தமிழ்
English
Contact
Monday 10th December 2018    
පාලකයො මේ බෝල ගහන්නෙ ජනතාවගෙ ජීවිත එක්ක - දුමින්ද නාගමුව | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

පාලකයො මේ බෝල ගහන්නෙ ජනතාවගෙ ජීවිත එක්ක – දුමින්ද නාගමුව



රනිල්ද මහින්ද කියලා දෙකට බෙදා ඇති සමාජය, අද පෙරටුගාමී සමාජවාදී පක්ෂය මහරගම රැස්වීම තියලා තුනට බෙදනවා. අපි අහනවා රනිල්ද? මහින්දද? එහෙම නැත්නම්? කියලා. ඒ ප්‍රශ්නය අහන්න ඕන. රාජ්‍ය සේවකයාට අමතක නම් විශ්‍රාම වැටුප පිළිබඳ ප්‍රශ්නය, වැඩකරන ජනතාවට අමතක නම් තමන්ට ජීවත් වෙන්න වැටුපක් නෑ කියලා, අප ලෑස්තියි ඒ ප්‍රශ්න මතක් කරන්න. ප්‍රජාතන්ත්‍රවාදය දිනන්න නම්, ඇත්ත ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ මොකක්ද කියලා සාකච්ඡා කරන්න ඒ වෙනුවෙන් වැඩ කරන්න, වෙහෙස වෙන්න අපි ලෑස්තියි.

අද ප්‍රජාතන්ත්‍රවාදය ගැන අඩන, යුක්තිය ඉල්ලන රනිල් මෙච්චර කාලයක් ආණ්ඩුවේ ඉදන් මොකද කළේ? අවුරුදු තුන හමාරක් එයා ප්‍රජාතන්ත්‍රවාදය උඩ මළ පහ කළා. එයා දැන් පාත්තරේ අරගෙන රට පුරා කැරකෙනවා. මහින්ද පාත්තරේ අරගෙන 113 හදා ගන්න සිරිකොත වටේ කැරකෙනවා.

මහින්ද රාජපක්ෂයි මෛත්‍රීයි. රනිලුයි ගෝලයොයි දැන් මොකද කරන්නෙ? එයාලා හොඳට ෆුට් බෝල් ගහනවා. එහෙට ගහනවා. මෙහෙට ගහනවා. සමහරු ගෝල් ගහනවා. ඒ දිහා බලාගෙන ඉඳලා සමහරු හිනා වෙනවා. සමහරු අනේ අපොයි අපේ රටට ගිය කලක් කියනවා. මේ ෆුට් බෝල් ගහන්නේ මේ රටේ ජනතාවගේ ජීවිතත් එක්ක. උපදින්න ඉන්න පරම්පරාවන්ගේ අනාගතයත් එක්ක. මෙතන අපට තියෙන්නේ හිනා වෙන්නවත් අඬන්නවත් නොවෙයි. මේ සෙල්ලමට විරුද්ධව ජන බලයක් ගොඩනැගීමේ අභියෝගය තියෙනවා.

2015දි, මගේ තටු මංම කපා ගන්නවා කියලා ආපු සිරිසේන දැන් මේ රටේ ජනතාවට කොකා පෙන්වනවා. මාලිගාව ඇතුළේ මේ සෙල්ලම කරන්නේ. මාලිගාව අතුළේ සෙල්ලම් කරන්නේ මෙහෙම නම් මේ රටේ ජනතාව පාරට බැස්සම කොහොමද සෙල්ලම් කරන්නේ කියලා අපි දැන ගන්න ඕන. මේගොල්ලන්ට අැත්තටම ප්‍රජාතන්ත්‍රවාදය අදාළ නෑ. ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවදී අයිතිවාසිකම් අදාළම නෑ.

