Posted on 03.30.2021 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
මුතුරාජවෙල අභයභූමිය සංරක්ෂණය කිරීම සඳහා ඒකාබද්ධ කමිටුවක් පත් කිරීමට තිස්ස විතාරණගේ සභාපතීත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්වූ රජයේ ගිණුම් පිළිබද කාරක සභාවේදී තීරණය කර තිබේ.
මුතුරාජවෙළ අභයභූමිය සංරක්ෂණය කිරීම සඳහා වගකිව යුතු සියලු පාර්ශවයන්ගෙන් සැදුම්ලත් ඒකාබද්ධ කමිටුවක් පත් කිරීමට තීරණය වූ බව නිවේදනයක් නිකුත් කරමින් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව සඳහන් කර ඇත.
ඒ අනුව ඉදිරි කටයුතු සැලසුම් කිරීම සඳහා එම කමිටුව පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහගේ මූලිකත්වයෙන් ඉදිරි සති 2 තුළ රැස්වනු ඇති.
1996 අංක 947/13 දරන ගැසට් පත්‍රය මගින් මුතුරාජවෙල අභයභූමියක් ලෙස ගැසට් කර තිබුණ ද, එම අභයභූමියේ මායිම් ලකුණු කිරීමක් මේ දක්වා සිදු නොවීම පිළිබඳව හා මුතුරාජවෙල පරිසර පද්ධතිය හෙක්ටයාර 2,569 ක් ලෙස මධ්‍යම පරිසර අධිකාරිය විසින් හඳුනාගෙන තිබියදී හෙක්ටයාර 1,285 ක් පමණක් අභයභූමිය ලෙස නම් කිරීමට හේතු වූ කරුණු සම්බන්ධයෙන් අවධානය යොමු වූ බව රජයේ ගිණුම් පිළිබද කාරක සභාව නිකුත් කළ නිවේදනයේ සඳහන් ය.
හෙක්ටයාර 6,000 ඉක්මවන මුතුරාජවෙල පරිසර පද්ධතියට අයත් සමස්ත ඉඩම් ප්‍රමාණය සහ එම අභයභූමිය තුළ පවත්නා පුද්ගලික ඉඩම් සහ රජයේ ඉඩම් වල ප්‍රමාණය තවමත් නිසි අයුරින් හඳුනා ගැනීමට අදාළ ආයතන අසමත් වීම පිළිබඳව ද කමිටුවේ අවධානය යොමු වී තිබේ.
රජයේ ගිණුම් පිළිබද කාරක සභාව වැඩිදුරටත් නිවේදනය කළේ, මුතුරාජවෙල පරිසර කලාපයට අයත් ඉඩම් අනවසරයෙන් ගොඩ කිරීම සම්බන්ධව පැමිණිලි රාශියක් ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව, මධ්‍යම පරිසර අධිකාරිය, නාගරික සංවර්ධන අධිකාරිය, ගොවිජන සේවා දෙපාර්තමේන්තුව ආදී ආයතන වෙත ලැබුණ ද ඒවා සම්බන්ධ විධිමත් ක්‍රියාමාර්ග නොගැනීම පිළිබදවත් අවධානයට යොමු වූ බවයි.
මෙරටට ආවේණික ශාක වාණිජකරණය නැවැත්වීමට අවශ්‍ය නීතිමය අවකාශය තවදුරටත් පුළුල් කිරීම සහ සත්ත්ව විශේෂයන්හි ජාන මංකොල්ලය නැවැත්වීමට විශේෂ සම්බන්ධිකරණ ආයතනයක් පිහිටුවීමේ අවශ්‍යතාවය ද එහිදී දැඩි අවධානයට ලක වූ බව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව නිකුත් කළ නිවේදනයේ සඳහන් ය.