தமிழ்
English
Contact
Tuesday 28th September 2021    
මාධ්‍යවේදී ඝාතන අනුමත කළ වෛද්‍ය හේමන්ත හේරත්ට මාධ්‍ය සංවිධානවල විරෝධය | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

මාධ්‍යවේදී ඝාතන අනුමත කළ වෛද්‍ය හේමන්ත හේරත්ට මාධ්‍ය සංවිධානවල විරෝධය



සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් විසින් පසුගිය සමයේ මැරුම් කෑවේ තර්ඩ් ක්ලාස් මාධ්‍යවේදීන් බවට කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් මාධ්‍ය සංවිධාන එකමුතුවක් සිය අප්‍රසාදය පළකර තිබේ.

විශේෂඥ වෛද්‍ය සමන්ත හේරත් වෙත ලිපියක් යොමු කරමින් මාධ්‍ය සංවිධාන එකතුව මේ බව පවසා ඇත.

ජනතාවට මෙන්ම රටට සිදුවන අයහපත සම්බන්ධයෙන් වැඩ කිරීම නිසා ජීවිතයෙන් වන්දි ගෙවන්නට සිදු වූ එම මාධ්‍යවේදීන්ට ඔබ කර ඇත්තේ බලවත් අපහාසයක් බවද මාධ්‍ය සංවිධාන එකමුතුව එම ලිපියේ සඳහන් කර තිබේ.

මාධ්‍ය සංවිධාන හයකින් සමන්විත මාධ්‍ය සංවිධාන එකතුව පෙන්වා දෙන පරිදි ජූනි මස 3 වැනිදා සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවේ මූලික අදහස් දැක්වීමෙන් අනතුරුව, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් කෝපයෙන් යුතුව ඉහත ප්‍රකාශය කර ඇත්තේ, එදින “තේමාවට අදාල නොවන ගැටලුවක්” සම්බන්ධයෙන් දිගින් දිගටම ප්‍රශ්න කළ මාධ්‍යවේදියකු ඉලක්ක කර ගෙනයි.

මාධ්‍ය සේවක වෘත්තිය සමිති සම්මේලනයේ ලේකම් ධර්මසිරි ලංකාපේලි, නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැදවුම්කරු සීතා රංජනී, ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති දුමින්ද සම්පත්, ශ්‍රී ලංකා මුස්ලිම් මාධ්‍ය සංසදයේ සභාපති එන්.එම්.අමීන්, දෙමළ මාධ්‍ය සංසදයේ ලේකම් කනපතිපිල්ලේ සර්වානන්ද හා ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ ලේකම් ඉදුනිල් උස්ගොඩ ආරච්චි ගේ අත්සනින් යුතුව මාධ්‍ය සංවිධාන එකතුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් වෙත ලිපිය යොමු කර තිබේ.