මෛත්‍රීපාලට ජනවරම අමතකවීම අරුම දෙයක්ද? අද සිවිල් සමාජය කියනවා, මෛත්‍රී තමන්ගේ මූණට කෙළ ගැහුවා කියලා. 94 වික්ටර් අයිවන්ලාට චන්ද්‍රිකා කළේත් ඕක. සිවිල් සමාජය ඒ වැඩෙ කර ගන්න කවුරු හරි කෙනෙක් සැරෙන් සැරේ හොයා ගන්නවා. දැන් මාලිගා කුමන්ත්‍රණය වෙලා දවස් 35ක් ගෙවිලා තියෙනවා. මේ දවස් 35 තුල රාජපක්ෂලාගේ පාලනය නැවත අපට මතක් කළා. මෛත්‍රීගේ හෙවන ඇතුළේ ඒ ගොල්ලේ හැසිරෙන්නේ මොහොම නම්, ඒ ගොල්ලො උත්තරීතරයි කියන ආයතනය ඇතුළේ ඩෙගා නටන්නේ මෙහෙම නම් ජනතාව ඉදිරියේ හැසිරෙන්නේ කොහොමද කියලා තේරුම් ගන්න පුළුවන්. මේ දවස් 35 හොඳයි රාජපක්ෂලාගේ අවුරදු දහයක පාලනය නැවත මතක් කර ගන්න.

සිංගප්පූරු ගිවිසුමට විරුද්ධව උසාවි ගිය බන්දුල ගුණවර්ධන ඇමතිකම හම්බ වුණාම කියනවා, මේ ගිවිසුම අහෝසි කරන්න තරම් අපි හරක් නොවෙයි කියලා. ඇත්ත තමයි මේ නාම්බන්ට ඡන්දෙ දෙන ජනතාව තමයි හරක් ගානට වැටෙන්නේ. බලයට එන්න කලින් සිංගප්පූරු ගැන කතා කළා බලය ගත්තට පස්සේ ඒවා අදාල නෑ. ඔය ආවේ එකයි. ඩොලරය ගැන දවස ගානේ අඬපු කට්ටිය දැන් කියනවා ඒවා එහෙම නවත්වන්න බෑ කියලා. ඊළඟට වික්‍රමසිංහගේ අවුරදු තුන හමාර. ඒ ගොල්ලෝ කැමතියි මේ පාරෙම යන්න. 2015 හවුල ආපහු හදාගෙන ඉන්නේ. දැන් කියනවා ජනාධිපතිවරණයකටත් ලෑස්තියි කියලා.

ජනතා විමුක්ති පෙරමුණ එක්සත් ජාතික පක්ෂයේ සබ් කොන්ත්‍රාත් කරනවා. බාගයක් කරලා බාර දෙනවා. සම්බන්ධන්ට හදිසියේ දෙමළ ජනතාවගේ ප්‍රශ්න මතක් වෙලා. අවුරුදු තුන හමාරෙම දෙමළ ජනතාවගේ ප්‍රශ්න මතක් වුණේ නැති සම්බන්ධන්ලාට මතක් ඒවා මතක් වෙලා. කවදාවත් මේ සෙල්ලමට තානාපතිලා සෙල්ලම් කරන්නේ නෑනේ. දැන් මේ ගේම් එකට සෙල්ලම් කරනවා.

රනිල්ලා තෝරගෙන ඉන්න එක්සත් ජනපද, යුරෝපා ඉන්දියා හවුල උත්සාහ කරනවා ඒ ගොල්ලන්ගේ කොඩිය මේ රටේ හයියට ගහන්න. මූල්‍ය අරමුදල ණය දෙනවා ජනතාවගේ ඉතුරු අයිතීන් කොල්ල කන්න. අනෙක් පැත්තේ ඉන්නවා චීනය. චීනය අද අනුගමනය කරන්නේ සමාජවාදී මාවතේ නොවෙයි. රටවල් 67ක් මේ උගුලට දාලා තියෙනවා. පැරණි සේද මාවත ඉදි කරමින් ඉන්නවා. ඒකට රටවල් ගණනාවක් සම්බන්ධ කරමින් ඉන්නවා. ඒ හැම රටක්ම මේ අර්බුදයට ඇදලා දාලා තියෙනවා. අප්‍රිකාවේ තියෙන ජිබූටි රටේ චීනය තමන්ගේ යුධ කඳවුර හැදුවා. ඒ රටේ ඇමරිකානු කඳවුරුත් තියෙනවා, ප්‍රංශ යුද කඳවුරුත් තියෙනවා. අපට උරුම කරමින් ඉන්නේ ඒ ඉරණම නොවෙයිද? මේ පුංචි දිවයින මේ දෙගොල්ලො අරගෙන යමින් ඉන්නේ ඉතාම අවදානම් තැනකට. ඒක ගැන අවධානය යොමු කරන්න ඕන.

