தமிழ்
English
Contact
Friday 14th August 2020    
මාතලේ මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා උත්සන්න වීමේ ලකුණු! - තේරීම්භාර නිලධාරි අනතුරු අඟවයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

මාතලේ මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා උත්සන්න වීමේ ලකුණු! – තේරීම්භාර නිලධාරි අනතුරු අඟවයි



මාතලේ දිස්ත්‍රික්කයේ මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා උත්සන්න වෙමින් පවතින බව මාතලේ දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරි එස්.එම්.ජී.කේ පෙරේරා පවසයි.

අද(7) මාතලේ දිස්ත්‍රික්කය වෙනුවෙන් ඉදිරි මහමැතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයන් වෙනුවෙන් මාතලේ හෝටල් පාසල් ශ්‍රවණාගාරයේ පැවති රැස්වීමක් අමතමින් තේරීම්භාර නිලධාරිවරයා මේ බව ප්‍රකාශ කළේය.
මෙම අවස්ථාවට දිස්ත්‍රික්කය වෙනුවෙන් විවිධ දේශපාලන පක්ෂ, ස්වාධීන කණ්ඩායම් නියෝජනය කරමින් තරග කරන අපේක්ෂක අපේක්ෂිකාවන් 184 දෙනකුට ආරාධනා කළද පැමිණ සිටින්නේ කුඩා පිරිසක් බව පෙන්වා දෙමින්, ඒසේ වුවද මැතිවරණ නීතිය ආරක්ෂා කිරීමට මාතලේ මැතිවරණ කාර්යාල නිලධාරින් විසින් සියලු පියවර ගන්නා බව අවධාරනය කෙරිණි.

ඉදිරි සති කිහිපය තුළ මෙම තත්වය උත්සන්න වීමට ඉඩ තිබෙන බව සිය මැතිවරණ රාජකාරී අත්දැකීම් ඇසුරින් අනුමාන කළ හැකි බව පැවසූ තේරීම් භාර නිලධාරි එස්.එම්.ජී.කේ පෙරේරා, වැඩිදුරටත් අවධාරනය කළේ මැතිවරණ නීති පනවා ඇත්තේ මේ දක්වා පාර්ලිමේන්තුව නියෝජනය කළවුන් බැවින් ඔවුන්ම මැතිවරණ නීති උල්ලංඝනය කිරීම කණගාටුදායක බවයි. එසේම මින්පෙර ක්තරා මැතිවරණයකදී තමන්ගේ රාජකාරියට බාධාකරමින් අවමන් සිදු කළ අපේක්ෂකයකු දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ගෙන පාර්ලිමේන්තුවට යැවුවේ ඡන්දදායකයන් බවද ඔහු සිහිපත් කළේය.

මේ අවස්ථාවේදී අදහස් දැක්වූ දේශපාලන පක්ෂ නියෝජිතයන්, මාතලේ ඇතැම් අපේක්ෂක අපේක්ෂිකාවන් අතර ගම්වලට ගොස් හාල් බෙදන, අරක්කු සාද පවත්වන, කාන්තා සමිතිවල සාමාජිකාවන්ට රුපියල් 1000 බැගින් ගිණුම්වලට තැන්පත්කරන දූෂිත තත්වයක් උද්ගතව ඇති බව පෙන්වා දෙන ලදී.

විශේෂයෙන් මැතිවරන නීති උල්ලංඝනය කරමින් ප්‍රචාරක කටයුතු සිදුකරන, පොදුජන පෙරමුණේ අපේක්ෂක ලක්ෂ්මන් වසන්ත පෙරේරා මෙහිදී මැතිවරණ නිලධාරි්ගේ අවධානයට ලක් කෙරිණි. එසේම ඒවැනි වැරදිවලට චෝදනා ලැබුවන් කිසිවකු එම රැස්වීම් අවස්ථාවට සහභාගිව නැති බවද අපේක්ෂක හමුවේදී කරුණු ඉදිරිපත් විය.