தமிழ்
English
Contact
Tuesday 14th July 2020    
'මට ඇත සිහිනයක්!'- ජෝර්ජ් ෆ්ලොයිඩ් සමයේ මාටින් ලූතර් කිං ආවර්ජනය! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

‘මට ඇත සිහිනයක්!’- ජෝර්ජ් ෆ්ලොයිඩ් සමයේ මාටින් ලූතර් කිං ආවර්ජනය!



අමෙරිකා එක්සත් ජනපදයේ ජීවත්වූ බැප්ටිස්ට් දේවගැතිවරයකු වූ මාටින් ලූතර් කිං (කනිෂ්ට) 1963 අගෝස්තු 28 වොෂින්ටන් නගරයේ ලින්කන් ස්මාරකය අසළදී සිදුකළ කතාව ‘මට ඇත සිහිනයක්!’ (I Have a Dream) ලෙස වාර්තා වී තිබේ.

තමන් ඇතුළු අප්‍රිකානු සම්භවයක් සහිත අමෙරිකානුවන් මුහුණ දෙමින් තිබෙන වාර්ගික ප්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් කළ ඒ කතාව, තවමත් ලොව පුරා වර්ගවාදයෙන් පීඩා විඳින සුදු සමක් නොමැති ජනයා වෙනුවෙන් කළ හඬනැගීමක් ලෙස සැළකේ. කෙසේවෙතත් ලොව බලවත්ම රාජ්‍ය ලෙසත් පසුකාලයක ලොව හොඳම ප්‍රජාතන්ත්‍රවාදය ලෙසත් නම්කරන ලද අමෙරිකා එක්සත් ජනපද රජය, එරට ජනතාව සූරාකෑමෙන් හා මර්දනයෙන් නොනැවතී, මේ වනවිට ලෝකයේ අස්සක් මුල්ලක් නෑර නිර්ධනයන්ට පීඩාව අත්කර දෙන බලවත්ම අධිරාජ්‍යවාදී කෘරත්වය බිහිකර ඇත. මාටින් ලූතර් කිං විසින් පමණක් නොව, මිලියන ගණනක් අමෙරිකානුවන් එදා මෙදා තුර අපේක්ෂා කළ ‘සිහින දේශය’ අද, මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කරන මිනිස් සංහාරයන් සිදුකරන ‘මකර දේශය’ බවට පත්ව ඇති බව සත්‍යයකි.

එසේ තිබියදීත්, මිනියපොලිස්හිදී සිදුකළ ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනයෙන් පසුව එක්සත් ජනපදයේ මෙන්ම ලොව වෙනත් රටවල වර්ගවාදයට හා පොලිස් ප්‍රචණ්ඩත්වයට එරෙහිව පැතිර යන විරෝධතා හමුවේ එම සුවිශේෂි අදහස් දැක්වීම අවධානයට ලක් විය. ඒ් නිසා, ‘මට ඇත සිහිනයක්!’ නමැති ඒ් ඓතිහාසික දේශනය, සිංහල බසින් ‘ලංකාවීව්ස්’ පාඨකයන් හමුවේ තැබීමට අපි අදහස් කළෙමු. 

(කරුණාකර උපුටාදැක්වීමේදී කර්තෘ අයිතිය සුරකින්න)

‘මට ඇත සිහිනයක්!’

නිදහස වෙනුවෙන්, අපේ ජාතිය විසින් සිය ඉතිහාසයට එකතු කරන ශ්‍රේෂ්ඨතම විරෝධතාවයට අද ඔබ හා එක්වන්නට ලැබීම ගැන සතුටු වෙමි.
සියවසකට පෙර, අප අද සිටින ස්ථානයෙන් සංකේතවත් කෙරෙනු ලබන ශ්‍රේෂ්ඨ අමෙරිකානුවකු විසින් ‘නිදහස් කිරීමේ ප්‍රකාශනය’ අත්සන් කරනු ලැබුවා. ඒ ඓතිහාසික ලියැවිල්ල, අවමන් සහගත අයුක්තියක ගිනිදැල්වල පැහෙමින් සිටි මිලියන ගණනක් නිග්‍රෝ ජාතිකයන්ගේ අපේක්ෂාවේ ප්‍රදීපාගාර ආලෝකයක් බවට පත් වුණා. දීර්ඝ රාත්‍රියක සිරකරනු ලැබ සිටි ඔවුන් වෙත අරුණාලෝකයක් ලෙසින් ය පැමිණියා.

