தமிழ்
English
Contact
Tuesday 28th September 2021    
මහාචාර්ය නීලිකා මලවිගේ ඉවත් වුණේ සිනොවැක් එන්නත නිසාදැයි සැකයක් | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

මහාචාර්ය නීලිකා මලවිගේ ඉවත් වුණේ සිනොවැක් එන්නත නිසාදැයි සැකයක්



කොවිඩ් වසංගතයට එරෙහිව ලබාදෙන එන්නත් පිළිබඳ ඇගයීම් සිදුකොට ඒවා අනුමතකරන විශේෂඥ කමිටුවේ සාමාජිකාවක් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ප්‍රතිජීව විද්‍යා හා අණුක විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී මහාචාර්ය නීලිකා මලවිගේ ඉල්ලා අස්වීමට ශ්‍රී ලංකාවේ හදිසි බාවිතය සඳහා ඉල්ලුම් කොට ඇති චීනයේ නිෂ්පාදිත සිනොවැක් එන්නත බලපෑවේද යන්න සැක පළවෙමින් තිබේ.

මෙම එන්නත අනුමත කරගැනීම සඳහා මහාචාර්ය නීලිකා මලවිගේ ඇතුළු විශේෂඥ කමිටුවට එම එන්නත සම්බන්ධ වාර්තා ලබාදී ඇති පසුබිමක් තුළ එය අනුමත කිරීමෙන් තොරව ඉල්ලා අස්වීම මෙම මතයට හේතුවී තිබේ.

සිනොවැක් එන්නත දැනට පැතිරීමේ අවදානමක් මතුවෙමින් ඇති ඩෙල්ටා ප්‍රබේදයට දක්වන සාර්ථකත්වය පිළිබඳ දත්ත නොමැති නිසා එය අනුමත කිරීමේ ගැටලු පැවතීමත් මෙරට රජය සිනොවැක් සමාගම සමඟ මෙරට කර්මාන්තශාලාවක් ආරම්භ කිරීමට කටයුතු සැලසුම් කිරීම ඇතුළු කරුණු ගණනාවක් මේ සඳහා බලපෑ හැකි බව ‘ලංකාසර’ වෙබ් අඩවිය පවසයි.

සිනොවැක් එන්නත හදිසි බාවිතය සඳහා අනුමැතිය සඳහා ඉදිරිපත් කර ඇත්තේ මේ වසරේ මුල වුවත් එයට අවශ්‍ය වාර්තා ඉදිරිපත් නොකිරීම නිසා ඖෂධ නියාමන අධිකාරිය විසින් එය කල් දමනු ලැබ තිබෙන බව වාර්තා වේ.මීට පෙර චීනයේ නිෂ්පාදිත සිනොෆාම් එන්නත අනුමත කිරීම ප්‍රතික්ෂේප කළ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් කිහිපදෙනෙක්ම රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන විසින් ඉවත් කරනු ලැබ තිබුණි.

ලෝක සෞඛ්‍ය සංවිධානය තම පර්යේෂණවලින් සියයට 50 ඉක්මවා සාර්ථකත්වය ලබන එන්නත් අනුමත කරමින් සිටින අතර සිනොවැක් එන්නතේ කාර්යක්ෂමතාවය ලෙස සඳහන් වන්නේ සියයට 56ක් 65ත් අතර ප්‍රතිශතයකි.

එසේම මෙය ඩෙල්ටා ප්‍රබේදය ඇතුළු නව කොව්ඩ් ප්‍රබේදවලට සාර්ථකව ප්‍රතිචාර දක්වාවිද යන සැකය තිබියදී එම එන්නත නිෂ්පාදනය කරන කර්මාන්තශාලාවක් පවා මෙරට ආරම්භ කිරීමට එකඟ වීම ගැටලු සහගත වේ. මෙම එන්නත අනුමත කිරීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් මෙම මහාචාර්යවරියට යම් බලපෑමක් එල්ලවන්නට ඇතැයි ලංකාසර වෙබ් අඩවිය වාර්තා කර තිබේ.