தமிழ்
English
Contact
Thursday 21st March 2019    
මහ මැතිවරණයකදි එ.ජා.ප.-ශ්‍රිල.නි.ප. නොවන පොදු මධ්‍යස්ථානයක් ඕනෑ! - බිමල් රත්නායක | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

මහ මැතිවරණයකදි එ.ජා.ප.-ශ්‍රිල.නි.ප. නොවන පොදු මධ්‍යස්ථානයක් ඕනෑ! – බිමල් රත්නායක



පවතින දේශපාල අර්බුදය අවසන් වූ පසුව එළඹෙන මහමැතිවරණයකදී එක්සත් ජාතික පක්ෂයේ හෝ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ නොවන පොදු මධ්‍යස්ථානයක් ගොඩනැගිය යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක පවසයි.

ජ.වි.පෙ. උත්සාහ කරන්නේ එවැනි පොදු මධ්‍යස්ථානයක කොටස්කරුවෙක් වීමට බව බිමල් රත්නායක ප්‍රකාශ කළේ නොවැම්බර් 26 දින ‘ප්‍රජාතන්ත්‍රවාදය රැක ගැනීම සදහා පෙළගැසෙමු‘ යන තේමාවෙන් ‘වමේ කේන්ද්‍රය‘ විසින් සංවිධානය කරන ලද සම්මන්ත්‍රණයට සහභාගී වූ අවස්ථාවේදීය. සියලු දෙනාට එක සමාන ලෙස කටයුතු කරන්න නොහැකි වුවද මේ අනීතික පාලනය පෙරලා දමන්නට එක්ව වැඩ කළ යුතු බව තමන් යෝජනා කරන බව ජ.වි.පෙ. මන්ත්‍රිවරයා පැවසීය. එසේ සියල්ලම එකතු කරගන්න නොහැකි වුවද හැකි සියලු දෙනා එක්ව නව ජනතා මධ්‍යස්ථානයක් ගොඩනැගීමට අදහස් කරන බවද ඔහු එහිදී පැවසීය.

“මේ අර්බුදයෙන් පසුව, අනිවාර්යයෙන් ඉදිරිපත්වන පාර්ලිමේන්තු මැතිවරණයක්, මහමැතිවරණයකදි ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් කටයුතු කරන්න කැමති වාමාංශිකයන් සහ ප්‍රජාතන්ත්‍රවාදය පමණක් විශ්වාස කරන බලවේග අතර යම් කිසි පොදු මධ්‍යස්ථානයක් බිහිකර ගන්න ඕන එ.ජා.ප. සහ ශ්‍රල.නි.ප. නොවී“ යනුවෙන් ඔහු පවසා සිටියේය.

මේ අනුව, පසුගිය ප්‍රධාන මැතිවරණවලදී ශ්‍රීල.නි.ප. සහ එ.ජා.ප. සමග වරින්වර සන්ධානගතව තරග කළ ජ.වි.පෙ. මෙවර එවැනි සන්ධානයකින් තරග නොකර ඒ වෙනුවට ඉහත පක්ෂ දෙකට පරිබාහිර වෙනත් දේශපාලන පක්ෂ සමග එක්ව තරග කිරීමේ අරමුණක පසුවන බව පෙනී යයි.