නමුත් වසර 100කට පසුව නීග්‍රෝවරයා තවමත් නිදහස් නෑ. සියවසකට පසුව වෙන්කර තැබීමේ විලංගුලිනුත් කෙනෙහිලිකම් නමැති දම්වැලෙනුත් නීග්‍රෝ ජීවිතය තවමත් කනගාටුදායක ලෙස අවසඟකර දමා තිබෙනවා. සියවසක් ගෙවී තිබුණත් නිග්‍රෝවරයා ජීවත් වෙන්නේ ද්‍රව්‍යමය වශයෙන් සෞභාග්‍යයේ මහා සාගරයක් මැද පිහිටා ඇති දිළිඳුභාවයේ හුදකලා දූපතකයි. වසර සියයකට පසුව තවමත් නිග්‍රෝවරයා අමෙරිකානු සමාජයෙන් කොන්කරනු ලැබ තමන්ගේම රටේ පිටුවහල් ජීවිතයක් ගෙවමින් ඉන්නවා. ඉතින් අප මෙහි එකතු වී ඉන්නෙ ඒ ලජ්ජා සහගත තත්වය සනාථ කරන්නයි.

එක විදියකින් අපි අපේ අගනුවරට එක්ව සිටින්නේ චෙක්පතක් මුදල් බවට පත්කර ගන්නයි. අපේ ජනරජයේ ගෘහ නිර්මාණ ‍ශිල්පීන් විසින් ව්‍යවස්ථාවෙ සහ නිදහස් ප්‍රකාශනයේ සඳහන් සුන්දර වචන සටහන් කරද්දි ඔවුන් කළේ සියලු අමෙරිකානුවන්ට හිමිකම් ලැබෙන පොරොන්දු නෝට්ටුවකට අත්සන් තැබීමයි මෙම නෝට්ටුව විසින් සියලු මිනිසුන්ට, ඔව්, කලු වගේම සුදු මිනිසුන්ට පොරොන්දු වුණේ ‘ජිවිතය, විමුක්තිය සහ සතුට සොයා යාම’ නමැති ‘පැහැරගත නොහැකි අයිතිවාසිකම්ය’ යි. අදවනවිට අපට පැහැදිලි වන්නේ අමෙරිකාව විසින් ඇගේ වර්ණවත් මිනිසුන්ට මේ පොරොන්දු පත්‍රය අවභාවිතකර ඇති බවයි. මේ පූජනීය වගකීමට ගරුකරනවා වෙනුවට නිග්‍රෝ මිනිසුන්ට අවලංගු චෙක්පතක් ලබාදී තිබේ. ‘ප්‍රමාණවත් අරමුදල් නොමැත’ යන සඳහනින් ඒ චෙක්පත ආපසු හරවා ඒවා තිබෙනවා.

නමුත් යුක්තියේ බැංකුව බංකොළාත්වී ඇති බව පිළිගන්න අපි සූදානම් නෑ. මේ ජාතියේ අවස්ථා ලබාදීම නමැති සේප්පු තුළ අරමුදල් නෑ කියා පිළිගන්න අපි සූදානම් නෑ. ඉතින් අපි අවෙ මේ චෙක්පත මුදල්කර ගැනීමටයි. ඒ චෙක්පත විසින් අපට නිදහසේ පොහොසත්කමත් යුක්තියේ ආරක්ෂාවත් ලබාදෙනු ඇත.

එසේම අපි මේ ශුද්ධභාවයට පත් ස්ථානයට ආවෙ අමෙරිකාවටම අද ඇති බලවත් අවශ්‍යතාව සිහිපත් කිරීමටයි. මෙය, අවශ්‍යතාවයේ සැර බාලකිරීමේ සුව පහසුව විඳීමට හෝ ක්‍රම ක්‍රමයෙන් පියවර ගැනීමේ නිදිපෙත්ත පාලනය කිරීමේ මොහොතක් නෙවෙයි. මේ තමයි ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ පොරොන්දු සැබෑ කිරීමේ වෙලාවයි. මේ, වෙන්කරනු ලැබීමේ පාලු නිම්නයේ සිට වාර්ගික යුක්තියේ ප්‍රභාවත් මාවත කරා එළඹිය යුතු මොහොතයි. අපගේ ජාතිය, වාර්ගික අයුක්තිය නමැති ගිලගන්නා මරුවැල්ලේ සිට සහෝදරත්වයේ ගල්තලාවට ඔසවා තැබිය යුතු වෙලාව මෙයයි. දෙවියන්ගේ සියලු දරුවන්ට සැබැවින්ම යුක්තිය ඉටුකළ යුතු වෙලාව මෙයයි.

