தமிழ்
English
Contact
Wednesday 19th September 2018    
මහවත්ත ඝාතනයට වසර 29යි - යුක්තිය ගිනිගත් අතීතයක කතාව | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

මහවත්ත ඝාතනයට වසර 29යි – යුක්තිය ගිනිගත් අතීතයක කතාව



මීට වසර 29ට පෙරාතුව අද වැනි දිනක මහනුවර දිස්ත්‍රික්කයේ කුණ්ඩසාලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මහවත්ත ගමේ නිවාස 120ක් පමණ ගිනි තබා විනාශ කරන ලදී.

1989 සැප්තැම්බරය වන විට නිවැසියන්ගෙන් වැඩිහිටි පිරිමි බොහෝ දෙනකු ඒ වනවිටද අත්අඩංගුවට ගෙන හෝ පැහැර ගෙන ගොස් මරා දමා තිබිණි. මේ කාලයේ මහනුවර මෙන්ම රට පුරා බිහිසුණු ඝාතන ක්‍රියාදාමයක් පැවතිනි. එක් පැත්තකින් දේශප්‍රේමී අරගලයේ සන්නද්ධ ක්‍රියාමාර්ග නිසා ජනතාව අන්දමන්දව සිටි අතර ප්‍රතිප්‍රහාර ලෙස හැකි සෑම තැනම කුඩා යුද හමුදා කදවුරුපිහිටුවමින් පොලිසිය මෙන්ම වෙනත් නිල නොවන කණ්ඩායම් දඩයමේ නිරතව සිටියහ. මහවත්ත ගම දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ ක්‍රියාමාර්ගවලදී කේන්ද්‍රස්ථානයක් ලෙස ආරක්ෂක අංශ විසින් හදුනාගෙන තිබිණි.

මහනුවර සිට මහියංගනය මාර්ගයේ කිලෝමීටර් හතක් පමණ ගිය විට නත්තරම්පොත නව නගරය පසුකර වරාපිටිය හන්දියට පැමිණ කුණ්ඩසාලේ කෘෂිකර්ම විද්‍යාලය අසළින් වැටී ඇති මාර්ගයේ මහවත්ත ගමට යාමට පහසුය. 29 වසරකට පෙරාතුව අද වැනි දවසක සිදුවූ මහා විනාශය එකල රටපුරා පැවති බිහිසුණු අත්දැකීම්වල කූටප්‍රාප්තියක් වැනිය. මහවත්ත සංහාරය ආරම්භ වූයේ ආසන්නයේ පිහිටි මැණික්හින්න ප්‍රෙද්ශයේ හමුදා පවුල් ඝාතනයක් නිසා බවට ඒ දිනවලආරංචි පැතිර ගොස් තිබිණි. දේශප්‍රේමි අරගලය මර්දනය කිරීමේ ධනපති ආණ්ඩුවේ ක්‍රියාමාර්ගවලට සහාය නොදී ආරක්ෂක හමුදාවෙන් ඉවත්වන ලෙස දේශප්‍රේමි සන්නද්ධ ව්‍යාපාරය විසින් විසින් නිවේදනයක් නිකුත් කර තිබිණි. එහිදී සන්නද්ධ හමුදාව තුළ භිතියක් අැති කළ නමුත් සිය රැකියාවෙන් ඉවත්වන්නට තරම් දේශප්‍රේමි අරගලය ඔවුන්ට බලපෑමක් කර නොතිබිණි.

ඉන් කාලයකට පසුව නිවේදනයක් නිකුත් කරමින් ආරක්ෂක හමුදාවෙන් ඉවත් නොවන භටයන්ගේ පවුල්වලටද වන්දි ගෙවන්නට සිදුවන බව දක්වා තිබිණි. 1989දී මැණික්හින්න අවට හමුදා පවුල් තුනක පුද්ගලයන් ඝාතනයට ලක්ව තිබුණේ ඒ අනුවය. මෙයින් ප්‍රකෝප වූ හමුදා භටයන් දේශප්‍රේමි ජනතා ව්‍යාපාරයේ යැයි සැක කළත් නැතත් මහනුවර අවට ගම්වල තරුණ තරුණියන් සමූහ වශයෙන් අත්අඩංගුවට ගැනීම සිදුකරණ ලදී. මහවත් ගම්මානයේ සංහාරයට පසුබම සකස් වන්නේ එසේය.

මහවත්ත අවට ඇතැම් නිවෙස්වල එකම පවුලේ සහෝදරයන් කිහිප දෙනකුම මේ ආකාරයට ඝාතකයන්ට හසුව තිබුණු අතර ප්‍රකට කාරණයක් වූයේ නත්තරම්පොත නව නගරයේ පොලිස් අශ්වාරෝහක කොට්ඨාශය ලෙස අද හැදින්වෙන මින් පෙර පොලිස් අභ්‍යාස විදුහලක්ව තිබුණු ස්ථානයේ එවකට පවත්වාගෙන ගිය වධකාගාරයේදී අත්අඩංගුවට ගත්තවුන් වධ දී මරා දැමුණු බවයි.

