தமிழ்
English
Contact
Tuesday 17th September 2019    
මීතොටමුල්ල අඩිපාරේ යන අරුවක්කාලු ! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

මීතොටමුල්ල අඩිපාරේ යන අරුවක්කාලු !



මෙම ලිපිය, ‘ඉංජිනේරු සේවා වෘත්තීයවේදී සංගමයේ (ESPA) ෆේස්බුක් පිටුවේ පළවූ සටහනක් ඇසුරිනි.

වනාතවිල්ලුව ප්‍රාදේශීය සභාවට අයත් මීගමුව කලපුව ආසන්නයේ ප්‍රදේශයක් ලෙස අරුවක්කලු හිරිගල් නිධි ප්‍රදේශය හඳුනාගැනේ. සිමෙන්ති නිෂ්පාදනය සඳහා යොදාගත් අමුද්‍රව්‍ය නිධි පිහිටියේ මෙම අරුවක්කලු ප්‍රදේශයේය. පුත්තලම හරහා දිවෙන දුම්රිය මාර්ගය මෙම අරුවක්කලු ප්‍රදේශයට ඉතාම ආසන්නය. කලා ඔය සහ විල්පත්තු රක්ෂිතයට පහතින් මායිම්ව පිහිටි මෙම ප්‍රදේශය ඉක්මනින් කොළඹ නගරයට ඇතුළුවීම සඳහා පහසුකම් ඇති ප්‍රදේශයකි. විශේෂයෙන් මීගමුව කලපුව මුතුරාජවෙල වගුරු ප්‍රදේශය මෙම අරුවක්කලු වෙත අසන්නතාවයක් පවතී. මානව පරිණාමය සම්බන්ධ නිදර්ශන ඇති පුරාවිද්‍යාත්මක වටිනාකම් සහිත ස්ථානයක් ලෙස ද අරුවක්කලු හඳුනාගැනේ. එම භූගෝලීය, පාරිසරික හා ඓතිහාසික මානව විද්‍යාත්මක වැදගත්කම පසෙත දමා, මේ මොහොත වනවිට අරුවක්කලු වල පිහිටි හිරිගල් කැනීම් කළ නිධි ආශ්‍රිතව නිර්මාණය වුණු වලවල්වල, කොළඹ අගනගරය ආශ්‍රිතව නිමැවෙන කුණු ගොඩකිරීම සඳහා තෝරාගෙන තිබේ. ඒ අනුව මේවන විට එහි කුණු පිරවීමේ කටයුතු මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය මැදිහත්වීමෙන් සිදුකෙරෙමින් පවතී.
ගෝලීය ලෙසම ගත්කළ කුණු ගැටළුව ප්‍රමුඛ ගැටලුවකි. එය නාගරීකරණය සහ පරිභෝජනය සමග එක්ව එකහා සම්බන්ධ ප්‍රශ්නයකි. පරිභෝජනය සහ නිෂ්පාදනය ඉහළයන තරමට කුණු ප්‍රශ්නය ඉහළ යන බව නිශ්චිතය. එමෙන්ම නාගරීකරණය සහ වෙළඳපොළ ක්‍රමය විසින් එම කුණු ගැටළුව තවත් සංකීර්ණ කර තිබේ. ලේකයේ බොහෝ රටවල් ඒ ඒ නගරවල කුණු කළමනාකරණය සඳහා අවශ්‍ය කරන සැලසුම් වෙනමම වැඩක් ලෙස සකසා ඇත. එහෙත් ඒවාටද සීමාකම් පවතී. ඒවායේද ඒ ඒ සැලසුම් තත්කාලීන විසඳුම් නොවීයයි එම රටවලින් අසන්නට දකින්නට ලැබේ.