මේ මොහොතේ තිබෙන අ්‍යවශ්‍යතාව මගහැරයාම අපගේ ජාතියට මාරාන්තික වනු ඇත. නීග්‍රොවරුන්ගේ කෝපය නමැති ඉවසිය නොහැකි ග්‍රීෂ්ම සමය, නිදහසේ හා සමානාත්මතාවයේ මහා වස්සාන කාලයකින් මිස ඉක්මවා ලිය නොහැකිවනු ඇත. 1963 යනු අවසානයක් නොව, ආරම්භයකි. සියල්ල නැවතත් පැවති තත්වයටම පත්වෙනවා නම්, නීග්‍රෝවරු ආවේග පාලනය කරගතයුතු බවත් සෑහීමකට පත් වියයුතු බවත් අපේක්ෂා කරන සියලු දෙනා නපුරු ලෙස අවදිකිරීමකට ලක්වන්නට නියමිතය. නීග්‍රෝවරුන්ට තම පුරවැසි අයිතිවාසිකම් ලබා දෙන තෙක් අමෙරිකාවට කිසිදු නිස්කලංක කාලයක් හෝ සහනදායක තත්වයක් හිමි නොවනු ඇති. යුක්තියේ දීප්තිමත් දිනය උදාවන තුරු තවදුරටත් අරගලයේ වාසුලිවලින් අපේ ජාතියේ අත්තිවාරම් පවා සොලවා දමනු ඇත.

එහෙත් යුක්තියේ මාලිගයෙහි උණුසුම් ද්වාරයට ඇතුළුව සිටින ජනතාවට කිවයුතු දෙයක් මට ඇත. අපට නිවැරදි ලෙස හිමි වියයුතු ස්ථානය ලබාගැනීමේ ක්‍රියාදාමයේදී වැරදි දේ සිදුකිරීමේ වරදකරුවන් බවට අප පත් නොවිය යුතුය. නිදහස වෙනුවෙන් අපට ඇති පිපාසය, වෛරයේ අමිහිරි පානය බීමෙන් නිවා ගන්නට උත්සාහ නොකළ යුතුය. නිරන්තරව, අප අපගේ අරගලය අභිමානය හා විනය නම් ඉහළ තලයේ පවත්වාගත යුතුය. අපගේ නිර්මාණශීලී විරෝධතාව, ප්‍රචණ්ඩත්වය දක්වා ඇදවැටීමට ඉඩ නොතැබිය යුතුය. යළි යළිත් අප භෞතික බලය, ආත්මීය බලය සමග එක් කිරීමේ උත්කෘෂ්ට මට්ටම කරා එසවිය යුතුය.

නීග්‍රෝ ජනසමාජය වටා උස්ව නැගී සිටින අනර්ඝ නව සටන්කාමිත්වය විසින්, සුදු මිනිසුන් අවිශ්වාසකරන තැනකට ගෙන යාමට ඉඩදියයුතු නැත. මන්ද යත්, සුදු සහෝදරවරුන් අද අප සමග එක්වීමෙන් සනාථවන ආකාරයට, ඔවුන්ගේ ගමනාන්තය අපගේ ගමනාන්තයට හා බැඳී පවතින බව ඔවුන්ද වටහාගෙන ඇති නිසාය. ඔවුන්ගේ නිදහස අපගේ නිදහස හා වෙන්කළ නොහැකි ලෙස බැඳී පවතින බව ඔවුන් වටහාගෙන ඇත.

අපිට තනිව ගමන් කළ නොහැකිය.

එසේම අපි ගමන්කරන විට ප්‍රතිඥා දියයුත්තේ අප සැමවිටම ඉදිරියට ගමන් කරන බවටයි. අපට ආපසු හැරී යා නොහැකිය.

සිවිල් නීති ක්‍රියාකාරිකයන්ගෙන් ඇතැමුන් මෙසේ අසයි. “ඔබ සෑහීමකට පත් වන්නේ කවදාද?” නීග්‍රෝවරුන් කිව නොහැකි තරමට පොලිසියේ මෘගත්වයේ ගොදුරු බවට පත්වන තාක් අපට සෑහීමකට පත් විය නොහැකිය. ගමන් මහන්සිය නිසා තෙහෙට්ටුවට පත්වුවත් නගරයේ හෝටල්වල නවාතැන්පලවල නවතින්නට නොහැකිවන තාක් අපට සෑහීමකට පත් විය නොහැකිය. ‘නීග්‍රෝවරුන්ගේ මූලික චලනයන් කුඩා පැල්පත් යායක සිට එවැනිම විශාල එකක් දක්වා වන තාක් අපට තෘප්තිමත්වන්නට නොහැකිය. ‘සුද්දන්ට පමණයි’ පුවරු මගින් අපේ දරුවන්ගේ පෞද්ගලිකත්වය ඉරා දමා අභිමානය උදුරාගන්නා තුරු අපට කිසිදාක සෑහීමකට පත්විය නොහැකිය. මිසිසිපි ප්‍රදේශයේ නීග්‍රෝවරුන්ට ඡන්දය දිය නොහැකිවන සහ නිව්යෝක් නිග්‍රෝවරුන්ට ඡන්දය දීමට කිසිවකු නැති තත්වය පවතින තුරු අපට සෑහීමක් නොමැත. නෑ, අපට සෑහීමක් නෑ. යුක්තිය රළ මෙන් ලෙස පෙරලී එන අයිතිවාසිකම් මහා ප්‍රවාහයක් ලෙසත් ගලන’ දවසක් දක්වා අපට සෑහීමක් නෑ.

