Posted on 01.16.2021 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
මියන්මාරයේ තයාගයක් ලෙස හිමිවූ මියන්කුමාර නමැති 16 හැවිරිදි ඇතා මේ වනවිට කෲර වධහිංසාවකට ලක් කෙරෙන බව 2019 ජනාධිපති අපේක්ෂකයකුව සිටි නාගානන්ද කොඩිතුවක්කු පොලිස්පතිවරයාට පැමිණිලි කර ඇත.
මෙම ඇතාට 2018 වසරේ බෙල්ලන්විල විමලරතන හිමි විසින් ආහාරදීමට යාමේදී කලබලවූ ඇතා පහරදීම නිසා ඒ හිමියන් අසාධ්‍යව රෝහල්ගතකළ පසුව මියගිය බව මාධ්‍ය වාර්තා පළ විය. එහෙත්, බෙල්ලන්විල විහාරය විසින් කළ නිල ප්‍රකාශයන් අනුව, විමලරතන හිමි රෝහල්ගතකරන ලද්දේ ඇතාට ආහාරදීමට යාමේදී ඇදවැටීම නිසාය. කෙසේවෙතත් ඒ සිදුවීමෙන් පසුව ඇත්පැටවා කෲර වධහින්සනයන් සිදුවන බවට වරින්වර පැමිණිලි කළද වෙනසක් සිදුව නැති බව නාගානන්ද කොඩිතුවක්කු සිය ලිඛිත පැමිණිල්ලෙන් පොලිස්පතිවරයාට දන්වා සිටී.
2013 වසරේ බෙල්ලන්විල පන්සලට බුරුමයෙන් තෑගි කළ ඇත් පැටවා මුහුණ දෙන අවාසනාවන්ත තත්වය සම්බන්ධව මීට ප්‍රථමයෙන්ද පැමිණිලි කර ඇතත් මෙම ඇතාට ඉදිරි හා පසුපස පාද දම්වැල්වලින් ගැටගසා තැබීම ආදී වධහිංසා දීර්ඝ කාලයක් පුරා සිදුවන බව ඒ ලිපියේ සටහන්කර ඇත.
සතුන්ට හිංසා පැමිණවීම ලංකාවේ අපරාධ වරදක් බව පෙන්වා දෙන හිටපු නීතිඥවරයා මේ සම්බන්ධ වහා මැදිහත්වන ලෙස ඉල්ලා සිටී.