Posted on 02.10.2021 by Sithara Sajeewani in විදෙස් පුවත් with 0 Comments
මියන්මාර් පොලිසිය විසින් අවුන් සාන් සුචීගේ නායකත්වයෙන් යුතු ජාතික ප්රජාතන්ත්රවාදී ලීගයේ ප්‍රධාන කාර්යාලයට කඩා වැදී එය සම්පූර්ණයෙන් විනාශ කොට තිබේ. මෙය සිදුව ඇත්තේ එරට ඇඳිරි නීතිය පනවා ඇති රාත්‍රී කාලයේදීයි. 2020 නොවැම්බරයේ පැවති මැතිවරණයෙන් ජයග්‍රහණය කළ ජාතික ප්රජාතන්ත්රවාදී ලීගය දෙවන වරට තම පාලන කාලය ආරම්භ කිරීමට සූදානම් වෙතම එරට තුළ හමුදා කුමන්ත්‍රණයක් සිදුවිය.
මේවනවිට හමුදා කුමන්ත්‍රණයට එරෙහිව මියන්මාරයේ ප්‍රධාන නගර කිහිපයකම පැවැත්වෙන විරෝධතා වලට අමතරව මහා වැඩවර්ජන සිදුවෙමින් පවතියි. මියන්මාර් පොලිසිය විසින් රබර් උණ්ඩ, කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර යොදාගනිමින් විරෝධතා මැඩ පවත්වමින් සිටින ආකාරය විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. හමුදා පාලනය විසින් මියන්මාරය තුළ වසරක කාලයක් සඳහා හදිසි තත්ත්වයක් ද ප්‍රකාශයට පත් කර ඇති අතර ජනතාවට ඒකරාශි වීමේ සීමා පනවා ඇත.
තමන් සිදු කළ ක්‍රියාව සාධාරණීකරණය කිරීමට හමුදා කුමන්ත්රණයේ නායකයා මින් අවුන්ග් හ්ලේයින්ග් පළමු වතාවට එරට රූපවාහිනියේ පෙනී සිටිමින් ප්‍රකාශ කර ඇත්තේ නොවැම්බරයේ පැවැති, දැනට සිරගත කර සිටින අවුන්සාන් සුකීගේ පක්ෂය දැවැන්ත ජයග්‍රහණයක් අත්කර ගත් මැතිවරණය අසාධාරණ එකක් බවයි.
මෙම හමුදා කුමන්ත්රණයකින් පසු අත්අඩංගුවට ගත් එරට නායිකා අවුන් සාන් සූචීට එරෙහිව චෝදනා ගොනු කරමින් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
මියන්මාර පොලීසිය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, ඇය ලබන 15 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළ බවයි.නමුත් ඇය රඳවා සිටින තැනක් ගැන තවමත් හෙළිදරව් කර නැත.