ලංකාවේ කොළඹ නගරය ආශ්‍රිතව ගත් කල කුණු ප්‍රශ්නයට අපුල ඉතිහාසයක් පවතී. දශක දෙකකට තුනකට එපිට ඉතිහාසයේ මීතොටමුල්ල නම් වෙල්යාය ඉතාම සුන්දර වෙල්යායක් බැව් මීතොටමුල්ල ප්‍රදේශයේ කුණු කන්ද නාය යන්නට පෙර ජීවත්ව සිටි වැසියන් එවකට පවසා තිබුණි. සුන්දර වෙල්යාය ආසන්නයේ ජීවත්වීමට ප්‍රියකළ එම වැසියන් එහි නිවාස සදාගෙන ජීවත්වන්නට වූයේ රජයේද අනුග්‍රහය ලබමිනි. පසුව කොළඹ නගරයේ ජනගණත්වය තදබදය ඉහළයනවිට ඒ ඒ නිවාසවලට අයත් ඉඩකඩම් කුඩාවන්නට වීය. කුඩා කුඩා කුණු ඇළවල් තැනුනි. පසුකාළීනව කොළඹ අශ්‍රිතව කුණු තාවකාලිකව ගොඩකිරීම සඳහා ස්ථාන සොයන මහජන නියෝජිත ආයතන පද්ධතිය විසින් මීතොටමුල්ල වෙල කදිම තැනක් ලෙස තෝරාගෙන තිබුණි. ඒ වනවිටත් එම වෙල විවිධ අයිතිකරුවන් විසින් ගොඩකරගෙන තිබුණි. මේ අනුව මීතොටමුල්ල ප්‍රදේශයේ තාවකාලිකව කුණු ගොඩකිරීම ආරම්භ කළ එවකට මහනගර සභාව පසුව එය ස්ථීර කුණු ගොඩකෙරෙන අංගනයක් බවට පත් කරගෙන ඇත. පසුව විවිධ සමාගම් විසින් නිෂ්පාදන ක්‍රියාවලියේදී බැහැරකෙරෙන අපද්‍රව්‍ය පවා ලොරි ගණනින් මෙම කුණු කන්දට ගොඩ කෙරුණු බව සඳහන් වේ. එහි ප්‍රතිඵලයක් ලෙස මෙම කුණු කන්ද අක්කර 21ක ප්‍රදේශය පුරා විහිදී තිබුණි. ඊට අමතරව අවසන් මොහොත වනවිට මීතොටමුල්ල කුණු කන්ද මීටර් 48.5 m පමණ වූ බව වාර්තාවූ කරුණු අනුව සඳහන් වේ. මීතොටමුල්ලේ කුණු කන්ද විසින් තම ජීවිතවලට ගෙන ආ අනතුර දුටු ප්‍රදේශවාසීනහූ ‘මීතොටමුල්ල කුනුකන්දට එරෙහි ජනතා ව්‍යාපාරය‘ නිර්මාණය කරගෙන අරගලයක් ආරම්බ කළහ. ඒ ජනතා අරගලයට නීතිඥ නුවන් බෝපගේ සහෝදරයා නායකත්වය දුන්නේය. ප්‍රදේශවාසීන් දින සති ගණන් අට්ටාල මත සිටියේ තමන් මුහුණ දෙන ගැටලුවට විසඳුම් ඉල්ලමිනි. ඒ විරෝධතා අට්ටාලවලට පොලිස් ප්‍රහාර එල්ල වීය. ජනතා ක්‍රියාකාරින් අත්අඩංගුවට හා ශාරීරික හිංසනයට ලක් වූ අවස්ථා ගණනාවකි. මරික්කාර් මන්ත්‍රීවරයා මෙම විරෝධතාවට එක්වූ ප්‍රදේශවාසීන්ට තර්ජනය කර තිබුණි.
2017 අප්‍රියල් 14 අවුරුදු දා නිවාඩුවේ මීතොටමුල්ලේ අවුරුදු සමරමින් සිටි ජනතාවගේ හිස මතට මෙම දැවැන්ත කුණු කන්ද කඩාගෙන වැටුණි. ජීවිත 32ක් අහිමි කරමින් තවතක් 8 දෙනකු අතුරුදන් කරමින් ප්‍රදේශවාසීන් 1765 ක් අවතැන් කරමින් කුණු කන්දේ ඛේදවාචකය අවසන් විය. මීතොටමුල්ල කුනුකන්දට එරෙහි ජනතා ව්‍යාපාරයේ ප්‍රධාන සංවිධායක කීර්තිගේ බිරිඳ දුව ඇතුලු (ඔහු හැර) මුළු පවුලම ජීවිතක්ෂයට පත්වීය.
