தமிழ்
English
Contact
Wednesday 30th September 2020    
මාධ්‍ය නිදහස අගයනවා නම් පුවත්පත් ස්වයං නියාමනයට සහාය දෙන්න! - ජනාධිපතිගෙන් ඉල්ලයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

මාධ්‍ය නිදහස අගයනවා නම් පුවත්පත් ස්වයං නියාමනයට සහාය දෙන්න! – ජනාධිපතිගෙන් ඉල්ලයි



ප්‍රකාශනයේ නිදහස යටතේ මාධ්‍ය නිදහස ආරක්ෂා කරන බවට ජනාධිපතිවරයා දී ඇති පොරොන්දුව අගය අනුව, මෙරට පුවත්පත් ස්වයංනියාමනයට ඇති බාධක ඉවත්කරරන ලෙස
පුවත්පත් ප්‍රකාශකයන්ගේ ජගත් සංවිධානය (WAN – IFRA) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ලිපියක් යොමු කරමින් ඉල්ලයි.

පුවත්පත් ප්‍රකාශකයන්ගේ ජගත් සංවිධානය, මාධ්‍ය ආයතන 3,000කට වැඩි සංඛ්‍යාවක ජාත්‍යන්තර සාමාජිකත්වය සහිත පුවත්පත් ක්සේත්‍රයට අදාළව ලොව විශාලතම සංවිධානයයි. ලොව පුරා මාධ්‍යවේදීන්ගේ සහ ප්‍රකාශකයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම වෙනුවෙන් කටයුතුකරන මෙම සංවිධානයේ මූලස්ථානය ප්‍රංශයේ පැරිස් අගනුවර පිහිටුවා ඇත.

ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු ස්වයං නියාමන මූලධර්මය යටතේ කටයුතු කිරීමට පුවත්පත්වලට අවසර දී ඇති බව පෙන්වාදෙන එම සංවිධානය, ලංකා ආණ්‍ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති භාෂණයේ, අදහස් පළ කිරීමේ නිදහස බාධාකරන තත්වයන් සම්බන්ධ පියවර ගන්නා ලෙස ඉල්ලා ඇත.

පුවත්පත් ප්‍රකාශකයන් සහ කර්තෘවරුන් සිරගත කළ හැකි විධිවිධාන ඇතුළත් පුවත්පත් මණ්‍ඩල පනත වැනි නීති වෙනුවට පුවත්පත්වලට ස්වයං නියාමන මූලධර්මය යටතේ කටයුතු කිරීමට ඉඩදීම යෝග්‍යයැයි කියන එම සංවිධානය ශ්‍රී ලංකාවේද එම සංකල්පය ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා සහාය දක්වනු ඇතැයි අපේක්ෂා කරන බවද ප්‍රකාශ කරයි.

පුවත්පත් ප්‍රකාශකයන්ගේ ජගත් සංවිධානය ජනාධිපතිවරයාට එවා ඇති මෙම ලිපියෙන් ලංකාවේ ජනාධිපති ධුරයට තේරීපත්වීම ගැන ජනාධිපතිවරයාට සුබපතා ඇත. මාධ්‍යයට කිසිදු තර්ජනයක් එල්ල නොවන බවටත් සත්‍ය කරුණු මත පදනම් වී ලිවීමට මාධ්‍යවේදීන්ට නිදහස තිබෙන බවටත් ජනාධිපතිවරයා පුවත්පත් සහ අනිකුත් මාධ්‍යවල ප්‍රධානීන් සමග පැවැත් වූ සාකච්ඡාවලදී දුන් සහතිකය මහත් ඕනෑකමින් සැලකිල්ලට ගන්නා බවද සඳහන් කරන එම සංවිධානය සිය ලිපිය අවසන් කරන්නේ ජනාධිපතිවරයාගේ ධුරකාලය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වන ලෙස සුබ පතමිනි.