Posted on 05.13.2022 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
හිටපු අගමැති මහින්ද රාජපක්ෂ සහ පවුලේ සාමාජිකයන් ත්රිකුණාමල නාවික හමුදා කඳවුර ආශ්රිතව යම් ස්ථානයක සඟවා ඇති බැවින් ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ත්රිකුණාමල නගරය පුරා අතිරේක ආරක්ෂක හමුදා සහ පොලිස් නිලධාරින් යොදවා ඇති බව වාර්තා වේ.
හිටපු අමැතිවරයා සඟවනු ලැබ ඇති බවට වන ප්රවෘත්තිය නිසා පසුගිය දිනවල ත්රිකුණාමල නාවික හමුදා කඳවුර ප්රවේශය වෙත ගිය ජනතාව දැඩි ලෙස කෝපය හා අප්රසාදය පළ කර තිබිණි.
ජනතා විරෝධය නිසා ජනාධිපති ගෝඨාභය හා අමැති මහින්ද ඉවත් විය යුතු බවට රට පුරා විරෝධය ඇවිල යද්දී ජනාධිපතිවරයා විසින් සිය වැඩිමල් සොයුරු අගමැතිවරයා බිල්ලට දී ජනතා විරෝධය සමනය වේ යැයි උඵකල්පනය කර තිබිණි. නමුත් මේ වන විටත් වඩා බලවත් ලෙස විරෝධය තවදුරටත් ඉදිරියට ඇදෙමින් තිබේ. සාමකාමී ලෙස මාසයක කාලයක් පැවති ගාලුමුවදොර පිටියේ විරෝධතාවයට මැයි 9 වැනිදා අගමැතිවරයා සහ සමීප පුද්ගලයන් සැලසුම් කළ ප්රහාරයක් දියත් කෙරිණි. එහිදී පොලිසිය හෝ වෙනත් ආරක්ෂකයන් යොදවා ප්රහාරය වැලැක්වීමට කටයුතු නොකිරීම නිසා ජනාධිපතිවරයාද මෙම මිනිමරු සැලැස්මේ චූදිතයකුව සිටී.
සිය පාලන කාලය තුළ මහජන මුදල් වංචා කළ දූෂිතයකු ලෙසත් ජනතාව මර්දනය කර මිනිමරුවකු ලෙසත් චෝදනාවට ලක් වූ ඔහු සහ ඔහුගේ සමීප ඥාතින් ආරක්ෂා කිරීම පිණිස මහජන මුදලින් ආරක්ෂක සේවා ලබාදීම සම්බන්ධ විරෝධය මතුව ඇත.
ත්රිකුණාමලය නගරයේ පොලිස් භටයන් යෙදවීමේදී ආරක්ෂක විධිවිධාන දෙගුණයකින් පමණ වැඩි කර ඇතැයි පොලිස් දෙපාර්තමේන්තු ආරංචිමාර්ග පවසයි.
මේ වනවිට නගරය පුරා යුද හමුදා හා පොලිස් පරික්ෂා මාර්ග බාධකද වැඩි කරනු ලැබ ඇති අතර ඔත්තු සේවා සාමාජිකයන්ද වැඩි වශයෙන් සැරිසරන බවක් වාර්තා වේ. මෙවැනි තත්වයක් තුළ මිනිස් ඝාතකයකු හා ජනතා දේපළ කොල්ල කෑ අයකු ආරක්ෂා කිරීමට මහජන මුදල් වැය කිරීම ගැන ජනතාවගේ විරෝධය උත්සන්න වෙමින් පවතී. ජනාධිපතිවරයා විසින් මහබැංකු කොල්ලයේ චූදිතයකු මෙන්ම මහින්ද රාජපක්ෂගේ හිතවතකු වන රනිල් වික්රමසිංහ අගමැති ලෙස පත් කළ බැවින් ජනතා විරෝධය වඩාත් බලවත් වෙමින් තිබේ. රාජපක්ෂ පවුල ආරක්ෂා කරමින් ජනතාවගේ සාධාරණ ඉල්ලීම් නොසළකා හැරීමෙන් ජනතාවගේ විරෝධය හෑල්ලුවට ලක් කිරීම නිසා ජනාධිපතිවරයා ජනතාවගේ බලවත් කෝපයට හා පිළිකුලට ලක් වෙමින් තිබේ.