தமிழ்
English
Contact
Thursday 29th October 2020    
මුතුරාජවෙල ඉඩම් කට්ටි කර විකිණීමේ උත්සාහය පසුපස ආණ්ඩුවේ කප්පම් දීමක්! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

මුතුරාජවෙල ඉඩම් කට්ටි කර විකිණීමේ උත්සාහය පසුපස ආණ්ඩුවේ කප්පම් දීමක්!



මැල්වත්ත ඉඩම් සමාගම විසින් මුතුරාජවෙල ඉඩම් බලහත්කාරයෙන් අත්පත් කර ගන ඒ ආයතනයේ පුවරු සවි කර ඇත. මතුරාජවෙල තෙත් භුමියට අයිති මෙම ඉඩම් බලහත් කාරයෙන් අල්ලාගන ඇත්⁣තේ පසුගිය ජන්දයේදි ආණ්ඩු පක්ෂයට ලබා දුන් සහයට සන්තෝසමක් ලෙසය. රජයේ ප්‍රබල මැදිහත්වීමක් මත ලබා දී ඇති මෙම ඉඩම් සම්බන්ධව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවට නිහඩව සිටින ලෙසට දැනටමත් දැනුමි දී ඇති අතර ඉදිරියේ දි මැල්වත්ත සමාගම විසින් මෙම ඉඩම් කටිටිකර විකිණීමට හා නිවාස ව්‍යාපෘතියකට යොදාගැනීමට උත්සහ දරණ බව දැනගන්නට ලැබී ඇත.

මුතුවැනි සම්බාවලින් අටුකොටු පිරවූ යුගයක් යටත්විජිතවාදී යුරෝපීයයන් මෙරටට පය ගැසීමට පෙර තිබුණ බවට සාක්ෂි පවතී. ගුවීෆ් හැමිල්ටන් ආණ්ඩුකාරවරයා 1802 දී මෝඩ ඇළ සංවර්ධනයට මුල පිරීය. කැලණි ගඟ හා මීගමුව කළපුව අතර ප්‍රදේශය මෙමඟින් ආවරණය විය. මෝඩ ඇළ (පසුව හැමිල්ටන් ඇළ) තැනූ පසු වෙනදා බලාපොරත්තු වූ සශ්‍රීකත්වය මුතුරාජවෙලින් බලාපොරොත්තු වීමට නොහැකි වූයේ මෝඩ ඇළ දිගේ කරදිය රට ඇතුළට ගලා ඒමෙන් වගා කටයුතු කිරීම අපහසු වූ නිසාය.

එම නිසාම වසර දෙසීයක් පමණ කාලයක් පුරා කුඹුර වගා කටයුතු සඳහා මේ ඇළ ජලය යොදාගත්තේ නැත. නමුත් පුරන් කුඹුරු, ඇළවල් හා ගං මෝය ආශ්‍රීතවත් මීගමුව කළපුවට යාබදවත් ජෛව විවිධත්වයෙන් ඉහළ කඩොලාන පරිසරයක වසර ගණනාවක් තිස්සේ විවිධ සතුන්ට නිවහනක් වූ බව නොරහසකි. විවිධ පක්ෂීන්, වලිකුකුළන්, කඩොලාන පරිසරයට ආවේණික ජෛව විවිධත්වය හා සොඳුරු පරිසරයේ වටිනාකම සොයාගනිත්ම මුතුරාජවෙල අභය භූමියක් බවට පත්කිරීමට පරිසරයට හිතැති මිනිස්සු උත්සුක වූහ.
වනජීවී සංරක්ෂණ දෙපාර්තමෙන්තුව යටතේ පාලනය වන මුතුරාජවෙල අභය භූමිය ආරක්ෂා කිරීමේ වගකීම පරිසර අමාත්‍යංශයට හා මධ්‍යම පරිසර අධිකාරියට පැවරී තිබේ. 2009 පෙබරවාරි මස ආණ්ඩුවේ ප්‍රබල ඇමැතිවරයකු වූ ෆීල්ක්ස් පෙරේරාගේ මූලිකත්වයෙන් මීගමුව කොරල් ගුල ප්‍රදේශයේ කඩොලාන කපා ඉවත් කර හෝටල් ව්‍යාපෘතියක් තැනීමට දැරූ උත්සාහයක් අප විසින්ම සොයා ගන්නා ලදී. ඒ පසුගිය රාජපක්ෂ සමයේදිය. අද වන විට ජනතාවට කොකා පෙන්වමින් සමස්ත මුතුරාජවෙල අභය භූමියම විනාශ කිරීමට රාජ්‍ය මැදිහත්වීම සිදුවෙමින් තිබේ.

