தமிழ்
English
Contact
Tuesday 15th October 2019    
'බැස්ටිල් දිනය' - සාමුහික අරමුණු වෙනුවෙන් ජනතාව ක්‍රියාකාරි වූ ඉතිහාසය කියවමු! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

‘බැස්ටිල් දිනය’ – සාමුහික අරමුණු වෙනුවෙන් ජනතාව ක්‍රියාකාරි වූ ඉතිහාසය කියවමු!



සියවස් ගණන් රාජකීය පාලනයෙන් හා රදළ-පූජක ආධිපත්‍යයෙන් පරිපීඩිත ප්‍රංශ ජනතාව සංවිධානය වී බැස්ටීල් බලකොටුවට පහරදුන් දිනය එනම්, “බැස්ටීල් දිනය” ජූලි 14 යි!

1789 ජූලි 14 වැනිදා පැරිසියේ ජනතාව බැස්ටීලයට පහරදීම ප්‍රංශ විප්ලවයේ ආරම්භය ලෙස සැලකේ. පළමුවෙන්ම Hôtel des Invalides  මිලිටරි ‌රෝහල ආශ්‍රිත අවි ගබඩාවෙන් ගිනිඅවි පැහැරගත් ඔවුහු, වෙඩි බෙහෙත් ලබාගැනීමට බැස්ටීලය වෙත කඩාවැදුණාහ. ඔවුන්ට අවශ්‍ය වූයේ සන්නද්ධ ප්‍රහාරයකින් තමන් පෙළන පාලනය පරාජය කර තමන්ගේ අයිතිවාසිකම් දිනාගැනීමය.

ප්‍රංශයේ 16වැනි ලුවී රජු සහ මාරි ඇන්ටොයින්ට් බිසවගේ දුර්දාන්ත පාලනය පෙරළා දමන්නට එරට වැසියන් පෙළ ගැසු‌ණේ අසාධාරණ ලෙස බදු වැඩිකිරිමට ගත් තීරණයක් මුල් කරගෙනයි. එසේ නැගී සිටි ජනතාව ප්‍රංශයේ වැඩවසම් පාලනය සහමුලින් පෙරලා දමමින් ප්‍රංශ ධනපති විප්ලවයේ සටන්කාමිත්වය සදහා උපයෝගී කරගත්තේ එරට ආර්ථික බලය අත්පත් කරගෙන සිටි ධනපති වෙළෙද පැළැන්තියයි. පීඩිතයන්ට පාන් ගන්නවත් ආර්ථික හැකියාවක් නැති තැන පැරීසියේ කාන්තාවන් පෙළපාලියකින් ලුවී රජුගේ මාලිගයට ගිය විට බිසව මාරි ඇන්ටොයින්ට් ඔවුන්ට ‘පාන් නැත්නම් කේක් කාපල්ලා!’ යනුවෙන් කී බවට ඉතිහාස වාර්තා ඇත.

ලුවී රජ පෙළපත ප්‍රමුඛ වංශවතුන්ගේ අධි සුඛෝපබෝගී ජිවිත නඩත්තු කිරීමට අමතරව ප්‍රංශයේ කතෝලික පල්ලිය නඩත්තු කිරිමටත් තමන් දවස පුරා මැරි මැරී වෙහෙස වී නිපදවන දෑ කැප කරන්නට පීඩිතයන්ට සිදු විය. අමෙරිකානු ධනපතියන් විසින් බ්‍රිතාන්‍ය යටත්විජිත පාලනයට එරෙහිව කොලනිවල ජනයා සංවිධානය කරමින් අමෙරිකන් විප්ලවය සංග්‍රාමයක් බවට පත් වූ අවස්ථාවේ ප්‍රංශය සේනා සපයමින් සහාය දුන් අතර ඒ වෙනුවෙන් විශාල වැයක් ප්‍රංශයේ රජුගේ භාණ්ඩාගාරයට වැය කරන්නට සිදු විය.

මෙසේ ප්‍රංහ පාලකයන් විසින් ජනිත කළ සමාජ ආර්ථික අර්බුදයට විසදුම් ලෙස බදු වැඩිකිරීමක් කරන ලෙස වංශවතුන් කළ යෝජනාවට එකගවීම හැර විකල්පයක් 16වැනි ලුවීට නොතිබිණි. වසර 150කින් කැදවා නොතිබුණ රාජ්‍ය නියෝජිත සභාවක් කැදවා සිය තීරණය ඔවුන් ලවා ජනතාව මත පටවන්නට ලුවී රජුට අවශ්‍ය විය. එහෙත් එය ප්‍රංශ වැඩවසම් ආඥාදායකත්වයට පාරාවලල්ලක් වන බව තීරණය කරද්දී රජු අනුමාන කළේ නැත. ආර්ථික අර්බුදයට ජනතාව මත බදු බර පටවා ගෙනා විසදුම් දේශපාලන අර්බුදයක් හරහා ප්‍රංශ විප්ලවයට පාර කැපීය.

වත්මන් ලංකාවේ ජනතාව බදුබරින් මෙන්ම සමාජ ආර්ථික අර්බුදයක පීඩාවෙන් බැටකන අතර සිය අයිතිවාසිකම් වෙනුවෙන් තැන තැන හඩ නගති, සංවිධානය වෙමාන් විරෝධය මොලවති, දේශපාලන නායකයන් ඔවුන්ගේ ඉල්ලීම් මැතිවරණ සූදුවට යොදාගන්නට සූදානම්ය. එහෙත් පැන නැගෙන ජනතා අරගල ඔවුන්ගේ ජයග්‍රහණවෙනුවෙන් ඒකරාශි කරමින් ඒකාබද්ධ අරගලයක් වෙත ගෙන යන්නට නම් වාම ජනතා බලයක් වෙත නායකත්වය සැපයිය යුතුව ඇත. මැතිවරණ සමයේ ඡන්ද පොදි ගසන්නට ජනප්‍රියවාදී රංචුගැසීම් සිදුකරනවිට මැද පන්තික ඡන්ද හඹායනවුන්ට සැබෑ ජනතා අරගලවල නායකත්වය අමතක වේ. එබැවින් ජනතාවගේ අරමුණු වෙනුවෙන් වාම දේශපාලන ව්‍යාපාරයකින් මෙපිට ජයග්‍රහණ නොමැති බව 2015 දක්වාම අපේ දේශපාලන ඉතිහාසයේ අත්දැකීම් අපට කියා දෙයි. ප්‍රංශ විප්ලවයේ ජයග්‍රහණ පවා අත්පත් කරදෙන්නේ පීඩිතයන් සංවිධානාත්මකව හෝ අසංවිධානාත්මකව අරගල කිරීමෙන් බව මතකයට කැදවා ගත යුතුව ඇත.

ප්‍රංශ විප්ලවය පිළිබද වාර්තා චිත්‍රපට (උපසිරැසි අවශ්‍ය නම් අපගෙන් ලබා ගන්න [email protected] ඊමේල් ලිපිනයට දැනුම් දෙන්න)