මට අමතක කරන්න බෑ මෙතැනට පැමිණි ඔබෙන් සමහරු මහා නඩු විභාග ඇතුළු දුක් කරදරවලින් පීඩා විඳින බව. ඔබෙන් සමහරු කෙළින්ම මෙතැනට ආවෙ පටු සිරමැදිරිවල ඉඳලා. තවත් අය ඇවිත් ඉන්නෙ නිදහස වෙනුවෙන් අරගලකරන ප්‍රදේශවල ඉඳලා. නිදහස සොයායන ගමන නීතිමය බාධා කුණාටුවලින් වගේම පොලිස් ප්‍රචණ්ඩත්වයේ සුළඟින් පීඩාවට පත්කර තිබෙනවා. නිර්මාණාත්මක දුෂ්කරතා විඳීමෙන් ඔබ ප්‍රවීනත්වය ලබා තිබෙනවා. දුක් කරදර නොවිඳ ගැලවීමක් නැති බව විශ්වාස කරන්න. මේ පවතින තත්වය කෙසේහෝ වෙනස්වන බව වෙනස් කරනු ලබන බව විශ්වාස කරමින් ආපසු යන්න. මිසිසිපි වෙත ආපසු යන්න, ඇලබාමා වෙත යන්න, දකුණු කැරොලිනාවට යන්න, ජෝර්ජියාවට යන්න, ලුසියානාවලට යන්න, උතුරුකරයෙ නාගරික පැල්පත් වෙත යන්න.

අප අසරණභාවයේ නිම්නයේම ලැග නොසිටිය යුතුයි, මගේ මිතුරනි, මම අද ඔබට කියනවා.

එසේම අදත් හෙටත් අප දුෂ්කරතා විඳින නමුත්, මට තවමත් සිහිනයක් තිබෙනවා. ඒ, අමෙරිකානු සිහිනය සමඟ ගැඹුරින්ම මුල් ඇදී තිබෙන සිහිනයක්!

යම් දිනයක මේ ජාතිය, එහි පහත වගන්තිය අනුව නැගී සිට දිගටම පවතී යන සිහිනය මට තිබෙනවා. ඒනම් “සියලු මිනිසුන් බිහිකර ඇත්තේ සමානයන් ලෙසයි’ යනුවෙන්වන සත්‍ය අපි දරා සිටිමු”

හිටපු වහළුන්ගේත් හිටපු වහල් හිමියන්ගේත් දරුවන්ට ජෝර්ජියාවේ රක්ත කඳුකරයේ එකම සහෝදරත්වයේ මේසයක අසුන්ගත හැකි වේය යන සිහිනය මට තිබෙනවා.

යම් දවසක, අයුක්තියේ දාහයෙන්, පීඩකත්වයේ දාහයෙන් පුපුරුගසන මිසිසිපි ප්‍රාන්තයත් නිදහස හා යුක්තිය රජකරන දේශයක් බවට පරිවර්තනය කළ හැකි යයි සිහිනයක් මට තිබේ.

මගේ කුඩා දරුවන් හතර දෙනා, යම් දිනක, ඔවුන්ගේ වර්ණය අනුව නොව, ඔවුන්ගේ චරිත ලක්ෂණ අනුව විනිශ්චය කෙරෙන රාජ්‍යයක ජීවත්වනු ඇතියි සිහිනයක් මට තබේ.

මට අද සිහිනයක් තිබේ.

මේ වනවිට රුදුරු ජාතිවාදීන් සහිත, ‘මැදිහත්වීම’, ‘අහෝසි කිරීම’ වැනි වචන නිතර සිය තොලෙන් ගිලිහෙන ආණ්ඩුකාරවරයකු සහිත, ඇලබාමා ප්‍රාන්තයේ කුඩා කලු දරු දැරියන්, සුදු දරු දැරියන් සමග සහෝදර සහෝදරියන් ලෙස අත්වැල් අල්ලා සිටින දිනක් උදාවනු ඇති බවට සිහිනයක් මට තිබෙනවා.