2004 වර්ෂයේ දී ඉන්දීය රජය විසින් තහනම් කරන ලද ඉන්දියනු ෆාම් තෙල් ශුද්ධාගාර කිහිපයක් අද වන විට මුතුරාජවෙල අභය භූමිය තුළ ස්ථාපිත කර ඇත. මැලේසියාවේ හා ඉන්දියාවෙන් ෆාම් තෙල් මෙරටට ගෙන්වා ඒවා භාවිතයට ගත හැකි ලෙස සකස් කිරීම මෙම කර්මාන්ත ශාලා තුළදී සිදුකරයි. එලෙස තෙල් පවිත්‍ර කිරීමේ කටයුතුවලදී දහනය වන දුම මුතුරාජවෙල අභය භූමිය පමණක් නොව මුළු ප්‍රදේශය පුරාම දැඩි දුගඳක් පතුරුවයි.
මෙලෙස දුම් මුදවා හැරීමට නිසි ප්‍රමිතීන් ඇතත් එය බල්ලෙකු තරම්වත් නොසලකා හරිමින් පරිසරයට මුදාහැරීමට කර්මාන්ත හිමියෝ අද වන විට කටයුතු කරමින් සිටිති. එම නිසාම මුතුරාජවෙල අවට ජනතාවට ජීවත්වීමට මහත් හිරිහැරයක් වී ඇත්තේ හුස්ම ගැනීමට පවා ඇති අපහසුතාවය නිසාය. එයින් පීඩාවට පත්වන ජනතාව මෙම කර්මාන්ත වසා දමන ලෙස උද්ඝෝෂණය කළද වගකිවයුත්තන් නිහඩව සිටීම ද ගැටලුසහගත තත්වයක් නිර්මාණය කිරීමට සමත් වී ඇත.

ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්‍ෂක ඇතුළු පිරිසක් ප්‍රදේශයේ දේශපාලකයනුත් අභය භූමිය තුළ කර්මාන්ත ශාලා පවත්වාගෙන යාමට දෙන දායකත්වය නිසා නීතිවිරෝධි කර්මාන්ත ශාලා නිරුපද්‍රිතව තවදුරටත් පවත්වාගෙන යමින් පවතින මොහොතක ඉන්දියානු සමාගම් සදහා නැවත්ත් රජය විසින් ඉඩමි ලබාදීම සිදුකරමින් ඇත.

වෙනත් රටවලින් පලවා හරින කර්මාන්ත ශාලා අපගේ රටේ ස්ථාපිත කිරිමට අවසර ලබා දීමට තරම් අපේ රටේ පාලකයෝ පෙළඹී ඇත්තේ බඩකට පුරවා ගැනීමට ඕනෑකරන විදේශ මුදල්ටික සාක්කුවට දමා ගැනීමට විය හැකිය.

මුතුරාජවෙල අභය භූමියේ ජෛව විවිධත්වය පිළිබඳ අබමල් රේණුවක් තරම්වත් තැකීමක් නොකරන පාලකයන්ගේ අමනෝඥකම් නිසා අදවන විට මුතුරාජවෙල අභය භූමියේ හා අභය භූමි මායිම් තුළ පාම් ඔයිල් ශුද්ධාගාර හා යකඩ උණුකරන කර්මාන්ත ශාලා 6 ක් පිහිටුවා ඇත. මෙම කර්මාන්ත ශාලා හයක් උස්වැටකෙයියාව ප්‍රදේශයේ මෝඩ ඇළට මායිම්ව තිබේ.