.
මෙම මීතොටමුල්ලේ කුණු ගොඩකෙරෙන අතරතුර සිද්ධියට පෙර කොළඹ කුණු ගොඩගැසීම සඳහා තෝරාගෙන තිබුණේ කිරිඳිවැල ආසන්නයේ දොම්පේ ප්‍රදේශයේය. එයද ජනතාව ජීවත්වූ ගම්මානයකි. කුණු ගොඩගැසීමේ ව්‍යාපෘතිය සඳහා එහි ගිය චම්පික රණවක අමාත්‍යවරයාට ප්‍රදේශයේ ජනතාවගෙන් දැඩි විරෝධතා එල්ලවුණේය. අමාත්‍යවරයා එවකට සන්ධාන ආණ්ඩුවේ ඇමැතිවරයෙකි. පසුව මහාපරිමාණ කසළ බැහැරකිරීමේ එම යෝජිත ප්‍රදේශයද විරෝධතා නිසා අතහැර දැමුණි. පසුව එවකට ඝෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම්වරයාගේ අදහසකට අනුව කොළඹ කුණු ගොඩකිරීම සඳහා අරුවක්කාලු ප්‍රදේශය යෝජනා වීය. කසළ තොග කොළඹ-පුත්තලම දුම්රිය මාර්ගය ඔස්සේ ගෙනගොස් එහි ගොඩකිරීම සදහා යෝජනාවක් ලෙස එවකට එය සාකච්චා මට්ටමේ තිබුණි.
මීතොටමුල්ල ඛේදවාචකයෙන් අනතුරුව කොළඹ නාගරිකයේ කසළ, ගොඩගැසීම සඳහා තැනක් නොමැතිව තැන තැන පල්වෙමින් දින සති ගෙවෙන විට, රාජ්‍ය බලය යොදාගනිමින් කොළඹ අවට නගරසභා අසන්න කසළ අංගනවලට ගොඩකෙරුණි. කරදියාන කසළ අංගනය එවැනි තැනකි. තාවකාලිකව වුවත් ආරම්භ වූ එයට පසුව බස්නාහිර සහ මහනගර සංවර්ධන අමාත්‍යංශයේ මැදිහත්වීමෙන් කුණු ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානයක් සාදවා එහි ප්‍රතිචක්‍රීකරණය කෙරුණි. එහෙත් එය එතරම් සාර්ථක නොවීය. මේ අනුව බස්නාහිර සහ මහනගර සංවර්ධන අමාත්‍යංශය යටතේම කලා ඔයට සහ විල්පත්තුවට අයත් රක්ෂිතයේ අලුතින් කසළ අංගනයක් ඉදිකිරීමට යෝජනාව ක්‍රියාත්මක විය. ඒ සඳහා අනුමැතිය ලබාගැනීමේ වැඩසටහනකට යොමු වුණද එයට පරිසර අධිකාරිය අනුමැතිය දුන්නේ නැත. පරිසර අධිකාරියේ නිර්දේශයට අනුව මේ කසළ ගොඩකිරීම් නිසා විල්පත්තුවේ සතුන්ට හානි විය හැකිය. සතුන්ගේ පැවැත්මට, එහි සමතුලිතතාවට, සහ සත්ව ජීවිතවලට හානි වියහැක. මේ අනුව මෙම කසළ අංගනය පසුව අරුවක්කාලු ප්‍රදේශය දක්වා පසුබැස්සේය. සතුන්ට පරිසරයට අහිතකර කුණු අරුවක්කාලු ජනතාවට හිතකරද යන්න ප්‍රශ්නයකි.
