Posted on 01.14.2020 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
තමාට ද්‍රෝහියා යැයි කීමට එල්.ටී.ටී.ඊ නායක වේළුපිල්ලේ ප්රභාකරන්ට හැර අන් කිසිවෙකුට කිසිදු අයිතියක් නැති බවත් ප්රභාකරන් පවා අවසානය තෙක් තමාට ද්‍රෝහියෙකු යැයි දෝෂාරෝපණය නොකළ බවත් එක්සත් නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විනයාගමූර්ති මුරලිදරන් සදහන් කරයි.
එමෙන්ම දෙමළ ජනතාවගේ ජාතික වීරයින් වීමට කිසිදු දෙමළ දේශපාලකයෙකුට නොහැකි බවත් තමා දුටු නියම ජාතික නායකයා වේළුපිල්ලේ ප්රභාකරන් පමණක් බවත් හෙතෙම සදහන් කර ඇත.
එක්සත් නිදහස් පෙරමුණේ අම්පාර දිස්ත්‍රීක්කයේ පාන්ඩිරුප්පු කොට්ඨාසයේ ජන හමුව පාණඩිරුප්පු සංස්කෘතික මණ්ඩපයේදී අද(13) පැවති අතර එම හමුවේදී පාක්ෂිකයින් අමතමින් මුරලිදරන් මේ බව කියා සිටියේය.
වැඩිදුරටත් අදහස් දැක්වූ විනයාගමූර්ති මුරලිදරන් මෙසේද කීය.
‘දෙමළ ජාතික සන්ධානය තුළ බෙදීම් හටගෙන තිබෙනවා.මෑතකදී එම සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.ශ්‍රීධරන් විසින් කරන ලද ප්‍රකාශයක් කතිකාවක් වී තිබෙනවා.අද දෙමළ ජාතිකත්වය ගැන කතා කරන්න අයිතියක් තියෙන්නේ දෙමළ ජාතික සන්ධානයේ එක්කෙනෙකුට විතරයි.ඒ ඉලංගයි තමිල් අරසු කච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජාට විතරයි.ඔහු හැර දෙමළ ජාතිකත්වය ගැන කතා කරන්න සුමන්තිරන්ට හෝ මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රීක්කවල ඉන්න දෙමළ ජාතික සන්ධානයේ කිසිවෙකුට අයිතියක් නැහැ.
ඔවුන්ට යුද පිටිය ගැන දන්නවාද? යුද පිටියට තම දරුවන් යැවීමේ වේදනාව දන්නවද? අතුරුදහන් වූවන්ගේ පවුල්වල අයගේ හදවතේ තියෙන වේදනාව දන්නවද?මේ කිසිවක් නොදැනයි ඔවුන් ජාතිකත්වය කතා කරන්නේ.
අම්පාර දිස්ත්‍රීක්කයේ සිටින දේශපාලකයෙක් කංචිකුඩියාරු කැලයෙන් භාගයක්ම විනාශ කරල තියෙනවා.ඒ කැලයේ තිබූ ගස් වවන්න එල්.ටී.ටී.ඊ නායක ප්රභාකරන් දහස් ගණනක කොටි සාමාජිකයින් යොමුකළා’ යැයිද කීය.