தமிழ்
English
Contact
Wednesday 25th November 2020    
මහින්ද 2/3ක හදන්නෙ බලය තහවුරු කරගන්න - ගෝඨාගේ ආරක්ෂක ඇමතිකම ව්‍යවස්ථා විරෝධීයි! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

මහින්ද 2/3ක හදන්නෙ බලය තහවුරු කරගන්න – ගෝඨාගේ ආරක්ෂක ඇමතිකම ව්‍යවස්ථා විරෝධීයි!



පාර්ලිමේන්තුවේ ආසන 145ක් හිමිවුවද ආසන 150ක තුනෙන් දෙකේ බලය තහවුරුකර ගැනීමට වෙනත් පක්ෂවල සහාය ලබාගන්නට ගෝඨාභය-මහින්ද පාලනය කටයුතු සකස්කර ඇත.
මෙසේ පාර්ලිමේන්තුවේ 2/3 තීරණාත්මක බලය හිමි කර ගැනීමත් සමගම ආණ්ඩුව නව ඒකාධිපති පාලනයක් වෙත යාමේ සැලසුම් සකස් කරමින් සිටී. අමාත්‍යාංශවල විෂය පථයන් ගැසට් කිරීමේදී ඒ බව හොඳින්ම තහවුරු වී ඇති බව දේශපාලන නිරීක්ෂකයෝ පවසති.
මෙතෙක් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය යටතේ පවත්වාගෙන ගිය රාජ්‍ය පරිපාලන යාන්ත්‍රනය ජනාධිපති යටතට කේන්ද්‍ර කිරිම සඳහා දිස්ත‍්‍රික් ලේකම් කාර්යාල සහ ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල ආරක්ෂක අමාත්‍යාංශය යටතට පවරා ගෙන ඇත. ආරක්ෂක අමාත්‍ය ධුරය ජනාධිපති යටතේ තබා ගැනීමටද ආණ්ඩුව තීරණය කර ඇත්තේද 19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව ජනාධිපතිවරයාට කිසිදු කැබිනට් ඇමැති ධුරයක් දැරීමේ නෛතික හැකියාවක් නැති පසුබිමකය.
තුනෙන් දෙකක බහුතර බලයක් පාර්ලිමේන්තුවේ හිමි වීම නිසා 19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් අහෝසි කරීමේ හැකියාවක් ආණ්ඩුවට හිමි වේ. කෙසේවෙතත් එම ව්‍යවස්ථා සංශෝධනය සිදු කිරීමටත් පෙරාතුව තම දේශපාලන බලය ස්ථාපිත කරගැනීමේ පටු අභිලාෂයන් මත, මේ අන්දමට පවතින ව්‍යවස්ථාවටත් පටහැනි ලෙස ආණ්ඩුව කටයුතු කරමින් සිටී.
දිස්ත‍්‍රික් ලේකම් කාර්යාල සහ ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල ව්‍යූහය සිවිල් පරිපාලනයේ ඉතා වැදගත් තීරණාත්මක ආයතන වන අතර ක්ෂේත‍්‍ර නිලධාරීන් සහ ග‍්‍රාම නිලධාරීන් මගින් ගම දක්වා වූ මුළුමහත් රාජ්‍ය පරිපාලනයම මෙම ආයතන හා බැඳී පවතී. එමෙන්ම මැතිවරණ දෙපාර්තමේන්තුවක් තිබුණද මැතිවරණයකදී පවා ඒ සියලූ කටයුතු හසුරුවනු ලබන්නේ දිස්ත‍්‍රික් ලේකම් කාර්යාල සහ එහි පරිපාලන නිලධාරීන් විසිනි. එවැනි පසුබිමකදී දිස්ත‍්‍රික් ලේකම් සහ ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල ආරක්ෂක අමාත්‍යාංශය යටතට ගැනීම මිලිටරි සිවිල් නව ඒකාධිපති පාලනයක් කරා ආණ්ඩුව රැගෙන යාමේ ව්‍යූහාත්මක වෙනස්කමක් ලෙස සැලකිය හැකි බව ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා මානව හිමිකම් අගයන බොහෝ දෙනාගේ මතය වී තිබේ.
මේ අතර තීරනාත්මක දේශපාලන වැදගත්කමකින් යුතු ආයතන ගණනාවක් ජනාධිපතිවරයාගේ පාලනයට නතු කිරීමද අවධානයට ලක්ව තිබේ. ශ‍්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සහ ඊට අනුබද්ධ ආයතන, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණික නියෝජිත ආයතන, ශ‍්‍රී ලංකා පරිගණක හදිසි ප‍්‍රතිචාර ආයතනය, ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩලය, කොළඹ වරාය නගර ව්‍යාපෘතිය, ශ‍්‍රී ලංකා ටෙලිකොම් සමාගම් සහ ඊට ආශ‍්‍රිත ආයතන, සියලූම තාක්ෂණික උද්‍යානද ජනාධිපතිවරයා යටතට පවරා ගෙන ඇත. එමෙන්ම අභ්‍යන්තර ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණය, රාජ්‍ය අමාත්‍යවරයා වශයෙන් චමල් රාජපක්ෂ පත් කර ඇති අතර මුදල් ඇතුළු කැබිනට් අමාත්‍ය ධුර තුනක් සඳහා අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඇමැතිවරයා ලෙස පත් කර ඇත.
රාජපක්ෂ පවුලේ සාමාජිකයන් අතර මෙසේ රාජ්‍ය ආයතන සිය ගනනක් කේන්ද්‍ර ගතකරගෙන තිබීම මෙරට හා වෙනත් රටවල රාජ්‍ය තාන්ත්‍රික අංශවලත් ජනමාධ්‍ය තුළත් අවධානයට ලක්ව ඇති කරුණුය.