මට අද සිහිනයක් තිබේ.

සෑම නිම්නයක්ම ඔසවා තබන, සෑම ගිරිමුදුනක්ම කන්දක්ම පහතට ගෙනයන, රලු බිම් තැනිබිම් කරන, ඇද ගැසුනු තැන් ඍජු කරවන දෙවියන්ගේ මහිමය අනාවරණය ‌කෙරෙන, සියලු සත්වයන් එය දෑසින් දකින දිනයක් ගැන සිහිනයක් මට තිබේ.

මේ අපේ බලාපොරොත්තුවයි. මා නැවත දකුණ කරා යන්නේ මේ විශ්වාසය ඇතිවයි.

එම විශ්වාසය නිසා අසරණභාවයේ කන්දෙන් අපේක්ෂාවේ මිණිකැට පාදාගන්න අපට හැකි වේවි. මේ විශ්වාසය සමග අපට ජාතියේ ඝෝෂාකාරි නාද සියල්ල වෙනස්කර සහෝදරත්වයේ මියුරු සංධ්වනියක් බිහිකළ හැකිවනු ඇත.

මේ විශ්වාසය මත, යම් දිනක අප නිදහස ලබන බව වටහාගෙන, එක්ව වැඩ කිරීමට, ඒක්ව යාඥා කිරීමට, ඒක්ව අරගල කිරීමට, ඒක්ව සිරගතවීමට සහ නිදහස වෙනුවෙන් ඒක්ව නැගී සිටීමට අපට හැකිවනු ඇත.

එය, දෙවියන්ගේ සියලු දරුවන්ට ඒක්ව, නව අරුත් සහිතව මෙසේ ගායනා කිරීමට හැකිවන දිනයක් වනු ඇත.

“මගේ රට නුඹ, නිදහසේ මිහිරි දේශය
ඔබ ගැන ගයමි මම
මගේ පියවරුන් මිය ගිය දේශය
වන්දනාකරුවන්ගෙ සාඩම්බරය
සෑම කඳු පෙදෙසකින්
නිදහස නාදවනු ඇත….

අමෙරිකාව ශ්‍රේෂ්ඨ ජාතියක් වන්නට නම්, මෙය සත්‍යයක් වියයුතුය.
ඒසේ නම්, නිව්හැම්ප්ෂයර්හි දැවැන්ත කඳු මුදුන්වලින් නිදහස නාද වේවා!

නිව්යෝක්හි මහා කඳුවලින් නිදහස නාද වේවා
පෙන්සිල්වේනියා උස් කඳු මතින් නිදහස නාද වේවා
කොලරාඩෝවේ හිමෙන් වැසුණු රොකී කඳුමතින් නිදහස නාද වේවා
කැලිෆෝනියාවේ තියුණු බෑවුම් අතරින් නිදහස නාද වේවා

එපමණක් නොව,
ජෝර්ජියාවේ ස්ටෝන් කන්දෙන් නිදහස නාද වේවා
ටෙනසිහි ලුකවුට් කන්දෙන් නිදහස නාද වේවා
මිසිසිපියේ සියලු කඳුමතින් නිදහස නාද වේවා
සියලු කඳුකරවලින් නිදහස නාද වේවා

එය එසේ සිදුවනවිට නිදහස නාදවන්නට අප ඉඩ දෙනවිට සෑම ගම් නියම්ගම්වලින් සෑම ප්‍රාන්තයකින්, නගරයකින් නිදහස නාදවන විට, අපට එය ඉක්මන් කරන්නට හැකිවන්නේ දෙවියන්ගෙ දරුවන්, කලු මිනිසුන්ගේ සහ සුදු මිනිසුන්ගේ, යුදෙව්වන්ගේ සහ යුදෙව් නොවන, ප්‍රෙතෙස්තන්ත සහ කතෝලික, සියල්ලන්ටම හැකිවනු ඇත ෙම් පැරණි නිග්‍රෝ උදාන වාක්‍ය ගැයීමට….

නිදහස්, අන්තිමේ නිදහස්!
ස්තුතියි සර්ව බලධාරි දෙවියනි, අන්තිමේ අපි නිදහස්!

මාටින් ලූතර් කිං දේශනය ඉදිරිපත් කරද්දී
ඒ්බ්‍රහම් ලින්කන් අනුස්මරණ ශාලාව ඉදිරිපස රැස්ව සිටි ජනතාව