தமிழ்
English
Contact
Sunday 23rd February 2020    
මානව හිමිකම් පිළිබද පියවර නොගැනීම දෝෂ දර්ශනයට ලක් වේ! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

මානව හිමිකම් පිළිබද පියවර නොගැනීම දෝෂ දර්ශනයට ලක් වේ!



එක්සත් ජාතින්ගේ මානව හිමිකම් මහකොමසාරිස් මිෂෙල් බැචලෙට් විසින් ලංකාව සම්බන්ධයෙන් මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කෙරුණු වාර්තාව මගින් මෙරට සිදූවී ඇතැයි පැවසෙන අපරාධ සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් කටයුතු නොකිරිම පිළිබද අවධානයට ලක් කරයි.

ලංකාවේ මානව හිමිකම්වල වත්මන් තත්ත්වය සහ වගවීමේ ක්‍රියාවලිය පිළිබඳ ජගත් මානව හිමිකම් කොමිසම සකස් කළ එම වාර්තාව ජිනීවා මානව හිමිකම් කොමිසමේ 40 වන සැසිවාරයට ඉදිරිපත් කෙරුණි.

ගතවූ කාලය තුළ ලංකාවේ සිදුවී ඇති අපරාධ පිළිබඳ වගවීමේ යාන්ත්‍රණය ඉතාම මන්දගාමී ලෙස ක්‍රියාත්මක වී ඇති අතර විශේෂ අධිකරණ යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම සඳහා රජයේ අවධානය යොමු වී නොමැති බව අදාළ වාර්තාවේ දක්වා තිබේ.

ලංකාවේ සිදුවී ඇතැයි චෝදනා එල්ල වී ඇති අන්දමේ බරපතළ පරිමාණයේ අපරාධ සම්බන්ධයෙන් මෙරට සාමාන්‍ය අධිකරණ ක්‍රියාවලියට අනුව කටයුතු කිරීම දුෂ්කර බව වටහාගත හැකිය. ඒ බව තහවුරු වී තිබියදීත් විදේශිය විනිසුරුවරුන් අධිකරණ ක්‍රියාදාමයට සහභාගී කරවාගැනීම ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් එහි අවධානය යොමුකර ඇත. එමෙන්ම ආරක්ෂක හමුදාවලට සම්බන්ධවූවන් සහ එහි ඉහළ නිලයන් දැරූවන් අපරාධවලට සම්බන්ධ වී ඇති අවස්ථාවලදී ඔවුන් සම්බන්ධයෙන් නීතීය ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව දරණ අවම අවදානය ගැටළු සහගත බවද වාර්තාවේ දැක්වෙයි.

මහ කොමසාරිස්වරිය වැඩිදුරටත් සිය වාර්තාවේ දක්වා ඇත්තේ එවැනි පුද්ගලයින් සම්බන්ධයෙන් සිදුවන විමර්ශන දේශපාලන බලපෑම් මත දුෂ්කර මට්ටමක පැවතීම හෝ ආපසු හැරී ඇති බවට පෙනී වන බවයි.

ලසන්ත වික්‍රමතුංග ඝාතනය, ප්‍රගීත් එක්නැලිගොඩ, කීත් නොයාර් යන මාධ්‍යෙව්දීන් අතුරුදන් කිරීම, 2011දී තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම, තාජුඩීන් ඝාතනය ආදී චෝදනා විමර්ශන මෙහෙයවූ පොලිස් නිලධාරියකුට ස්ථාන මාරුවක් ලබාදීම විමර්ශන ඉදිරියට යාම වළක්වාගැනීමට ගත් උත්සාහයක් ලෙස පෙනි යන බව එම වාර්තාව සදහන් කරයි.

වැඩිදුරටත් කරුනු දක්වන මහකොමසාරිස්වරිය, ජාත්‍යන්තර මානව හිමිකම් නීති උල්ලංඝණය කිරීමේ චෝදනා විභාග කිරීම සඳහා විදේශිය විනිසුරුවරුන්ද රැගත් දෙමුහුන් අධිකරණයක් ස්ථාපිත කළ යුතු බවට වන යෝජනා යළි ඉදිරිපත්කර තිබේ.

මෙරට ආරක්ෂක හමුදා විසින්අ සිදු කළ අත්අඩංගුවට ගැනීම්, රදවා ගැනීම්, වදහිංසා පැමිණවීම්, ලිංගික වදහිංසන පිළිබඳ මානව හිමිකම් කොමිසමට 2016 සිට 2018 දක්වා තොරතුරු රැසක් ලැබී ඇති බව පවසන කොමසාරිස්වරිය, ඒවා සම්බන්ධයෙන් ලංකා ආණ්ඩුව මෙතෙක් විමර්ශනයක් ආරම්භ කර නොමැති බවද  සඳහන් කරයි .

එමෙන්ම එම වාර්තාව හරහා මානව හිමිකම් කොමිසම වැඩිදුරටත් පවසා තිබෙන්නේ  ශ්‍රී ලංකාව මරණ දඩුවම ක්‍රියාත්මක නොකිරීමේ ප්‍රතිපත්තියද දිගටම පවත්වාගත යුතු බවයි. මෙරට මානව හිමිකම් තත්ත්වය පිළීබඳ නිරන්තර අධීක්ෂණය සඳහා ජගත් මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්ගේ දේශිය කාර්යාලයක් ස්ථාපිත කළ යුතු බවද ඇය යෝජනා කර තිබුණි.