தமிழ்
English
Contact
Friday 16th April 2021    
බෝනස් මුදල් ඉල්ලා විරෝධතාවයක නිරත සේවකයින්ට එරෙහිව 'නෙක්ස්ට්' ලොක්කෝ මැරයන් යොදවලා | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

බෝනස් මුදල් ඉල්ලා විරෝධතාවයක නිරත සේවකයින්ට එරෙහිව ‘නෙක්ස්ට්’ ලොක්කෝ මැරයන් යොදවලා



වර්ෂාවසාන බෝනස් මුදල ලබා නොදීමට එරෙහිව අඛණ්ඩ විරෝධතාවක නිරතව සිටින ‘නෙක්ස්ට්’ ඇගළුම් කම්හලේ සේවක සේවිකාවන්ට පොලීසිය සහ පාතාල මැරයන් යොදවා තර්ජන එල්ල කරමින් සිටින බව වාර්තාවේ.

එසේම ආයතනයේ පාලකයන් කාර්ය මණ්ඩලයට ප්‍රධාන දොරටුවෙන් ඇතුල්වීම වැලක්වීමටද පියවර ගෙන තිබේ.

දෙසැම්බර් මාසයේ නත්තල් නිවාඩුවට පෙර බෝනස් මුදල ලබා දෙන බවට පාලනාධිකාරිය සේවකයන්ට පොරොන්දු වී ඇති අතර එය විශ්වාස කළ සේවක සේවිකාවන් අවදානම මධ්‍යයේ වුවද නොකඩවා සේවය සඳහා වාර්තා කර තිබේ. නමුත් නත්තල් නිවාඩුව ලංවත්ම බෝනස් මුදල ලබා දිය නොහැකි බව පාලනාධිකාරිය විසින් දැනුම් දුන් බව සේවකයන් පවසයි.

‘ඩාබිඳු සාමූහිකයේ’ වැඩසටහන් සම්බන්ධීකාරිකා චමිලා තුෂාරි පෙන්වා දෙන්නේ සේවකයන් 2000ක් පමණ සේවයේ නිරතව සිටින නෙක්ස්ට් ආයතනයේ සේවකයන් 600 ක් පමණ දෙවැනි කොවිඩ් වසංගත රැල්ල හමුවේ රෝගාතුර වූ බවයි.

ඒ හේතුවෙන් සේවකයන් පිරිසකට ස්වයං නිරෝධායනයට ලක් වීමටත්, තවත් පිරිසකට නිරෝධායන මධ්‍යස්ථාන තුළ නිරෝධායනය වීමටත් සිදු වු බව පෙන්වා දෙන චමිලා තුෂාරි අවධාරණය කරන්නේ එම කාලය තුලදී සේවකයන්ගේ දීමනා සහ වැටුප් කප්පාදු කිරීමක් සිදු වු බවයි.

එවැනි තත්වයක් හමුවේ දැඩි ආර්ථික පීඩාවකට ලක් ව සිටින කම්කරුවන්ට පාලනාධිකාරිය විසින් පොරොන්දු වු බෝනස් මුදල ලබා නොදීමෙන් ඔවුන් තවත් අසරණ භාවයට පත්ව ඇති බව ඇය පෙන්වා දී තිබේ.