தமிழ்
English
Contact
Thursday 2nd April 2020    
මරණ දඬුවම නියම වූ හමුදා භටයාට ජනාධිපති සමාව! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

මරණ දඬුවම නියම වූ හමුදා භටයාට ජනාධිපති සමාව!



මිරුසුවිල් සමූහ ඝාතනය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියමවී සිටි යුධ හමුදාවේ මාණ්ඩලික සැරයන්වරයකු විශේෂ ජනාධිපති සමාවක් යටතේ නිදහස් කර ඇත.

අද (26) උදෑසන 9.30 ට පමණ වැලිකඩ බන්ධනාගාරයේදී මෙලෙස නිදහස ලබා පිටව ගොස් ඇත්තේ විශේෂ බලකා දිගදුර විහිදුම් බලකායේ සුනිල් රත්නායකයි. එම නිදහස් කිරීමේ අවස්ථාවේ ආරක්ෂක ලේකම් විශ‍්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න බන්ධනාගාරයට පැමිණි බවද වාර්තා විය.

යුද සමයේ අවතැන්ව සිටි කාලයේ සිය දේපළ සම්බන්ධයෙන් සෝදිසිකර බැලීමට මිරුසුවිල් ප්‍රදේශයට පැමිණි පිරිසක් 2000 වසරේ දසැම්බර් 20 වැනිදින සංහාරයට ලක් කිරීම සම්බන්ධයෙන් යුද හමුදා සෙබළුන් 14දෙනකු අත්අඩංගුවට ගෙන යාපනය, චාවකච්චේරි මහේස්ත්‍රාත් ඉදිරියට පමුණුවීමෙන් අනතුරුව රිමාන්ඩ් භාරයට පත්කරන ලදී. අත්අඩංගුවට ගත් 14දෙනාගෙන් 9දෙනෙකු සියළු චෝදනා වලින් නිදහස් කෙරුණු අතර ඔවුන්ගෙන් පස්දෙනෙකුට එරෙහිව නීතිපති විසින් ගොනු කළ චෝදනා යටතේ නඩු විභාගය අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ගෙනයන ලදී. ඉන්පසුව 2002 වසරේදී නඩුව කොළඹ මහාධිකරණයට හරවා යැවුණු අතර එදින් වසර 13ක් මුළුල්ලේ නඩු විභාගය පැවැත්විණි.

මෙම සොල්දාදුවන්ට එරෙහිව චෝදනා කෙරුනු සංහාර සිදුවීමට ගොදුරු වී ඇත්තේ එවකට අභ්‍යන්තර අවතැන්වීමට ලක් වූ LTTE සාමාජිකයන් ඇතුළු අටදෙනෙකි. ඔවුන්ගේ සිරුරු යාපනය නගරයට සැතපුම් 16ක් පමණ නැගෙනහිරින් පිහිටි පෙදෙසක සමූහ මිනීවලක දමා තිබී ගොඩ ගන්නා ලදී. දෙසැම්බර් 19වන දින යාපනයට නුදුරු මිරුසුවිල් ග්‍රාමයේදී ඔවුන් අත්අඩංගුවට ගනු ලැබ තිබුණේ උඩුපිඩ්ඩි ප්‍රදේශයේ සිට නැවත පැමිණ සිටි මිරුසුවිල් වෙත, සිය නිවාස සෝදිසි කර බැලීමට සහ දර එකතු කිරීම පිණිස පැමිණ සිටියදීය. දෙසැම්බර් 20 වන දිනදී සමූලඝාතනය සිදුවූ බැවින් ඔවුන් අත්අඩංගුවට ගත් සෙබළුන් විසින් ඝාතනය කළ බවට චෝදනා කරණු ලැබිණි.

