தமிழ்
English
Contact
Tuesday 25th February 2020    
පෞද්ගලික විශ්වවිද්‍යාල පනතට එරෙහි සංවිධාන පෙළ ගැසෙති! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

පෞද්ගලික විශ්වවිද්‍යාල පනතට එරෙහි සංවිධාන පෙළ ගැසෙති!



තත්ත්ව සහතික කිරීමේ හා ප්‍රතීතනය මුවාවෙන් ගෙන එන පෞද්ගලික විශ්වවිද්‍යාල පනත (QAAC) පරාජය කිරීම පිණිස සංවිධාන ගණනාවක විරෝධය ඊයේ(21) සවස 3.00 ට මරදාන සී.එස්.ආර් ශාලාවේදී සටහන් විය.

වර්තමාන ආණ්ඩුව විසින් නැවත වටයකින් පෞද්ගලික විශ්ව විද්‍යාලයන් නීතිගත කිරීමේ අවශ්‍යතාව ඉටු කිරීමේ උවමනාව මත යෝජිත උසස් අධ්‍යාපන තත්ත්ව සහතික කිරීමේ හා ප්‍රනීතනය කිරීමේ පනතට විරෝධය දක්වාමින් ජනාධිපතිවරයාට භාරදීමට අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය මගින් සංවිධානය කරන ලද විරෝධතා ප්‍රකාශයකට අත්සන් තැබීම එහිදී සිදු කරන ලදී. මෙම පනත පරාජය කිරීමට දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති, බහුජන සංවිධානයන් සාමාජිකයෝ රැසක් සහාය පොළ කරමින් අදාළ ප්‍රකාශයට අත්සන් තැබීමට එක්ව සිටියහ.

QAAC පනත නීති ගත වූවහොත් පෞද්ගලික විශ්ව විද්‍යාල ආරම්භ කිරීමට මෙතෙක් තිබූ නීතිමය බාධා ඉවත්වීම, අධ්‍යාපනය වෙළද භාණ්ඩයක් වීම සිදුවන්නට නියමිත බව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු මහිල් බණ්ඩාර දෙහිදෙණිය පැවසීය. එවිට සමස්ථ අධ්‍යාපනයේම ගුණාත්මකභාවය පිරිහීමක්, පෞද්ගලික හා රාජ්‍ය විශ්ව විද්‍යාල සම මට්ටමේ තබා ශ්‍රේණි ගත කිරීමේ වැඩ පිළිවෙලක් හරහා රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතිය අකර්මන්‍ය වීමක් සිදුවන බව ඔහු පෙන්වා දුන්නේය. විශ්ව විද්‍යාල වෙත පවතින සාපේක්ෂ ස්වාධීනත්වයක් අහිමි කොට සම්පූර්ණ දේශපාලන අධිකාරියක් යටතට පත් කෙරෙන ‘තත්ත්ව සහතික කිරීමේ හා ප්‍රතීතන කොමිසම‘ යනුවෙන් නව ව්‍යූහයක් සකස් කිරීම නිසා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ කාර්යභාරය ද අහෝසි වී යාමට නියමිත බවද අ.වි.ශි.බ.ම. කැඳවුම්කරු අවධාරණය කර සිටියේ. ඒ සමගම ශ්‍රී ලංකා වෛද්‍ය සභාව, හෙද සභාව, ඉංජිනේරු ආයතනය, වාස්තු විද්‍යා සභාව වැනි වෘත්තීය සභාවන්ට සිය වෘත්තීන්ගේ ගුණාත්මක පැවැත්ම සඳහා මැදිහත්වීමට ඇති බලය අහෝසි වී යාම, දේශීය විදේශීය පෞද්ගලික විශ්ව විද්‍යාල වලට කිසිදු පාලනයකින් තොරව ලංකාවේ ක්‍රියාත්මක විය හැකියාව ඇති වීම ඇතුළු බලපෑම් ගණනාවක් සිදුවීම නිසා අධ්‍යාපන ක්ෂේත්‍රයටම දැඩි අර්බුදයකට ලක් වන බවට අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් අවධාරණය කරණ ලදී.

ඒ අනූව නිදහස් අධ්‍යාපනය රැක ගැනීම උදෙසා අතීතයේ සිට දැවැන්ත කැප කිරීමක් කල ශිෂ්‍ය ව්‍යාපාරයක් ලෙස මෙම පනත පරාජයට ඕනෑම කැපකිරීමක් සිදුකිරීමට ශිෂ්‍ය ව්‍යාපාරය සූදානම් බව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු මහීල් බණ්ඩාර ප්‍රකාශ කළේය.

මෙහිදී විරෝධය පළ කිරීමේ එකාබද්ධ ප්‍රකාශයට අත්සන් කළ දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති, බහුජන සංවිධාන හා ශිෂ්‍ය සංවිධාන නියෝජිතයන් මෙසේය.

  • දුමින්ද නාගමුව – පෙරටුගාමී සමාජවාදී පක්ෂය
  • ඉශාර දියෙස් – මහජන එක්සත් පෙරමුණ
  • වාසුදේව නානායක්කාර – ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ
  • සරත් කහගල්ල – ස්වාධීන ලංකා ගුරු සංගමය
  • වෛද්‍ය ප්‍රසාද් – රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය
  • නලින්ද ජයතිස්ස – ජනතා විමුක්ති පෙරමුණ
  • ලීනස් ජයතිලක – එක්සත් කම්කරු සම්මේලනය
  • ධර්මසිරි ලංකාපේලි – මාධ්‍ය සේවක වෘත්තිය සමිති සම්මේලනය
  • වෛද්‍ය යමින්ද – නිදහස් අධ්‍යාපනය උදෙසා වෘත්තීයවේදීන්
  • චතුර සමරසිංහ – ලංකා වතු සේවා සංගමය
  • මහින්ද ජයසිංහ – ලංකා ගුරු සේවා සංගමය
  • ලලිත් කීර්ති ගුණරත්න – ලංකා වැවිලි සේවා සංගමය
  • නිලාන් ප්‍රනාන්දු – සෞඛ්‍ය සේවක මධ්‍යස්ථානය
  • චින්තක රාජපක්ෂ – ඉඩම් හා කෘෂිකාර්මික ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය
  • මයුර සේනානායක – ප්‍රගති ගුරු සංගමය
  • ශෙහාන් අතුකෝරළ – අන්තර් උසස් ජාතික ඩිප්ලෝමා ශිෂ්‍ය බලමණ්ඩලය
  • තරිඳු ප්‍රසාද් – අන්තර් උසස් ජාතික ගණකාධිකරණ ඩිප්ලෝමා. පාඨමාලාව සුරැකීමේ ශිෂ්‍ය එකමුතුව
  • ජෝසෆ් ස්‍ටාලින් – ලංකා ගුරු සංගමය
  • කේසර කෝට්ටගොඩ – ලංකා බැංකු සේවක සංගමය
  • තැන්නෙ ඤාණානන්ද හිමි – ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමය
  • බුවනෙක තිසරු – දේශීය වෛද්‍ය ශිෂ්‍ය කමිටුව
  • ටැම්පිටියේ සුගතානන්ද හිමි – සමස්ත ලංකා සෞඛ්‍ය සේවක සංගමය
  • ධම්මික මුණසිංහ – කම්කරු අරගල මධ්‍යස්ථානය
  • මහීල් බණ්ඩාර දෙහිදෙණිය – අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය
  • මොහොමඩ් නාසික් – වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව
  • රත්කරව්වේ ජිනරතන හිමි – අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බලමණ්ඩලය