Posted on 01.14.2022 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
බොරැල්ල සියලු සාන්තුවරුන්ගේ දේවස්ථානයෙන් අත්බෝම්බයක් සොයාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය නිවැරදි විමර්ශනයක් සිදුකර නැති බව අගරදගුරු මැලිකම් රංජිත් හිමි පවසා තිබේ. එම හිමියන් සඳහන් කළේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඇත්ත සෙවීමට නොව පොලීසිය කතාවක් ගෙතීමට උත්සාහ කරන බවයි.
එම හිමියන් මේ අදහස් පළකළේ, අද (13) කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වමිනි. පොලිසිය එම සිදුවීම සම්බන්ධයෙන් සී.සී.ටී.වී. දර්ශන පරීක්ෂා කිරීමේදී උදෑසන කාලයේ දර්ශන මග හැර සවස තුනෙන් පසුව දර්ශන පමණක් පරීක්ෂා කිරීම මෙම පරීක්ෂණ නොමග යැවීමට ගත් උත්සාහයක් යැයි සැකයක් මතුවන බව ද කාදිනල්වරයා සඳහන් කර තිබේ.
සිද්ධිය වූ දිනයේ සී.සී.ටී.වී. දර්ශන සියලු සාන්තුවරුන්ගේ දේවස්ථානය විසින් අද මාධ්‍යයට නිකුත් කර තිබුණි. සිද්ධිය වූ දිනයේ CCTV දර්ශන නැරඹීමේදී පිටතින් පැමිණෙන පුද්ගලයෙකු දක්නට ලැබෙන බවද මැල්කම් රංජිත් හිමි පවසා තිබේ.
එම දර්ශනවලට අනුව බෝම්බය තැබූ සැකකරු බෑගයක් අතැතිව 9.52ට පමණ දේවස්ථානයට ඇතුළු වෙයි.
බොරැල්ල ආනන්ද රාජකරුණා මාවතේ පිහිටි සියලු සාන්තුවරුන්ගේ දේවස්ථානයෙන් ජීව අත්බෝම්බයක් හමුවූයේ පසුගිය 11 වැනිදාය.
බොරැල්ල පොලිස් ස්ථානාධිපතිවරයාට ලැබුණු තොරතුරකට අනුව සොයාගන්නා ලද එම අත්බෝම්බය පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් එදිනම නිෂ්ක්‍රීය කරනු ලැබීය.
පසුව සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගැනුණි. පොලීසිය පවසා තිබුණේ සැකකරුවන් අතර සිටින 56 හැවිරිදි අයෙකු 13 හැවිරිදි දරුවෙකු ලවා අත්බෝම්බය සුරුවම මත තබා තිබූ බව විමර්ශනවලදී හෙළිවූ බවයි.