தமிழ்
English
Contact
Friday 29th May 2020    
මිග් යානා ගනුදෙනුවේ සැකකරු උදයංගටත් 'කොරෝනා ඇප'! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

මිග් යානා ගනුදෙනුවේ සැකකරු උදයංගටත් ‘කොරෝනා ඇප’!



බන්ධනාගාරවල තදබදය නිසා ඇප ලබාදීමට කෙරුනු ඉල්ලීම යටතේ වංචනික ‘මිග්’ යානා ගනුදෙනුව සම්බන්ධයෙන් සැක පිට බන්ධනාගාරගත කර සිටි උදයංග වීරතුංගද ඇප ලබා ඇත.

කොරෝනා වසංගතය නිසා අධිකරණ කටයුතු අත්හිටුවාඇති තත්වයකදී බන්ධනාගාරවල අධික ලෙස සැකකරුවන් හා සුලු වැරදිවලට සිරගත කළවුන් සිටීම නිසා ඔවුන්ටද සෞඛ්‍ය ආපදා ඇති වියහැකි බවට කරුණු ඉදිරිපත් විය. ඒ සම්බන්ධයෙන් නීතිඥ සංගම් හා සිවල් සංවිධාන විසින් කළ ඉල්ලීමක් වූයේ සුලු වැරදිවලට වරදකරුවන් වී බන්ධනාගාරගත කළවුන් මෙන්ම දැනට පවතින අධිකරණ කටයුතුවලදී සැකකරුවන්ව ඇප දිය හැකි මට්ටමේ සිටිනවුන්ට අධිකරණ විධිවිධාන යටතේ ඇප ලබාදීමේ ක්‍රමවේදයක් සක්සකරන ලෙසය. ඒ සඳහා විශේෂයෙන් අධිකරණ ශාලාවල රැස්වීම වෙනුවට තා්ෂණික පහසුකම් යටතේ අධිකරණ කටයුතු ආරම්භ කිරීමක්ද සිදු විය. එහෙත් මිග් යානා ගනුදෙනුව වැනි රුපියල් කෝටි ගණනක් වංචා කිරීමේ සිදුවීමක සැකකරුවකු මෙසේ ඇප ලැබී පිටව යාම විශේෂ සිදුවීමකි.

ඇතැම් අවස්ථාවල අයිතිවාසිකම් ඉල්ලා කෙරෙන විරෝධතාවලදී සිදුවන අලාභහානි සම්බන්ධයෙන් රාජ්‍ය දේපළවලට හානි කිරීම යටතේ විරෝධතාකරුවන් ඇප නොදී බන්ධනාගාරගත කෙරුණු තත්වයක් තිබිණි. මහජන මුදලින් රුපියල් මිලියන 1560කට අධික මුදලක් වංචා කිරීමේ සැකයට අත්අඩංගුවට පත් උදයංග වීරතුංග ‘කොරෝනා ඇප’ ලැබූ බවට මෙම සිදුවීම ගැන ඇසූ ඇතැම් නීතිඥවරු සිය හිතවතුන් හමුවේ උපහාසාත්මකව පවසා ඇත.

කුප්‍රකට මිග් යානා ගනුදෙනුව සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ලෙස වත්මන් ජනාධිපතිවරයා වෙතද එවකට රුසියානු තානාපති ලෙස ගනුදෙනුවේ අතරමැදි කාර්යභාරයක් ඉටුකළ උදයංග වීරතුංගටද චෝදනා එල්ල කරමින් ලිපි ලියූ මාධ්‍යවේදීන් ඝාතනයට ලක් විය. එසේම එම චෝදනා යටතේ විමර්ශන ආරම්භ කළ පසු ඔහුට අධිකරණයට ඉදිරිපත්වන ලෙස කළ දැන්වීම් මෙන්ම ජාත්‍යන්තර වරෙන්තු නිකුත්කර තිබියදී ඔහු අධිකරණයෙන් වසං වී විදේශ රටවල වාසය කළේය. එවැනි තත්වයකදී ඔහුට ඇප ලබාදීම සම්බන්ධයෙන් ඇප පනතේ ප්‍රතිපාදන යටතේ විරෝධය දැක්වීමට විමර්ශන නිලධාරින්ට ඕනෑ තරම් හැකියාව තිබිණු බව නීතිඥයෝ පෙන්වා දෙති. එහෙත්, උදයංග වීරතුංග රාජපක්ෂ පවුලේ සමීපතමයකු ලෙස සිටීමත් ආරක්ෂක අමාත්‍යංශය ජනාධිපතිවරයාගේ අධීක්ෂණය යටතේ පැවතීමත් මත එවැනි විරෝධයක් නොදක්වන ලෙස අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ වත්මන් නිලධාරීන්ට බලපෑම් එල්ල වූවාදැයි සැක කළ හැකිය. මින් පෙර මෙම විමර්ශන භාරව සිටි නිලධාරින් වත්මන් ජනාධිපතිගේ පත්වීමෙන් පසුව වෙනත් රාජකාරි සඳහා මාරුකර යැවීමේදී විරෝධතා එල්ල විය. එහිදී වත්මන් ජනාධිපතිවරයා විසින් නම් කළ වැඩබලන පොලිස්පතිවරයා පැවසුවේ ඒවා රාජකාරි අවශ්‍යතා මත සිදුකළ මාරුවීම් බවය.

කෙසේවෙතත්, රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංගට අද (03) කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇප ලබා දුන් බව වාර්තා විය. ඔහු වෙනුවෙන් රුපියල් ලක්ෂ 25ක මුදල් ඇප සහ ලක්ෂ 50 බැගින් ශරීර ඇප දෙකක් ඉදිරිපත් කළ යුතු බවට අධිකරණය නියෝගකර ඇත.