தமிழ்
English
Contact
Thursday 21st March 2019    
මාධ්‍ය නිදහස උදෙසා අරගලය, දේශපාලන බලසූදුවට ගොදුරුවීම වළක්වමු! - පුබුදු ජයගොඩ | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

මාධ්‍ය නිදහස උදෙසා අරගලය, දේශපාලන බලසූදුවට ගොදුරුවීම වළක්වමු! – පුබුදු ජයගොඩ



මේ වනවිට අධිපති මාධ්‍යයන්ගේ මාධ්‍ය අවභාවිතයට එරෙහිව මාධ්‍ය නිදහස අරමුණු කරගනිමින් වර්ධනය වෙමින් පවතින විරෝධතා සහ අරගල දේශපාලන වාසි සදහා යොදාගැනීමට ඇති හැකියාව අහෝසි කළ යුතු බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පවසයි.

ප්‍රධාන පෙළේ රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍යවල පටු අරමුණු සම්බන්ධයෙන් ජනතාව අතර මෙන්ම සිවිල් සංවිධාන අතර පැන නැගී ඇති විරෝධය සාධනීය බව පිළිගනිමින්ම පෙ.ස.ප. අධ්‍යාපන ලේකම්වරයා අවධාරනය කරන්නේ එවැනි විරෝධතා වරින්වර දේශපාලන බල පොරයට පාවිච්චිකර ඉවත දැමීමේ ‘රම්පෙ කරපිංචා‘ ක්‍රමය පිළිබද සැළකිලිමත් වියයුතු බවයි. සිය ෆේස්බුක් ගිනුමේ සටහනක් තබමින් ඔහු මේ බව පවසා තිබේ.

පුබුදු ජයගොඩ තබා ඇති සම්පූර්ණ සටහන මෙසේය.

“ලංකාවේ බොහෝ විට මාධ්‍ය නිදහස නමින් නම් කෙරෙන්නේ මාධ්‍ය ආයතනවලට රිසිසේ වැඩ කටයුතු කරගෙන යාමේ නිදහසයි. එනම් මාධ්‍ය ආයතනවල ප්‍රාග්ධන හිමියන් වන ධන කුවේරයන්ට මහජන මතයක් වාත්තු කිරීම සඳහා ජනතාවගේ මොළ සේදීමට සිය මුදල් බාධාවකින් තොරව භාවිතා කිරීමේ නිදහසයි. එහිදී අත හැරෙන කොටසක් ඇත. මාධ්‍යවේදියාට සහ සමාජයට මාධ්‍ය ආයතන හිමියාගේ ප්‍රාග්ධන අභිලාෂයන්ගෙන් සහ දේශපාලන දෘෂ්ටිවාදී බලහත්කාරයෙන් ගැලවීමට ඇති අයිතිය අමතක කොට දමා ඇත. නිදසුනක් ලෙස රජය විසින් මාධ්‍ය ආයතනයකට කරන බලපෑමක් මිස මාධ්‍ය ආයතනයක් සිය නියෝග නොතකා හරින මාධ්‍යවේදියකු සේවයෙන් නෙරපීම හෝ ආයතනයේ මතයට පටහැනි මත වාරණය කිරීම මාධ්‍ය නිදහස උල්ලංඝනය කිරීමක් ලෙස අර්ථ දැක්වෙන්නේ නැත.
එනිසා මාධ්‍ය විසින් කෙරෙන්නේ හුදු තොරතුරු සහ ප්‍රවෘත්ති සම්ප්‍රේෂණය කිරීමක් නොව එම තොරතුරු වාරණය, අසම්පූර්ණ ලෙස ඉදිරිපත් කිරීම, ප්‍රමුඛතා වෙනස් කිරීම, ඒ ගැන විග්‍රහ ඉදිරිපත් කිරීම ආදිය මගින් උක්ත මාධ්‍යයේ දේශපාලන බලහත්කාරයට සමාජය ගොදුරු කරවීමයි. එය කිසිසේත්ම අපක්ෂපාතී හෝ අහිංසක නොවන අතර සෑම මාධ්‍යයක්ම දේශපාලන ව්‍යාපෘතියක් ක්‍රියාවේ යොදවයි. පෞද්ගලික මාධ්‍ය තනි තනි ධනපතියන් විසින්ද රාජ්‍ය මාධ්‍ය ධනපතියන්ගේ සාමූහික ව්‍යුහයක් වන රජය විසින්ද හසුරුවන නිසා වත්මන් මාධ්‍ය වැඩි වශයෙන් ධනේෂ්වර මාධ්‍ය වේ.
මෙය හෙලිදරව් කිරීම සහ මාධ්‍ය පිළිබඳ සමාජයේ දේශපාලන සාක්ෂරතාව වර්ධනය කිරීම විමුක්ති දේශපාලනයේ ප්‍රධාන අවශ්‍යතාවයකි. එය කළ යුත්තේ වාරණය හරහා නොව සමාජය මාධ්‍ය දේශපාලනයට අන්ධ ලෙස ගොදුරු වීමට ඉඩ නොදී එය සවිඥානක කිරීමෙනි. 10 වැනිදා උද්ඝෝෂණය වැදගත් ඉදිරි පියවරක් වන්නේ එනිසාය. එයට එරෙහිව නැගෙන සියළු අවලාද සහ ප්‍රහාරයන් අප පිළිකෙව් කරන්නේ එහෙයිනි. එම උද්ඝෝෂණයේ නිරත ක්‍රියාධරයන්ට මාධ්‍ය හිමිකාරීන්ගේ ප්‍රාග්ධන බලය යොදවා පහර දීම හෙලා දැකිය යුතුය.
නමුත් එම උද්ඝෝෂණයේ බරපතල සීමාවන් පැවතිනි. මාධ්‍ය වල දෘෂ්ටිමය ත්‍රස්තවාදයට හොඳම උදාහරණය ඔක්තෝම්බර් 26වැනිදා සිදුවීමේදී මාධ්‍ය වල පක්ෂග්‍රාහී හැසිරීම පමණක්ද? කම්කරු වැඩවර්ජන, ශිෂ්‍ය උද්ඝෝෂණ ආදියේදී මාධ්‍ය වල හැසිරීම අතිශය පිළිකුල් සහගතය. විශ්‍රාම වැටුප් කප්පාදූව සහ වතු කම්කරු උපවාසය මෙන්ම දේශපාලන රැඳවියන් නිදහස් කර ගැනීමේ අරගල සම්බන්ධයෙන් මාධ්‍ය කටයුතු කළේ ඒවා සිදුනොවූ ආකාරයටය. පොදුවේ පහළ පාංතික ජනයාගේ අයිතීන් සහ අරගල නොතකා හැරිණි.