දිස්ත්‍රික් වෙෙද්‍ය නිලධාරී වෙෙද්‍ය සී. කදිර්වෙට්පිල්ලෙයිගේ සාක්ෂ්‍ය අනුව ඝාතනයට ලක්වූවන්ගේ ගෙල කපාදමා තිබී ඇති අතර එයින් තිදෙනකු LTTE සාමාජිකයන් බව කියැවෙයි. අත්අඩංගුවේ සිට දරුණු තුවාලද සහිතව හමුදා භාරයෙන් පලා ආ බව කියන අයකු විසින් සිය ඥාතීන්ට මෙය දැන්වීමෙන් අනතුරුව ඝාතන සිද්ධිය වෙත සමාජ අවධානය යොමු විය. අවසානයේ නීතිවිරෝධී ලෙස අත්අඩංගුවට ගැනීම, හිරිහැර කිරීම, ඝාතනය කිරීම සහ මෘත දේහ සමූහ මිනීවලක මිහිදන් කිරීම යන චෝදනා යටතේ කොළඹ මහාධිකරණයේදී යුද සෙබළු පස්දෙනෙකුට එරෙහිව වසර 13ක් තිස්සේ විභාගයක් පැවැත්විණි. නඩු තීන්දුව අනුව, 2015 ජූනි 25වන දිනදී යුද හමුදා මාණ්ඩලික සැරයන් සුනිල් රත්නායක එම සමූහඝාතනය සම්බන්ධ චෝදනා 15කට වරදකරු කළ මහාධිකරණය විසින්, ඔහුට මරණ දණ්ඩනය නියම කරන ලදී. 

මිරුසවිල් ඝාතන නඩුව පිළිබඳ නීතිඥවරු ඇතුලු සමාජ විචාරකයන් අදහස් දක්වමින් පවසා තිබුණේ එහිදී යුක්තිය ඉටු කිරීම සම්බන්ධයෙන් වරදක් සිදුවූ බවය. මෙම අපරාධයට සොල්දාදුවන් 14 දෙනකුට චෝදනා කෙරුණද අවසානයේ ඒ සඳහා සාක්ෂි නොමැතිකම මත චෝදනා නිශ්ඵල විය. කෙසේවෙතත්, නීතිපති දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් 14 දෙනාගෙන් 5 දෙනෙකුට අධිචෝදනා එල්ලකරනු ලැබූවද එයින් දෙදෙනෙකු වරදකරුවන් බවට පත්කරන ලදි.  මාණ්ඩලික සැරයන් සුනිල් රත්නායකගේ රාජකාරිමය ආධාරකරුවන් සම්බන්ධ සෘජු සාක්ෂි නොමැති නිසා ඔවුන් නිදහස් විය. ලදී. රත්නායක චෝදනා 17කට වරදකරු විය. ඝාතනයට සම්බන්ධ බවට චූදිත අනෙක් සෙබලුන්ට එල්ල වූ එකම චෝදනාව නම් තුවාල සහ ඝාතනය සිදු කිරීමේ අභිලාශයෙන් නීති විරෝධීව රැස්වීම වේ. අධිකරණය නිදහස් කළ සොල්දාදුවන් සමග එකට සිටියදී එක් මිනිසකු පමණක් වින්දිතයන් 8 දෙනෙකුගේ ඇස් බැඳ ගෙල කපා ඝාතනයකර ඔවුන් සමූහ මිනීවලක දමා වැසුවේ යැයි අනුමානකරමින් පසිඳලන්නේ කුමන යුක්තියක්දැයි ප්‍රශ්නයක් තිබිණි.

නමුත් දැන් සුනිල් රත්නායක නිදහස් කෙරුනු පසුව අසන්නට සිදුවන්නේ දෙසැම්බර් 19 අත්අඩංගුවට ගත් සොල්දාදුවන් භාරයේ සිටි මිනිසුන් 8 දෙනකුගේ ගෙල දෑස් බැඳ ගෙල කපා, සමූහ මිනීවලක දමා වැළලුවේ එම සෙබලුන් නොවන බව නිශ්චය කරන්නේ ජනාධිපති ඝෝඨාභය රාජපක්ෂද යන්නය.