தமிழ்
English
Contact
Friday 6th December 2019    
මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා සහ නීති විරෝධී කටයුතු අදත් | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා සහ නීති විරෝධී කටයුතු අදත්



අද(16) ජනාධිපතිවරණ කාලය තුළ මැතිවරණ නීතිය උල්ලංඝනය කිරීම් සහ ප්‍රචණ්ඩ ක්‍රියා ගණනාවක් වාර්තා වී තිබේ.

ප්‍රදේශ ගණනාවකදී ඡන්දපොළ අවට අපේක්ෂකයන් ප්‍රවර්ධනය කිරීමේ පත්‍රිකා බෙදීම් දක්නට ලැබුනු අතර ඇතැම් ස්ථානවල සහ ප්‍රධාන නගරවලදී අපේක්ෂකයන්ගේ ඡන්ද ලකුණට කතිරය ගසා ඇති ආකාරයේ කුඩා පත්‍රිකා බිම විසුරුවා හැර තිබිණි. විශේෂයෙන් පොදුජන පෙරමුණේ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ නාමය සහ පොහොට්ටුව ලකුනට කතිරය ගැසූ කුඩා ප්‍රමාණයේ පත්‍රිකා මෙන්ම නව ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානයේ සජිත් ප්‍රේමදාසගේ නම සහ හංසයා ලකුණට කතිරය ගැසූ පත්‍රිකා විසුුවා හැර තිබිණි. 

අද (16) උදෑසන පුත්තලම අවතැන් කඳවුරු ආශ්‍රිතව වෙසෙන මුස්ලීම් ප්‍රජාව ඔවුන්ට ජන්ද අයිතිය ඇති මන්නාරමේ ජන්ද මධ්‍යස්ථාන වෙත ගමන් කරමින් සිටියදී ඔවුන්ට ගමන් කළ නොහැකි ආකාරයට ටයර් පුළුස්සා ගස් කපා මග හරස් කිරීමේ පුවතක් සම්බන්ධව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. එසේම එම බස් රථ වෙත වෙඩි තබා ඇති බවත්, ඒ සමඟ ගල් ප්‍රහාරයක්ද දියත්කර ඇති බවත් එම මාධ්‍ය වාර්තා වල දැක්වෙන අතර එහෙත් කිසිවෙකුටත් තුවාලයක් සිදුව නැති බවත් වාර්තා වෙයි. තන්තිරිමලය ප්‍රදේශයේ මේ සිදුවීම වාර්තා වීමෙන් පසුව පොලිසිය එම ස්ථානයට පැමිණ මාර්ග බාධක ඉවත්කර පිරිසට ගමනා ගමන පහසුකම් සලසා ඇත. මේ සම්බන්ධව ලැබෙන ආරංචිමාර්ග සඳහන් කරන්නේ මෙම අවතැන් ජනතාව ජන්දය දැමීමට යාම වැලැක්වීම සඳහා මෙකී ක්‍රියාව සිදුකර ඇති බවය.

මීට අමතරව නීති විරෝධී මැතිවරණ ප්‍රචාරක පත්‍රිකා ළඟ තබාගත් අය මෙන්ම ජනතාව අතර බෙදීමට උත්සාහ කළ පුද්ගලයන් අත්අඩංගුවට ගෙන තිබේ. විශේෂයෙන් පොදුජන පෙරමුණේ, නව ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානයේ සහ ජාතික නිදහස් පෙරමුණේ ආධාරකරුවන් මෙවැනි නීති විරෝධී කටයුතුවලට සම්බන්ධ වූ බවට චෝදනා ලබා තිබේ. 

මේ අතර, ගලේවෙල, මැදබැද්ද ප්‍රදේශයේ පදිංචි පත්තිනි ගෙදර කුසුමාවතී නැමැති කාන්තාව ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පැමිණෙද්දී වෙනත් අයෙකු සිය ඡන්දය ප්‍රකාශ කිරීම නිසා  ඇයට සිය ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වී තිබේ. ඡන්ද පත්‍රිකාව සහ නිල හැඳුනුම්පත රැගෙන මැදබැද්ද ඡන්ද මධ්‍යස්ථානයට යනවිට තමාට හිමි ඡන්දය ප්‍රකාශ කර තිබෙන බව ස්ථානභාර නිලධාරීවරයා පැවසූ බව ද තමන් ඒ පිළිබඳව එම ස්ථානයේ නිලධාරීන්ට පැමිණිලි කළ ද  තමාට ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි බව පවසා මධ්‍යස්ථානයෙන් ඉවත් කළ බව ඇය පැවසුවාය.

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම ආරම්භ වූ අවස්ථාවේ සිට පස්වරු 1 දක්වා කාලයේදී මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධ සිදුවීම් 139 ක් වාර්තා වී ඇතැයි මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

පහරදීම් දෙකක්, වංචා හා අල්ලස් සිදුවීම් 2ක්, මැතිවණ නීති උල්ලංඝණය කිරීමේ සිදුවීම් 23ක්, නීති විරෝධී මැතිවරණ ප්‍රචාරණ කටයුතු සම්බන්ධ සිදුවීම් 47ක් සහ බිය ගැන්වීම් සහ බලපෑම් කිරීම් සම්බන්ධ සිදුවීම් 40ක් ඒ අතර වන බව ද එම මධ්‍යස්ථානය සඳහන් කරයි.

මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයට අනුව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධ සිදුවීම් වැඩි ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ මාතර දිස්ත්‍රික්කයෙනි. එම සංඛ්‍යාව 15කි.

පුත්තලම සහ ගම්පහ දිස්ත්‍රික්කවලින් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධ සිදුවීම් 13 බැගින් වාර්තා වී තිබෙන අතර අනුරාධපුරය, හම්බන්තොට සහ මොණරාගල යන දිස්ත්‍රික්කවලින් සිදුවීම් 10 බැගින් වාර්තා වී තිබේ.

ඉහත කී සමස්ත සිදුවීම් 139න් 91ක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සම්බන්ධ සිදුවීම් වන අතර නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට සම්බන්ධ සිදුවීම් 31ක් ද ඒ අතර වේ. ජාතික ජන බලවේගයට සම්බන්ධ සිදුවීමක් සහ පක්ෂය හඳුනානොගත් සිදුවීම් 7ක් ද ඒ අතර වේ.

රාජ්‍ය නිලධාරීන් සම්බන්ධ සිදුවීම් 9ක් පිළිබඳව ද තොරතුරු ලැබී ඇතැයි මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය තවදුරටත් සඳහන් කරයි.

ජනාධිපති අපේක්ෂකයකුගේ මැතිවරණ ලකුණ සළකුණු කරන ලද පත්‍රිකා 600 ක ප්‍රමාණයක් සමඟ නාගොඩ ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයෙක් අද (16) තල්ගස්වල නගරයේදී සැකපිට  අත්අඩංගුවට ගත් බව නාගොඩ පොලිසිය කියයි.

උදෑසන 11.55 ට පමණ දැරිණියගල පොලිස් වසමේ නූරිය වත්ත ප්‍රදේශයේ දී පුද්ගලයින් තිදෙනෙකුට පහර දීමක් සිදුව ඇතැයි පොලීසිය පවසයි. තුවාලකරුවන් දැරණියගල රෝහල වෙත ඇතුළත් කර ඉන් එක් තුවාලකරුවෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා කරවනැල්ල රෝහල වෙත මාරු කර යවා ඇත.

බලංගොඩ විකිලිය නාරද විද්‍යාලයේ ඡන්ද මධ්‍යස්ථානය අසලදී අපේක්ෂකයකු ප්‍රවර්ධනය වන ආකාරයේ අත්පත්‍රිකා බෙදමින් සිටි පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගන්නා ලද අතර අද උදෑසන ද බලංගොඩ දී එම අපේක්ෂකයාටම සහාය දක්වන පත්‍රිකා බෙදූ තවත් අයෙක් අත්අඩංගුවට ගෙන තිබිණි.

ජනාධිපතිවරණ අපේක්ෂකයකු ප්‍රවර්ධනය වන අයුරින් ඔහුගේ නම සහ සලකුණ ඇතුළත් කර ඒ ඉදිරියෙන් කතිර සලකුණ යොදා ඇති කාඩ්පත් මහජනයා වෙත බෙදා හරිමින් සිටි බව කියන තිදෙනකු බොරලැස්ගමුව කටුවාවල හංදියේදී අත්අඩංගුවට ගත් බව බොරලැස්ගමුව පොලිසිය කියයි.

අද උදෑසන නුවරඑළිය මද්දුම බණ්ඩාර විද්‍යාලයේ පිහිටි ඡන්ද මධ්‍යස්ථානයේ ශාලා අංක දෙකෙහි ඡන්ද නියෝජිතයෙකු වශයෙන් ගිය නියෝජිතයකු ඡන්ද මධ්‍යස්ථානය තුළට ආදර්ශ ඡන්ද පත්‍රිකා 5 ක් රැගෙන ගියැයි සැකපිටඅත්අඩංගුවට ගත් බව නුවරඑළිය පොලිසිය කියයි.

හිනිදුම මැතිවරණ කොට්ඨාසයේ තල්ගස්වල නගරයේ දී අපේක්ෂකයකුගේ සළකුණ සහ කතිරය ලකුණු කරන ලද කුඩා පත්‍රිකා ඡන්ද දායකයින්ට බෙදම්න් සිටි නාගොඩ ප්‍රාදේශීය සභාවේ හිටපු සභිකයෙකු නාගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ජනාධිපතිවරණයට අදාල ආදර්ශ ඡන්ද පත්‍රිකා තොගයක් ලඟ තබාගෙන සිටි තලවකැලේ ලිඳුල නගර සභාවේ උප සභාපති ඊයේ (15) රාත්‍රී තලවකැලේ පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

මැතිවරණයට ප්‍රචාරක පෝස්ටර් 3850ක් ළග තබා ගෙන සිටි ජාතික නිදහස් පෙරමුණේ හලාවත ආසන සංවිධායකවරයා ඊයේ (15) මාදම්පේ පොලීසියෙන් අත්අඩංගුවට ගෙන ඇත.

මුල්ගිරිගල ආසනයේ ඉත්තදෙමළිය ඡන්ද මධ්‍යස්ථානයට ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කිරීමට හම්බන්තොට සුචී ජාතික පාසලට පැමිණි වෑන් රථයක ඡන්ද පත්‍රිකාවට සමාන ව්‍යාජ ඡන්ද පත්‍රිකා 58 ක් තිබී ඊයේ (15) හමු වූ බවත් එහි රියදුරු අත්අඩංගුවට ගත් බවත් හම්බන්තොට මූලස්ථාන පොලිසිය  කියයි.