මෙලෙස ඉදිකර ඇති කර්මාන්ත ශාලා අතර
01 K.C.C ඉන්ජිනියරින්
02 ඩේරිබියම් ප්‍රයිවට් ලිමිටඞ්
03 වෙයාර් ඔයිල් ප්‍රයිවට් ලිමිටඞ්
04 රෙයාර් ඔයිල් ප්‍රයිවට් ලිමිටඞ්
05 S.R. මැටල් ප්‍රයිවට් ලිමිටඞ්

යන කර්මාන්තශාලා ප්‍රධාන වශයෙන් මුතුරාජවෙල අභය භූමියට වින කටින දේශපාලන බලපුළුවන්කාරකම් උපයෝගී කරගනිමින් ඉදිවූ ඒවාය. මෙම කර්මාන්තශාලා මඟින් බැහැර කරන අපද්‍රව්‍ය මුතුරාජවෙල අභය භූමිය තුළට ම බැහැර කරන අතර ෆාම් ඔයිල් කර්මාන්තශාලාවලින් බැහැර කරන අපද්‍රව්‍ය නිසා මුතුරාජවෙල තුළ ඇති ජල මූලාශ්‍රවලට තෙල් මිශ්‍ර වී ඇත.

මුතුරාජවෙල අභය භූමියේ තවත් කර්මාන්තශාලා කිහිපයක් ඉදිකිරීමට අවශ්‍ය ඉඩම් එළිපෙහෙළිකර කඩොලාන ගිනි තබා භූමි සකස් කිරීම මේ වන විට සිදුකරමින් පවතීන අතර මැල් වත්ත ඉඩම් සමාගම උස්සා ඉඩම් ලබාදීම සිදු කරන්නේ පරිසරය ගැන කිසිදු සැලකිල්ලක් නොදක්වමිනි.

එහෙත්, මෙලෙස සිදුවන නීති විරෝධී ක්‍රියා වළක්වාලීමට පරිසර අමාත්‍යංශයේ හෝ වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ මැදිහත්වීමක් මේ වනතෙක් සිදුවී නොමැත. මුතුරාජවෙල ආශ්‍රිතව මෙලෙස ඉදිවන කර්මාන්තශලා, මෙලෙස සිදුකරන ඉඩම් කොල්ලය උදෙසා පරිසර තක්සේරු වාර්තා කිසිවක් කර නොමැති අතර විදේශීය කර්මාන්තශාලා පවා ලංකාවේ අභය භූමි මත ස්ථාපිත කර ඇත.

වනසත්ව හා හා වෘක්ෂලතා ආඥාපත පරිසර පනත වැනි පරිසර සංරක්ෂණය උදෙසා ඇති අණපනත් නීති රීති ගණනාවක් මෙම අනවසර ක්‍රියා නිසා උල්ලංඝනය කිරීමට පරිසරය සංරක්ෂණය වෙනුවෙන් යැයි පෙනී සිටින පරිසර අමාත්‍යංශ්‍ය හා මධ්‍යම පරිසර අධිකාරිය කටයුතු කර ඇත.

2018 මාර්තු 21 දින පසුගිය රජයේ පරිසර අමාත්‍යවරයා වන ජනපති මෛත්‍රිපාල සිරිසේන විසින් පරිසරවේදීන් පිරිසක් හා භික්ෂුන් වහන්සේලා පිරිසක් සමග මුතුරාජවෙල සංචාරයක නිරිතවෙමින් කියා සිටියේ මුතුරාජවෙල ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවය. නමුත් එය අවසන් වුයේ සංදර්ශන වලිනි. මේ රජය පැමිණියද එම විනාශය නැවතී නොමැති අතර මේ වන විට කටිටි කර විකිණීම මැල්වත්ත සමාගමට ලබා දී ඇති ඉඩම් වලට අමතරව ඉදිරියේදි තවත් ඉඩම් නිදහස් කිරීමට නියමිතය.

