தமிழ்
English
Contact
Sunday 15th December 2019    
‘බුදුසරණයි’ ගහගෙන ආණ්ඩුව ලොරියෙ අරන් එන්නෙ හොර හරක් ! - දුමින්ද නාගමුව | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

‘බුදුසරණයි’ ගහගෙන ආණ්ඩුව ලොරියෙ අරන් එන්නෙ හොර හරක් ! – දුමින්ද නාගමුව



හොර හරක් ලොරිය එන්නේ ‘බුදුසරණයි’ යනුවෙන් ඉස්සරහින් ගසා ගෙන බවත් ආණ්ඩුවේ දවසේ ආස්වාදයන්ට නොරැවටී ජනතාව විසින් සිදුවන දේ තේරුම් ගත යුතු බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප‍්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව පැවසීය.
එම පක්ෂයේ ප‍්‍රධාන කාර්යාලයේ අද(28) පැවැති මාධ්‍ය හමුවේදී හමුදාවට පොලිස් බලතල දීමට තරම් මේ දින කිහිපයේදී රටේ ඇති වූ හදිසි තත්වය කුමක්ද යනුවෙන් ඔහු විමසා සිටියේය.. මෙම මාධ්‍ය හමුවට එම පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩද සහභාගි විය.
දුමින්ද නාගමුව පළ කළ අදහස් සාරාංශයක් මෙසේය.
‘‘ගෝඨාභය රාජපක්ෂ ඇතුළු පොදුජන පෙරමුණ මැතිවරණයේදී කිව්වේ රටේ බරපතළ ආරක්ෂක තර්ජනයක් තිබෙනවා, ඒ නිසා සිංහල ඡුන්ද තමන් දෙන්න කියලා. අපි මේ තත්වය පැහැදිලි කළේ, ගෝඨාභය පෙන්නලා බය කරලා එක්සත් ජාතික පක්ෂය ඡුන්දය ඉල්ලනවා, සහරාන් පෙන්නලා බය කරලා පොදුජන පෙරමුණ ඡන්දය ඉල්ලනවා කියලා. බලයට ආවාට පසුව මට ආශිර්වාද කළේ භික්ෂුන් වහන්සේලා, මට ඡන්දය දුන්නේ සිංහල ජනතාව, දෙමළ සහ මුස්ලිම් ජනතාවගෙන් බලාපොරොත්තු වුණු සහයෝගය ලැබුණෙු නැහැ කියලා ගෝඨාභය කිව්වා. ඔහු පෙන්නුම් කළේ ඊළඟ මහ මැතිවරණය දක්වා යන්න බලාපොරොත්තු වන ගමන. ඒ වගේම දෙමළ සහ මුස්ලිම් ජනතාවට තර්ජනාත්මක බවකුත් ඔහුගේ ප‍්‍රකාශය තුළ තිබෙනවා.
පසුගිය සිකුරාදා ආණ්ඩුව පළමු ගැසට් නිවේදනය නිකුත් කරමින් හමුදාවට පොලිස් බලතල ලබාදීමට මහජන ආරක්ෂක පනතේ 12 වැනි වගන්තිය ක‍්‍රියාත්මක කළා. මහජන ආරක්ෂක පනතට අනුව හමුදාවට පොලිස් බලතල දෙන්න පුළුවන් කිසියම් නිශ්චිත කාලයකට, කිසියම් නිශ්චිත ප‍්‍රදේශයකට පමණයි. ඒ සඳහා එම ප‍්‍රදේශයේ සුවිශේෂී තත්වයක් තිබිය යුතුයි? අපි අහනවා මේ දවස් කීපයට මොකක්ද ඇති වෙච්ච හදිසි තත්වය?
සමහරු අහනවා, හමුදාවට පොලිස් බලතල දුන්නාම මොකක්ද ප‍්‍රශ්නය කියලා. ඔබට මතක ඇති පාස්කු ප‍්‍රහාරයෙන් පස්සේ හමුදාවට පොලිස් බලතල දුන්නා. ගාල්ල ප‍්‍රදේශයේ පාසලක පියෙක් – ඔහු කලින් හමුදාවේ සේවය කළ අයෙක් – තමන්ගේ දරුවා රැුගෙන යන්න ආපු වෙලාවේ එහි හිටි හමුදා නිලධාරියා එක්ක බහින්බස්වීමක් සිද්්ධ වුණා. ඒ වෙලාවේ හමුදා නිලධාරියා අර දරුවාගේ පියාට වෙඩි තියලා ඝාතනය කළා.
