව කරුනු දැක්විය හැකි බවත්ය. එම කරුනු ලෙස ඔහු පවසා සිටියේ කුරුඳුවත්ත පොලිසියේ ස්ථානභාර නිලධාරියාගේ නිලඇඳුමේ ඉණපටිය කැඩී ගොස් ඇති බවද පදක්කම් ගැලවී ඇති බවත්ය. මෙහිදී පොලිසිය විසින් ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධ කරුණු විමසමින් මහෙස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේ අධිකරණය විසින් විරෝධතාව වැළැක්වීමට නියෝගයක් නිකුත් කරනවිට එම අධිකරණ බලය පිහිටුවීම පොලිසියට පැවරෙන රාජකාරිය බවයි. විරෝධතාකරුවන්ට අදාළ තහනම බලපවත්වන පරිශ්‍රයට ඇතුලුවීමට මාර්ග බාධක පිහිටුව ලද්දේද යන්න මහෙස්ත්‍රාත්වරයා විමසා සිටි විට එසේ නොකළ බව පොලිසියේ පිළිතුර විය. එහිදී මහෙස්ත්‍රාත්වරයා පොලිසියේ ක්‍රියාමාර්ග දෝෂදර්ශනයට ලක් කරමින් පවැසුවේ අධිකරණ බලය පවත්වාගෙන යමින් විරෝධතාවක් සිදුවීම වැළැක්වීමට මිස විරෝධතාකරුවන්ට තහනම් කළ ප්‍රදේශයට ඇතුලුවී අධිකරණ නියෝගය කඩකරන්නට ඉඩදී පොලිසියේ බලය යෙදවීමක් අපේක්ෂා නොකරන බවයි.

කරුනු සලකා බැලීමෙන් පසුව විරෝධතාකරුවන් 53 දෙනාට ශරීර ඇප නියම කරමින් ඔවුන් නිදහස්කර යැවීමටත් ජූනි 11 වැනිදා ඔවුන් නැවත අධිකරණයට කැඳවීමටත් නියෝග කළේය.