මේ උද්ඝෝෂණය එම ප්‍රශ්නය මගහැර ඔක්තෝබර් 26වැනිදා අත්තනෝමතිකත්වය ඉදිරියේ මාධ්‍යවල ගැති බව සහ එහි දේශපාලන ව්‍යාපෘතිය පමණක් ආවරණය කිරීම එම අරගලයට හානිදායකය. එකක් එමගින් ‘කළු මාධ්‍ය සුදු කිරීම’ බැනරය යටතේ රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව විසින් දියත් කිරීමට සැරසෙන මර්දනයට මේ මතය පාවිච්චි කිරීමට ඔවුන්ට හැකි වීමයි. එජාපය සැරසෙන්නේ මාධ්‍ය අපක්ෂපාතී කිරීමට නොව තමන්ගේ පදයට නටන නව මාධ්‍ය ප්‍රමාණයක් නිර්මාණය කර ගැනීමට සහ තිබෙන මාධ්‍ය හීලෑ කර ගැනීමටය. නව නීති සකසන බව කියන්නේ ඒ සඳහාය.
ඔක්තෝම්බර් 26වැනිදා සිදුවීමට සීමා නොකර මාධ්‍ය වල හැසිරීම සංයුක්තව නොගන්නේනම් අවසානයේ උද්ඝෝෂණයේ වාසියද මාධ්‍ය හිමිකාර ධන කුවේරයන්ට සහ අවස්ථාවාදී දේශපාලන බලවේග වලට හිමි වනු ඇත.
දෙවැන්න වනුයේ මාධ්‍යවල ප්‍රශ්නය මෛත්‍රීගේ-රනිල්ගේ-මහින්දගේ බල පොරයට අදාළව ඔවුන්ගේ පක්ෂපාතීත්වයට සීමා නොවීමයි. මාධ්‍ය සමාජයට වැඩිම හානියක් කරන්නේ එහි කලා සංස්කෘතික ක්‍රියාකාරීත්වය හරහා බව කීම අතිශයෝක්තියක් නොවේ. මාධ්‍ය සමාජයේ මොළ සේදීම සඳහා භාවිතා කරන්නේ හුදු දේශපාලනමය දේශපාලනය පමණක් නොව සංස්කෘතික දේශපාලනයයි. මේ උද්ඝෝෂණයට එය සම්පූර්ණයෙන්ම මග හැරීම ප්‍රශ්නයකි. මාධ්‍ය ජනතාවගේ බහුතර කොටස් මේ කුණු වූ සමාජ ක්‍රමයට සහ ප්‍රාග්ධනයේ වියගසට ගැට ගසන්නේ කලා රස වින්දනය, සදාචාර චින්තනය, පවුල් සබඳතා, ජීවන දර්ශනය ආදී සියල්ල මත ආධිපත්‍යය පැටවීම හරහාය. අනෙක් අතට මාධ්‍ය ක්‍රියාකාරීත්වය පිළිබඳ විවේචනයට වැඩි සමාජ අනුමැතියක් ලබා ගත හැක්කේද යම් නිශ්චිත සිදුවීමකදී ඒවායේ දේශපාලන හැසිරීම සම්බන්ධ හෙලිදරව් කිරීම් හරහාම නොව සංස්කෘතික ජීවිතයේදී මාධ්‍ය වල ප්‍රතිගාමී ව්‍යවහාරය පිළිබඳ විවේචනාත්මක හෙලිදරව් කිරීම් හරහාය.
අපේ අදහස නම් මාධ්‍යවල පංති පක්ෂපාතීත්වය සහ සමාජමය විනාශකාරී බව හෙලිදරව් කිරීම සමග පුළුල් මහජන ව්‍යාපාරයක් ගොඩ නැගීම, එහි උපායමාර්ග, එම ව්‍යාපාරය මගින් සමාජයේ දේශපාලන සාක්ෂරතාව වර්ධනය කිරීම සහ විකල්ප මාධ්‍ය ක්‍රියාකාරීත්වයන් ප්‍රසාරණය කිරීම සංයුක්ත වන බවයි. එසේ නොවුනහොත් මේ අරගල පාවාදීමට ලක්වීමට හෝ ප්‍රතිගාමී දේශපාලන ව්‍යාපෘතියක රම්පේ කරපිංචා බවට පත් වීමට ඉඩ තිබේ. මාධ්‍ය ක්‍රියාකාරීත්වය පිළිබඳ අරගලය ආරක්ෂා කිරීම මෙන්ම මේ අවදානම අවධාරණය කිරීමද අපගේ වගකීමෙන් බව අපි විශ්වාස කරමු.“