මේ සිද්ධියෙන් පස්සේ ඇතැමුන් ප‍්‍රකාශ කළා, වෙඩි තියනවා නම් දණ හිසෙන් පහළට වෙඩි තියන්න තිබුණේ කියලා. ඒ වෙලාවේ හමුදා මාධ්‍ය ප‍්‍රකාශකවරයා කිව්වා, පොලිසියට තමයි දණහිසෙන් පහළට වෙඩි තියන්න කියලා නීතියක් තියෙන්නේ, හමුදාවට එහෙම එකක් නෑ කියලා.
පොලිසිය තිබෙන්නේ රජය සහ ජනතාව අතර ඇති වන ගැටුම්වලට මැදිහත් වෙන්න. හමුදාව තිබෙන්නේ රාජ්‍යයන් දෙකක් අතර ඇති වන ගැටුම්වලට මැදිහත් වෙන්න. හමුදාවට පොලිස් බලතල දීම නිසා සිදු වුණු සිදුවීම්වල අත්දැකීම් උතුරේ ජනතාවට නොවෙයි, දකුණේ ජනතාවටත් හොඳට තිබෙනවා. රතුපස්වලදී හමුදාව වෙඩි තැබුවේ ඔය නීතිය යටතේ. කටුනායකදී රොෂේන් චානක ඝාතනය කළා.
ඇයි හමුදාවට පොලිස් බලතල දෙන්නේ? මහින්ද අමරවීර ඇමැතිවරයා ප‍්‍රකාශ කළා, ලබන මාර්තු මාසේ ගෙවන්න තියෙන ණය වාරිකය ගෙවා ගන්න බෑ, ඒ නිසා පටි තද කර ගන්න කියලා. ඒ ප‍්‍රශ්නයට උත්තරය තිබෙන්නේ දැන් ආණ්ඩුව පෙන්වන මැජික්වල නොවෙයි. ඒ මැජික් ලබන මහ මැතිවරණය වෙනකං පෙන්නයි. ඔය වගේ මැජික් අපි රනිල්-මෛත‍්‍රී ආණ්ඩුවේ දින සියය තුළත් දැක්කා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි ඉටු නොකර, ලෝක බලවතුන්ගේ උවමනාවන් ඉටු නොකර මේ ආණ්ඩුවටත් යන්න බෑ. ඇමරිකානු තානාපතිනිය බලාගෙන ඉන්නවා, දෙසැම්බර් 15ට පෙර එම්.සී.සී. ගිවිසුම අත්සන් කරන්න. චීනය සහ ඉන්දියාව ලංකාවේ ආර්ථිකය කොල්ල කන්න බලාගෙන ඉන්නවා. බදු සංදර්ශන පෙන්නුවට ආර්ථිකය ඇතුළෙන් පැසවලා තියෙන්නේ. ඒ නිසා මූල්‍ය අරමුදලේ කොන්දේසි ඉටු කරන්න යද්දි ඊට විරුද්ධව ජනතාවගේ විරෝධය මතු වෙනවා.
ඒ නිසා පටන් ගත් තැන සිටම ජනතාව බිත්තියට හේත්තු කරන්නයි හදන්නේ. හමුදාවට පොලිස් බලතල දෙන්නේ ඒ නිසා. ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියක් පැහැර ගෙන ගිහින් ප‍්‍රශ්න කරලා තිබෙනවා. තානාපති කාර්යාලයක නිලධාරිනියක් පැහැර ගන්න තරම් බරපතළ ක‍්‍රියාමාර්ගවලට යනවා නම්, මේ ආණ්ඩුවේ ප‍්‍රජාතන්ත‍්‍රවාද තේරුම් ගන්න පුළුවන්.
දැන් මේ ආණ්ඩුව මැද පාන්තික ස්ථරයක් මෝහනය කරන්න සමත් වෙලා තිබෙනවා. අපි ඔවුන්ගෙන්, විශේෂයෙන්ම සිංහල බෞද්ධ ජනතාවගෙන් ඉල්ලනවා, පාරවල්වල රාජ්‍ය ලාංඡන ගහනවා වගේ දවසේ ආස්වාදයන්ගෙන් මෝහනය වෙන්න එපා, ඒකෙන් විතරක් පාලනය තේරුම් ගන්න යන්න එපා කියලා. මේ තත්වය තේරුම් ගන්න. හරක් ලොරිය එන්නේ ඉස්සරහින් බුදු සරණයි කියලා ගහගෙන.
ජනතාවගේ අයිතිවාසිකම් අහිමි කරන, ප‍්‍රජාතන්ත‍්‍රවාදය යටපත් කරන ගමනක් ආණ්ඩුව යමින් ඉන්නේ කියා පැහැදිලියි. ඊට විරුද්ධව සංවිධානය වෙන්න කියලා ගොවි, කම්කරු, ධීවර, තරුණ, ශිෂ්‍ය, කාන්තා, සුළු ව්‍යාපාරික ඇතුළු සියලූම කොටස්වලින් ඉල්ලා සිටිනවා.’’