1996 ඔක්තෝබර් 31 වැනි දින අභය භූමියක් ලෙස නම් කරන ලද මුතුරාජවෙල අභය භූමිය හෙක්ටයාර් 2569 විශාල බව National Wethland Directory of Sri Lanka කෘතියේ සඳහන් කර ඇත. මෙම කෘතිය මධ්‍යම පරිසර අධිකාරිය මඟින් ප්‍රකාශයට පත්කොට ඇත. එසේ වූවත් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් ප්‍රකාශයට පත්කර ඇති ශ්‍රී ලංකාවේ තෙත් බිම් නමැති අත්පත්‍රිකාවට අනුව මුතුරාජලෙ අභය භූමියේ පළමුවැනි කොටස හෙක්ටයාර් 1028.6ක් ලෙසත් දෙවන කොටස හෙක්ටයාර් 256.8ක් ලෙසත් නම්කර ඇත.

මුතුරාජවෙල සංරක්‍ෂණය කෙසේවෙතත් පරිසර අමාත්‍යාංශය යටතේ තිබෙන ආයතන දෙක තුළ මුතුරාජවෙල සම්බන්ධයෙන් ඇති දත්තවල පවා පරස්පරයක් දැකිය හැකිය. මෙලෙස ඇති දත්තවල වෙනස්කම් නිසාම මුතුරාජවෙල අභය භූමියේ සීමා මායිම් නිසි ලෙස සටහන් වී නොමැති වීමත් නීතිය ක්‍රීයාත්මක නොවීමත් විදේශිකයන්ට මෙන්ම මෙරට දේශපාලකයන්ටත් අභය භූමිය විනාශ කිරීමට පහසු වී ඇත.
පසුගිය මැතිවරණ සමයේදී ජන්දයට උදවි කල සමාගමි වලට දුන් පොරොන්දු ඉටුකිරීමක් ලෙස මුතුරාජවෙල අභය භූමියේ ඉඩම් මෙලෙස බෙදාදීමට කටයුතු කර තිබේ. මෙය වන සතුන්ගේ වාසස්ථානයකි. වන සතුන් දඩයම් කිරීම, වෙඩි තැබීම, මාළු අල්ලා ගැනීම, ඒ සඳහා උගුල් අටවා තැබීම, පක්ෂීන්ගේ බිත්තර ගැනීම වැනි ක්‍රීයා දඩුවම් ලැබිය හැකි වරදක්” යනුවෙන් වනජීවී අධ්‍යක්ෂකවරයාගේ අණ යටතේ පිහිට වූ පුවරු ප්‍රදේශය පුරාම දැකගැනීමට හැකිය. .

අද වන විට සුළු වර්ෂාවකදී වූවද කොළඹ නගරය අඩි ගණනක් යටවන්නේ ප්‍රදේශයේ ජලය බැසගිය මුතුරාජවෙල වගුරු භූමිය තුළ පිහිටි කර්මාන්තශාලා, නිවාස, හෝටල් ආදිය නිසා ජලය ගලා යෑම අවහිර වී ඇති නිසාය…
කොළඹ ගංවතුර තත්වය පාලනය කිරීමට තිබූ මහඟු සම්පතක් වූ මෙම වගුරු ප්‍රදේශය හරහා 2005 වන විට අධිවේගී මාර්ගයක් ඉදිකිරීමට චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපතිනියගේ පාලන සමය තුළ සිදුකළ සැලැස්ම තුළ වැලි ටොන් ලක්ෂ ගණනක් මුතුරාජවෙල අභය භූමිය තුළ ගොඩගසන ලදී. ජාතික ධනය මෙන්ම පරිසරයද අමු අමුවේ විනාශ කළ මෙම ව්‍යාපෘතිය නිසා මුතුරාජවෙල අභය භූමියෙන් කොටසක් විනාශ විය.
එදා සිට අද දක්වා සියළු පාලකයන් විසින් සංරක්ෂණය කළයුතු කොළඔට ආසන්න ඉතාමත් වටිනා වගුරු භූමියක් මෙලෙස ඉඩම ගොඩ කිරීම හා පිටරටුන්ට ලබාදීම නිසා මේ වන විටත් විනාශ කරමින් ඇත

රවින්ද්‍ර කාරියවසම්