தமிழ்
English
Contact
Monday 10th December 2018    
බොරුවට කෑ ගහන්නෙ නැතිව ආණ්ඩුවෙ ආර්ථික පිළිවෙත් අසාර්ථක බව පිළිගන්න - පුබුදු ජයගොඩ | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

බොරුවට කෑ ගහන්නෙ නැතිව ආණ්ඩුවෙ ආර්ථික පිළිවෙත් අසාර්ථක බව පිළිගන්න – පුබුදු ජයගොඩ



නවලිබරල් ආර්ථික උපායමාර්ගය වසර 40ක් ක්‍රියාත්මක කිරීමෙන් පසුව ආනයන පාලනය කළ යුතුයැයි අගමැතිවරයා පවසන්නේ නම් එය විවෘත ආර්ථික ප්‍රතිපත්තිය නොවන බවත් ඒ අනුව ආණ්ඩුවේ ආර්ථික පිළිවෙත් පරාජය වී ඇති බව පිළිගන්නා ලෙසත් පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි.

රුපියල අවප්‍රමාණවීම හා උද්ගතව ඇති ආර්ථික අර්බුදය සම්බන්ධව පෙ.ස.ප. මාධ්‍ය හමුවකදී අදහස් පළ කරමින් මේ බව පැවසුවේ පෙ.ස.ප. අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ විසිනි. ඔහු එහිදී රුපියල අවප්‍රමාණ කිරීමේ අවස්ථා ඉතිහාසයේ සිට සිදුව ඇති බව ප්‍රකාශ කරමින් මෙසේද පැවසීය.

“රුපියලේ අගය අවප්‍රමාණ වෙන්න බලපෑම තීරණාත්මක අවස්ථා දෙකක් තියෙනවා. එයින් එකක් තමයි 1977 නොවැම්බර් 16 වැනිදා රුපියලේ අගය, මහබැංකුවේ අධීකරණයට යටත්ව වෙළෙදපොල ඉල්ලුම සැපයුම මත තීරණය කරන්න ඉඩ හැරීම. දෙවැනි අවස්ථාව තමයි වත්මන් රනිල් මෛත්‍රි හවුල් ආණ්ඩුව විසින් 2015 සැප්තැම්බර් 4 වැනිදා රුපියලේ අගය පිළිබදව මහබැංකුවේ මැදිහක්වීම අවසන් කරන්න තීරණය කිරීම. ඒ නිසා රුපියල කඩා වැටෙන්න පටන් ගත්තා. මේ නිසා 2015 ජනවාරි 8 වැනිදා මේ ආණ්ඩුව බලයට පත්වන අවස්ථාවෙ ඩොලරයට රුපියල් 130ක පමණ අගයක් වූ වටිනාකම මේ වනවිට රු. 170 දක්වා රුපියල අවප්‍රමාණය වීම.

මේ කාලය අතරතුර ජංගම ගිනුම විවෘත කළා. ආනයන අපනයන සීමා ඉවත් කළා. ඕනැම දෙයක් රටතුළට එන්න ඉඩ දුන්නා. ප්‍රාග්ධන ගිනුම විවෘත කරන්න තීරණය කළා. අද ඔය කෑගහන මහින්ද රාජපක්ෂ තමයි 2011 අවුරුද්දෙ අයවැය යෝජනාවලින් ප්‍රාග්ධන ගිනුම විවෘත කිරීමට යෝජනා කළේ. ඉන්පස්සෙ රවි කරුණානායකගෙ අයවැයෙන් ‘නොනිමි කර්තව්‍යයන් ඉටු කිරීම- මුල්‍ය වෙළද පොල ලිබරල්කරණය’ ලෙස ඒ කාරණයම කිව්වා. පහුගිය අවුරුද්ද‍ෙ මංගල සමරවීර අයවැය ඉදිරිපත් කරමින් කිව්වා, මුල්‍ය වෙළදපොළ ලිබරල්කරණය කරන්න ඕන, ඒකට ප්‍රාග්ධන ගිණුම විවෘත කරන්න වෙනවා කියලා. ජංගම ගිනුම කියන්නෙ ලංකාවෙන් යවන හා ගෙන්වන භාණ්ඩ සම්බන්ධ ආනයන අපනයන සම්බන්ධ ගිනුමක්. ප්‍රාග්ධන ගිණුම කියන්නෙ ලංකාවට එන සහ ලංකාවෙන් පිටත යන විදේශ විනිමය සම්බන්ද ගිනුම. ප්‍රාග්ධන ගිනුම වහලා කියලා කියන්නෙ ලංකාවට විදේශ විනිමය ගෙන එන එක හෝ විනිමය පිටකරන එක හරි පාලනයකට යටත්කර තිබීමයි.

දැන් මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුවේ සිට මේ ආන්ඩුව දක්වා හැම ආණ්ඩුවකම උපායමාර්ගය වුනේ ප්‍රාග්ධන ගිනුම විවෘත කිරීමයි. ලංකාවට එන සහ පිටතට යන විදේශ විනිමය පාලනය අහෝසිකර දැමීමයි එයින් සිදුවෙන්නෙ. ඒ කියන්නෙ ලංකාවට ගෙන ආව ඩොලර්වල වටිනාකම වැඩිවෙන කොට ඒ ඩොලර් ගෙන ආ ආයෝජකයන් කිසිම වගවිභාගයකින් තොරව ඒ ඩොලර් ආපහු අරගෙන යනවා. දැන් ඇවිල්ලා තියෙන්නෙ ඒ වගේ තත්වයක්. ඒ ඩොලර් පැමිණීම හා පිටවීම මිට කලින් පාලනය කෙරුණා. එකවර ඩොලර් අරගෙන යන්න බෑ. කොටස් වශයෙන් මහබැංකුවෙන් අවසර ඇතිව අරගෙන යන්න වෙනනෙ.කාග නිර්ණයක් තියෙනවා. අද ගෙනයන්න බෑ මාස 3කින් ගෙනයන්න කියනවා. අන්න ඒ නීතිමය ක්‍රියාවලිය තමයි අහෝසි කෙරුණේ. මේ නිසා දැන් ලංකාවෙ තියෙන ඩොලර් වේගයෙන් පිටතට ඇදී යමින් තිබෙනවා.