අමාත්‍යවරයා ප්‍රසිද්ධ කතාවකදී සඳහන් කළේ මෙම කසළ අංගන සැලැස්මට ඇත්තේ විද්‍යාත්මක ක්‍රමයකට, විෂ ජලය සහ අපද්‍රව්‍ය පරිසරයට මුදා නොහැරෙන ලෙස, දුර්ගන්ධය නොඑන ලෙස, ක්‍රමවත්ව වෙන් කරන ලද කුණු පමණක් එහි තැන්පත් කරන ව්‍යාපෘතියකි. ඔහුට අනුව, එහි සතෙක් සර්පයෙක් වත් සිටින්නට ඉඩක් නොමැතිය. නමුත් මේ වනවිට අරුවක්කාලුවේ කසළ ගොඩකෙරෙමින් පවතී. ඒවායේ කසළ වෙන්කිරීම් කිසිවක් නොකෙරේ. ලොරි මගින් කොළඹ සිට වනාතවිල්ලුව දක්වා කිලෝමීටර් 168la ගෙනයන කසළ වලින් මග දෙපස කුණුදුර්ගන්ධය සහිත පල්වතුර පෙරමින් ධාවනය කරවා දුර්ගන්ධය මැද බැහැර කෙරේ. අරුවක්කාලුවල ජනතාවගේ විරෝධය මැද පරිසර සුරක්ෂිතතාවය පිළිබඳ පියවරයන් නොමැතිව මේ යන හිතුවක්කාරී ගමන කොතැනින් කෙළවර වේද?. චම්පික රණවක අමාත්‍යවරයාගේ අමාත්‍යංශයේ තේමාපාටයක් වූ “ඉන්න හිතෙන රට” මේ යන විදිහට අරුවක්කාලු ජනයාට උදා වේද?

පසුගිය සමයේ විපක්ෂයේද අනුග්‍රහය ඇතිව අත්සන් කෙරුණු සිංගප්පූරු ගිවිසුමේ එක් කොන්දේසියක් වූයේ ලංකාවට කුණු ඇතුල් කිරීම සඳහා බාධක ඉවත් කිරීමයි. එය රාජ්‍යතාන්ත්‍රික ගිවිසුමකි. ඒ ගිවිසුමට අනුව ලොව ඕනෑම රටකින් ලංකාවට වර්ගකිරීමකින් තොරව කුණු ගෙන්විය හැකිය. පසුව වාර්තා වුණු කරුණු අනුව කටුනායකට ගෙන්වා තිබුණු කුණු කන්ටේනර් වල මුල් අයිතිය බ්‍රිතාන්‍ය රජයයි. බ්‍රිතාන්‍යයේ සිට කුණු ගෙන්වා තිබුණේ “හේලීස් ෆ්‍රී සෝන් ලිමිටඩ්” නම් කෝටිපති ධම්මික පෙරේරාට අයත් ආයතනයයි. ඔවුහු ව්‍යාපාරික මට්ටමින් කුණු ගෙන්වීමට අදහස් කළේ නැවත ප්‍රතිචක්‍රීකරණය කර ආපසු යැවීමටයි යයි සඳහන් කරති. එහෙත් අප අත්දුටු කරුණ නම් අප රටේ කොළඹ නගරයේ කුණු එසේම තිබියදී නීතිමය ඉඩ විවර කරගනිමින් රටින් කුණු ගෙන්වන්නේ මොන පදනමින්ද යන්නයි.
පැහැදිලි වන කරුණ නම් සිංගප්පුරු ගිවිසුම හරහා ඉඩකඩ විවර කරගනිමින් මොවුන් ගෙන්වන කුණු ලංකාවේ කොතැනක හෝ තැන්පත් කරන බවයි. යම්කිසි රටක පරිභෝජනයේ අතුරුඵලය වූ කසළ අදාළ රට විසින් කළමණාකරණය කරගත යුතුය. බ්‍රිතාන්‍යටද එය අදාළය. කෝටිපතියන් පාලකයන් මේ එක් වී කරන්නේ අරුවක්කාලුවල ජනතාවගේ පාරිසරික අයිතිය, ජීවත්වීමේ අයිතිය උකසට තබා ප්‍රාග්ධනය හඹායාමයි. එය පාලකයන් කළත් ව්‍යාපාරිකයන් කළත් සමාජ විරෝධී ක්‍රියාවකි.

ඉංජිනේරු සේවා වෘත්තීයවේදී සංගමය