එක් අවස්ථාවකදී මහවත්ත ගමේ පිරිසක් පැහැරගෙන ගිය පසු දින ඔවුන් වෙඩි තබා ගම අසළ දමා ගොස් තිබිණි. එහි සිටි බොහෝ දෙනා උණු ලේ වගුරමින් තවමත් හුස්ම ගනිමින් සිටි බව භීතියෙන් අලලී සිරුරු වෙත ළගා වූ ගම්වාසින්ට දැක ගන්නට හැකි විය. එහි පැමිණි පුද්ගලයෙක් සිය සමීප ඥාතියකු බව හදුනාගත් අයකුගේ ගෙල ප්‍රදේශයෙන් ඇතුලු වූ උණ්ඩයක් කම්මුලින් පිටව ගොස් ඇති නිසා ජීවිතය බේරාගන්නට හැකියාවක් ඇති බව අනුමාන කළේය. එහෙත් වාහනයක් සොයා ගෙන එහි නැවත පැමිණෙන විට ආරක්ෂක හමුදාවෙන් පැමිණ එම සිරුරු රැගෙන ගොස් තිබිණි. 1990 වසරේ බිහිසුණු ධවල භීෂණය අවසන් වන විට මහවත්ත ප්‍රදේශයේ සිය ගණනක් මිනිසුන් සංහාරයේ ගොදුරු බවට පත්ව සිටියහ.

මහවත්ත ගම ඉලක්ක කරගත් මේ රුදුරු සංහාරය සදහා බලපෑ තවත් හේතුවක් ලෙස අනුමාන කෙරෙන්නේ ‘1990 ගම්උදාව‘ සදහා සිදුකළ සූදානමයි. එවකට, එක්සත් ජාතික පක්ෂයේ නිවාස හා ඉඩම් ඇමති රණසිංහ ප්‍රේමදාස, ගම්උදාව නමින් විවිධ ස්ථානවල සිදුකළ සැණකෙළියට 1990 සදහා තෝරාගෙන තිබුණේ කුණ්ඩසාලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පල්ලේකැලේ ප්‍රදේශයයි. ඒ සදහා මුල්ගල තැබීම 1989 සැප්තැම්බර් 14 වැනිදාට නියමිත වූ අතර ගම්උදාව පැවැත්වීම සම්බන්ධයෙන් සන්නද්ධ ව්‍යාපාරයේ බාධාව ආරක්ෂක අංශ විසින් ප්‍රේමදාස වෙත දන්වා තිබිණි. ඒ අනුව, දේශප්‍රෙමී ව්‍යාපාරයේ කේන්ද්‍රස්ථානය ලෙස මහවත්ත ගම්මානය වනසා දැමීමට තීන්දු කෙරුණු බවක් කියැවේ. මුල්ගල තැබීමේ අවස්ථාවට පැමිණි ප්‍රේමදාස හෙළිකොප්ටරයෙන් යනවිට මහවත්ත ගිනිගන්නා ආකාරය ගුවනින් නැරඹූ බවක කියනු ලැබේ.

නිවාස ගිනිතැබීමේ සිදුවීමෙන් පසුව ගම පාලුවට ගිය අතර පණ බේරාගත් බොහෝ දෙනා තමතමන්ගේ ඥාති නිවෙස්වල රහසිගතව සැගවී සිට යළි ගමට පැමිණියේද භීෂණ සමය අවසන් වූ පසුවය. නිවෙස් අහිමිව සහ ඇතැමුන්ට සිය පවුලේ වැඩිහිටි පිරිමි කිසිවකු නැති තත්වයක් තුළ ජීවිතය දුෂ්කරතා බහුල සමයක් විය. එහෙත් 1992 පමණ වනවිට ඔවුන් නැවත නිවෙස් කරා පැමිණ සිය ජීවිත අලුතින් පටන්ගත් බවද මේ වනවිට එදා සිදුවූ බිහිසුණු අත්දැකීම් මතකයෙන්ද ගිලිහී යන තත්වයකට පත්ව තිබෙන බවද ප්‍රදේශවාසීන් සමග කළ කතාබහ අනුව අපට තේරුම් ගත හැකි විය.

එහෙත් සියල්ල මතකයෙන් අමතක කළ නොහැකිය, මිනිසුන් සතුන් මෙන් මහමග ටයර් මත දමා සංහාරය කළ අතීතයකින් පැමිණි අපට එය කළ නොහැකිය. 1971 වේවා 1989 වේවා 2009 දක්වා තිස් අවුරුදු යුද සමයේ වේවා මිනිස් ඝාතන මගින් ජනතාවගේ යුක්ති සහගත අරමුණු පාගාදැමීමට අප විරුද්ධ විය යුතුය. මතු දිනයකදීත් මිනිස් අරමුණු සමග ඒකරාශිවන ජනයා පවතින සමාජ ආර්ථික පීඩාවන්ට එරෙහිව නැගී සිටින බව විශ්වාස කරන අපි මරා දැමුනු මිනිසුන් සම්බන්ධයෙන් යුක්තිය ඉටු කරන්නට හැකි සෑම දෙයක්ම කළ යුතු වෙමු. අවම වශයෙන් ඒ මරා දැමුණු මිනිසුන් සිහිපත් කරමින් ඔවුන් මිනිසුන්ය යන ගෞරවාන්විත මතකය අප වෙත ඉතිරි කරගත යුතුව ඇත.