මේ නිසා ප්‍රාග්ධන ගිනුම විවෘත කිරීම සහ ජංගම ගිනුම විවෘත කිරීමත් ආයෝජකයන් කැදවීම තමයි එකම උපායමාර්ගය කියලා ඒ වෙනුවෙන් ලකංාවෙ තියෙන සියලු කර්මාන්ත විනාශ කිරීම හරහා මේ ප්‍රශ්නය අද මේ තත්වයට ඇවිත් තියෙනවා. ඒ නිසා මේක පැහැදිලිවම ආර්ථික ප්‍රතිපත්ති පිළිබද ප්‍රශ්නයක්. දැන් පහුගිය දවස්වල මහින්ද රාජපක්ෂ මාධ්‍ය හමුවක් තියලා කිව්වා එයාගෙ කාලෙ රුපියල ස්ථාවරව තිබුණා කියලා. කොහොද එයාගෙ කාලෙ එහෙම ස්ථාවර අගයක් තිබුණෙ? 2005ත 2015ත් අතර රාජපක්ෂ පාලනය යටතේ 29%කින් රුපියල අවප්‍රමාණ වුණා. මේ ආණ්ඩුව යටතේ 30%න් රුපියල අවප්‍රමාණ වෙලා. ලංකාවෙ වැඩියෙන්ම රුපියල අවප්‍රමාණ වුනේ ජේ.ආර්.ගෙ කාලෙ. 1977ත් 1989ත් අතර 350%න් රුපියල බාල්දු වුණා. මහින්ද රාජපක්ෂ කොච්චර කෑ ගැහුවත් මේ ආණ්ඩුව මට්ටමටම එයාගෙ කාලෙත් රුපියල බාල්දු වුණාත එයා කියනවා එයාගෙ පාලන කාලයෙ තිබුනෙ නිෂ්පාදන ආර්ථිකයක්ලු. දැන් මේ වෙළදපොළ ආර්ථිකය නිසාලු රුපියලට මෙහෙම වෙන්නෙ. මහින්ද රාජපක්ෂගෙ කාලෙ නිෂ්පාදන ආර්ථිකයක් තිබුණද? මොනවද ඇති කරපු නිෂ්පාදන? ජාත්‍යන්තර මුල්‍ය අරමුදල, ලෝක බැංකුව වගේ අධිරාජ්‍යවාදී මුල්‍ය ආයතනවල පදේට නටමින් ලංකාවෙ කර්මාන්ත විනාශ කිරීම සහ නිෂ්පාදන විනාශ කරන එක තමයි මේ ආණ්ඩුව වගේම රාජපක්ෂ ආණ්ඩුවත් කළේ. කොහෙද ලංකාවෙ නිෂ්පාදන ආර්ථිකයක් ? ඊළගට මහින්ද රාජපක්ෂ දැන් කියනවා මේකට විසදුම ජාතික ආර්ථිකයක් හදන එක කියලා.

දැන් මේක දෙපැත්තකින් ඇවිත් තියෙනවා. එක පිරිසක් ඉන්නෙ නවලිබරල් උපායමාර්ගයෙන් මේක විසදනවා කියලා. නමුත් මාස 6කට කලින් නවලිබරල් ධනවාදය තමයි වෙන විකල්පයක් නෑ කියපු මහත්වරුම දැන් ඇවිත පාපොච්චාරණය කරනවා මෙතන ප්‍රශ්නයක් තියෙනවා කියලා. සැප්තැම්බර් 22 වැනිදා අගමැති රනිල් වික්‍රමසිංහ කිව්වා ‘ආනයන වියදම් පාලනය කරන්න ඕන, ආනයන සීමා කරන්න ඕනැ එහෙම නැත්නම් උත්තරයක් නෑ’ කියලා. එයා කියන්නෙ ‘අඩුම ගානෙ අවුරුද්දකට ඩොලර් මිලියන 500 සිට ඩොලර් බිලියනය දක්වා ප්‍රමාණයකින් ආනයන වියදම් අඩු කරගන්න ඕන, එහෙම නැත්නම් අපට ගැලවිල්ලක් නෑ’ කියලා. ඉතින් ඕක තමයි අපි කිව්වෙ. ආනයන වියදම් පාලනයක් කළ යුතුයි කියලා. නවලිබරල් ප්‍රතිපත්තිය කියන්නෙ ආනයන වියදම් පාලනය නොකිරීමයි. නවලිබරල් ප්‍රතිපත්තියට විරුද්ධ ප්‍රතිපත්තිය තමයි ආනයන වියදම් යම් පාලනයක් කිරීම. දැන් රනිල් වික්‍රමසිංහ මේ දක්වා පිළිගත්ත ප්‍රතිපත්තිය අමතක කරලා අපට කියනවා ආනයන වියදම් පාලනය කළ යුතුයිලු. ආනයන පාලනය කරනවා නම් ඒක විවෘත ආර්ථිකය නෙවෙයි. එහෙම නම් පිළිගන්න විවෘත ආර්ථිකයෙ ප්‍රශ්නයක් තියෙනවා කියලා. බොරුවට කෑ ගහන්නෙ නැතිව ඒක පිළිගන්න.“