தமிழ்
English
Contact
Monday 10th December 2018    
මග නැගුමෙන් කෝටි 2 ක් වංචා කළ බවට හිරුණිකාට චෝදනා | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

මග නැගුමෙන් කෝටි 2 ක් වංචා කළ බවට හිරුණිකාට චෝදනා



“මගනැගුම” මාර්ග ඉදිකිරීම් යන්ත්‍රෝපකරණ සමාගමේ සේවක සුබ සාධක සංගමයේ ගිණුමෙන් රුපියල් කෝටි දෙකකට ආසන්න මුදලක් පාර්ලිමේන්තු මන්ත්‍රිනි හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ දේශපාලන හා වෙනත් කටයුතු සඳහා යොදවා ඇති බව වාර්තා වේ. මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා හමුවේ මේ පිළිබඳ කරුණු වාර්තා කර ඇත.

මඟ නැඟුම මාර්ග ඉදිකිරීම් යන්ත්‍රෝපකරණ සමාගමේ මූල්‍ය වංචාවක් සිදුවී ඇති බවට එම සමාගමේ ප්‍රධාන අභ්‍යන්තර විගණක නිළධාරියෙකු විසින් 2018 මාර්තු මස 20 වැනිදා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට කරන ලද පැමිණිල්ලක් අනුව මෙම විමර්ශන ආරම්භ කර අධිකරණයට කරුණු වාර්තා කර තිබිණි.

මඟ නැඟුම මාර්ග ඉදිකිරීම් යන්ත්‍රෝපකරණ සමාගම විසින් විගණක නිලධාරියකු පත් කරගෙන 2013 හා 2014 වර්ෂවල විගණක කටයුතු සිදුකර ඇති අතර එහිදී හෙළිවී ඇත්තේ 2013 වර්ෂයේ රුපියල් 1,217,750.00 මුදලක් ද 2014 වර්ෂයේ රුපියල් 17,647,179.67ක මුදලක් ද සේවක සුබ සාධක සංගමයේ ගිණුමින් ව්‍යවස්ථාවට පටහැණිව ලබා දී ඇති බවයි.

එසේම ඉහත වියදම් අතරින් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර වෙනුවෙන් ලංකා පොස්පේට් ආයතනය වෙත ලබා දී ඇති මුදල් වෙනුවෙන් බිල්පත් ඉදිරිපත් කර ඇති බවත් ඉතිරි මුදල් ලබා දීම සම්බන්ධයෙන් කිසිදු බිල්පතක් හෝ වියදම් කළ ආකාරයක් විගණනයට ලබා දී නැති බවත් සේවක සංගමයේ වවුචර් කිසිවක් එම කාලයේ පවත්වාගෙන ගොස් නැති බවත් පැමිණිල්ලේ සඳහන් වේ.