தமிழ்
English
Contact
Thursday 29th October 2020    
මයික් පොම්පයෝ අත්සන් කරන්නට එන ගිවිසුම කුමක්ද? - දේශපාලන අංශවල අවධානය යොමු වේ! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

මයික් පොම්පයෝ අත්සන් කරන්නට එන ගිවිසුම කුමක්ද? – දේශපාලන අංශවල අවධානය යොමු වේ!



මේ වනවිට කොරෝනා වසංගතය සම්බන්ධ සමාජ අවධානය යොමුව තිබියදී එක්සත් ජනපද රාජ්‍ය ලේකම් හදිසියේ මෙරට සංචාරය කරමින් අත්සන් කිරීමට නියමිත ද්විපාර්ශ්වික ගිවිසුමක් සම්බන්ධ දේශපාලන අංශවල අවධානය යොමුව තිබේ.

පසුගිය රනිල්-මෛත්‍රි පාලනය සමයේ අනාවරණය වූ කරුණු අනුව, එක්සත් ජනපදය ලංකාවේ ආණ්ඩුව සමග අත්සන් කිරීමට සූදානම් වූ MCC, SOFA යන ගිවිසුම් දෙකම මෙරටට එක්සත් ජනපදයේ මැදිහත්වීම නිරූපණය කරවන්නක් විය. එහෙත් දැඩි විරෝධතා හමුවේ එම ගිවිසුම් දෙකම අත්සන් කිරීම ප්‍රමාද කෙරුණද ඒවා අත්හැර දැමීමක් සිදු නොවීය. මෙරට එක්සත් ජනපද තානාපතිනි ඇලයිනා ටෙප්ලිට්ස් විසින් පසුගිය මහමැතිවරණ සමයේ නිල නිවේදනයක් මගින් ප්‍රකාශ කළේ මහමැතිවරණයට පසුව MCC ගිවිසුම අත්සන් කිරීම සඳහා පත්වන ආණ්ඩුව සමග කටයුතු කිරීමට සූදානම් බවය. එහෙත් ඒ සම්බන්ධව ආණ්ඩුවේ විවිධ පාර්ශ්ව විවිධ අදහස් පළ කරනු දක්නට ලැබුණද ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ඒ සම්බන්ධ කිසිවක් ප්‍රකාශ නොකිරීමට ප්‍රවේශම් විය. පසුගියදා චීන ඉහළ පෙළේ රාජ්‍යතාන්ත්‍රික නියෝජිත පිරිසක් ජනාධිපති හා අගමැති හමුවී පිටත්ව ගිය පසුව එක්සත් ජනපදයේ ඉහළතම රාජ්‍යතාන්ත්‍රිකයකු ලෙස රාජ්‍ය ලේකම් මෙරට පැමිණීම නිවේදනය කෙරිණි. 2019 වසරේ අප්‍රේල් 21 ප්‍රහාරයෙන් පසුව මෙරට වෙත සුහද සංචාරයක යෙදීමට සූදානම් වූ මයික් පොම්පෙයෝ පසුව එම සංචාරය කල්දැමුවේ යොදාගත් වැඩකටයුතුවල අවහිරතාවක් සඳහන් කරමිනි. මෙවරද ඔහු පැමිණෙන්නේ සංචාරයක් සඳහා නොව පැය 4ක පමණ කාලයකට බවද එහිදී ද්විපාර්ශ්වික ගිවිසුමක් අත්සන් කෙරෙනු ඇති බවද විදේශ අමාත්‍යංශ ආරංචි මාර්ග අනාවරණය කර තිබේ.

එහිදී මුලින් ප්‍රකාශ වූ කරුණු වෙනස් කරමින් MCC ගිවිසුම අත්සන් කිරීමට නියමිත යැයි සැක කිරීමට හේතු තිබේ. මහමැතිවරණයෙන් පසුව එම ගිවිසුම අත්සන් කරන්නට කටයුතු සූධානම් කෙරෙන බව එක්සත් ජනපද තානාපතිවරිය කළ ප්‍රකාශය ඉන් පළමුවැන්නය. ආණ්ඩුව මෙම අමෙරිකානු රාජ්‍යතාන්ත්‍රික සංචාරය සම්බන්ධ කිසිවක් නිල වශයෙන් ප්‍රසිද්ධ නොකර සිටීමද දෙවැනි සැකයට තුඩු දෙන හේතුව වේ. 2015දී එවකට එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ජෝන් කෙරී මෙරට සංචාරය කිරීමෙන් පසුව ලංකාවේ සංචාරයකට එන ඉහළම රාජ්‍ය තාන්ත්‍රිකයා ලෙස රාජ්‍ය ලේකම් පොම්පෙයෝ වාර්තාවනු ඇත. පසුගියදා ඉන්දිය සංචාරයක යෙදී සිටියදී ඔහු මෙරටටද පැමිණීමට නියමිත බව ප්‍රකාශ කෙරිණි.