தமிழ்
English
Contact
Friday 24th May 2019    
මාධ්‍යවේදී එන්.එම්. අමීන්ගේ මාධ්‍ය ප්‍රකාශය - විකෘති කළ එකක් | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

මාධ්‍යවේදී එන්.එම්. අමීන්ගේ මාධ්‍ය ප්‍රකාශය – විකෘති කළ එකක්



මාධ්‍යවේදී එන්.එම්. අමීන් කළ බවට ඇතැම් මාධ්‍ය විකාශය කළ වීඩියෝ පුවත විකෘති කළ එකක් බවද සම්පූර්ණ ප්‍රකාශය වෙනස් කරමින් ඇතැම් මාධය විසින් එය හිතා මතා වැරදි අර්ථයක් එන ලෙස පළ කර ඇති බවත් හෙළි වී ඇත.

පසුගිය 9 වැනිදා මුස්ලිම් ජනතා සංවිධාන කිහිපයක් සමග සිදුකළ මාධ්‍ය සාකච්ඡාවකදී මුස්ලිම් මාධ්‍ය එකමුතුවේ සභාපති ජ්‍යෝෂ්ඨ මාධ්‍යවේදි එන්.එම්. අමීන් විසින් කළ ප්‍රකාශය තුළ මුස්ලිම් ජන සමාජය පිළිබද සාධාරණත්වය ඇතිකරන ලෙස කළ ඉල්ලිමක්ද ඇත. එහෙත්, ඇතැම් මාධ්‍ය තුළ එම කෙටි ප්‍රකාශයම විකෘති කරමින් පළ කිරීම නිසා මාධ්‍යවේදි අමීන්ට විරුද්ධව මෙන්ම මුස්ලිම් ජන සමාජයට එරෙහිව වෛර සහගත ප්‍රකාශ පළ වෙමින් තිබේ. එම වීඩියෝ කොටස නැවත නැවත හුවමාරු කරමින් ඒ පිළිබද සමාජ මාධ්‍ය ජාලාවලද වෛර ප්‍රකාශ සංසරණය වෙමින් ඇති අතර මෙම ප්‍රකාශය සම්පූර්ණයෙන් දැනගෙන ඒ සම්බන්ධ විවේචන ඇත්නම් ප්‍රකාශ කරන ලෙස මාධ්‍ය ක්‍රියාකාරිහු ඉල්ලා සිටිති. මාධයවේදි අමීන් කළ ප්‍රකාශය මෙසේ නැවත පළ කරන්නේ ඒ ප්‍රකාශය ජනතාව විසින් සම්පූර්ණයෙන් කියවා එහි විකෘති කිරීම් කළවුන්ගේ අරමුණ අනාවරණය කරගනු ඇතැයි අපේක්ෂාවෙනි.

“පසුගිය කාලසීමාව තුල යම් යම් සිදුවීම් සිදු උනා. මේ රටේ පල්ලි 1000කට වැඩිය සෝදිසි මෙහෙයුම් අවස්ථාවේ ස්ථාන කීපයක කඩු තුනක් තිබුණා.ඒවා පිළිබඳව පරීක්‍ෂණ සිදුකරනවා, අදාල අයට දඬුවම් ලබා දෙන්න කියල මුස්ලිම් ජනතාවම කියා තිබෙනවා. ජනාධිපතිතුමා කියල තියෙනව සෑම ගෙදරකම කඩු තියෙනව, ඒක සිරිතක්, ආරක්‍ෂාවට, විශේෂයෙන්ම ගැහැණු ළමයින්ගෙ ආරක්‍ෂාවට, ආත්මාරක්‍ෂාවට, හැම ගේකම කඩු තියෙනව කියල ජනාධිපතිතුමා පොලිස්පතිතුමාට ප්‍රකාශ කරල තියෙනව, අත්‍අඩංගුවට ගැනීම සාධාරණ නැහැ කියල. මම මේ කියන්නෙ කඩු, සමහරවිට කඩුවක් මේ පරීක්‍ෂණයට, තියාගෙන මුස්ලිම්වරු තව මොනව හරි කරන්න යනවා කියන ඒ හැඟීම ඇතිවෙන්න ඉඩ තිබුණ.

ඒ නිසා අපි එකක් කියනව, අපේ ආගමික නායකත්වයේ උපදෙස් පිට මේ ඝාතනය වූ පහලොස් දෙනාගේ, ශිෂ්‍යයන් හැර අනික් සියලු දෙනාම අපේ මුස්ලිම් දේවස්ථානවල අපි භූමිදාන කලේ නැහැ. ඒක අපේ තරුණයන්ට පාඩමක්, ඔබලා මෙවැනි සංවිධානයකට සම්බන්ධ උනා නම් ඔබේ මරණය පවා, ඔබව භූමදානය කිරීමට පවා අපේ පල්ලිවල ඉඩ නැහැ කියන පණිවිඩය අපි ලබා දීල තියෙනව.

ඒ පහලොස් දෙනාගෙ කණ්ඩායමේ දරුවො හතරදෙනෙක් පස් දෙනෙක් හිටිය, ඔවුන්ට අපෙ ආගමානුකූලව දැනුමක් නැති කුඩා දරුවො. ඔවුන්ට අපේ ආගමික නායකයො අපේ ආගමික සිරිත් අනුව අවසන් කටයුතු කරා. මේවයින් අපි පණිවිඩයක් අපේ මුස්ලිම් තරුණයන්ට විශේෂයෙන්ම ජනතාවට ලබාදී තිබෙනවා. මුස්ලිම්වරු හැටියට මුස්ලිම්වරු මෙය අනුමත කරන්නෙත් නැහැ. ඉදිරියෙදිත් මෙය අනුමත කරන්නේ නැහැ. ඒ නිසා මේ පණිවිඩය මේ රටේ ජනතාවට ලබා දෙන්න. අද අපේ රට ඉතාමත් අවාසනාවන්ත තත්ත්වයට පතිවී තිබෙනවා. එනිසා ඔබ ඒ පණිවිඩය ලබා දෙන්න මාධ්‍ය පාවිච්චි කරන්න. සාධාරණත්වය වෙනුවෙන් මුස්ලිම් ජනතාව වෙනුවෙන් කරන ඉල්ලීමක්.”

සංස්කාරක සටහන – මෙම පුවත වාර්තා කිරීමේදී ‘ලංකාවීව්ස්’ සදහා මූලාශ්‍ර වූයේ සංස්කරණය කළ වීඩියෝ දර්ශනයක් බැවින් ඉහත සම්පූර්ණ ප්‍රකාශයේ අදහස වෙනුවට වෙනත් අර්ථයක් අපගේ පුවතේද අඩංගු බව ස්වයංවිවේචනාත්මකව පිලිගනිමි. ඒ සම්බන්ධව පාඨක ඔබෙන් මෙන්ම සහෝදර මාධ්‍යවේදී එන්.එම්. අමීන්ගෙන් සමාව ඉල්ලා සිටිමි.