මේ අර්බුදයට උත්තරය මොකක්ද? මේ හිරවෙලා ඉන්න උගුලෙන් එලියට එන්නේ කොහොමද? වික්‍රමසිංහලා උත්තරයක්ද? රාජපක්ෂලා උත්තරයක්ද? අයි අපි අමතක කරන්නේ? විශ්‍රාම වැටුප අහිමි කරන පනත මුලින් ගෙනාවේ රාජපක්ෂලා 2006. අර්ථසාධක අරමුදල, භාරකාර අරමුදල කොල්ල කන්න කවුද එදා දත කෑවේ? රාජපක්ෂලා. කවුද රොෂේන් චානකට වෙඩි තිබ්බෙ? රාජපක්ෂලා. භූමිතෙල් සහනාධාර ඉල්ලපු ධීවරයන්ට වෙඩි තියලා ඇන්ටනීලා මැරුවේ අද තෙල් මිල අඩු කරන්න කතා කරන රාජපක්ෂලා. මූල්‍ය අරමුදල කියපු ප්‍රතිපත්තියම එක්සත් ජනපදයට බැන බැන ක්‍රියාත්මක කළේ. ඒ ගොල්ලන්ගේ ආර්ථික ප්‍රතිපත්තියවත් දේශපාලනයවත් උත්තරයක් නොවෙයි. රාජපක්ෂලා ජාතිවාදයේ ගිනි ඇවිලුවා. සිංහල ජාතිවාදය අවුස්සලා ජනාධිපතිවරණය දිනන්න පුළුවන් කියලා හිතුවා.

මේ ගොල්ලෝ නුවර, දිගන, බේරුවල, අම්පාර ගිනි තිබ්බා. දැන් මොනවද එළිදරව් වෙන්නේ? මෛත්‍රී මරන්න ඉන්නවා කියලා කියන අය කියන ඒවායින් හෙළි වෙන්නේ මොනවද? නුවර ගිනිතියන එක අතුළේ පොලිස් ඔත්තුකරුවොත් හිටියා. වික්‍රමසිංහලා පහුගිය අවරුදු තුන හමාරෙ කළ දේවල් අපි දන්නවා. හම්බන්තොට වරාය දිනපු විදිය අපි දන්නවා. අද මහා සුදනා වෙන්න හදන මෛත්‍රීගේ හොඳම ගෝලයෙක්, මහින්ද සමරසිංහ ඇමති වෙලා ඉද්දි තමයි ඒ ගිවිසුමට අත්සන් කළේ? වික්‍රමසිංහලා කරපු විදිය අපට මතකයි. ප්‍රතිත්‍රස්ත පනත, මෑත යුගයේ ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් ඉතාම භයානකම පනත. ඒකට අනුව, ආණ්ඩුවට විරුද්ධ මොනවා හරි කළොත් ඒ හැම එකම ත්‍රස්තවාදී වැඩක්. වෘත්තිය සමිතියකින් වැටුප් වැඩි කරන්න ඉල්ලුවත් ඒක ත්‍රස්තවාදී ක්‍රියාවක් ලෙස හදුන්වන්න පුලුවන්. ඔන්න රනිල්ලාගේ ප්‍රජාතන්ත්‍රවාදයේ තරම. ඒක පාර්ලිමේන්තුවේ සම්මත කරන්න ඔන්න මෙන්න කියලා තියෙද්දි තමයි මේ අලකලංචිය වුණේ. මේ පනත සම්මත වුනොත් ආණ්ඩුව කරන කිසි දේකට විරෝධය පළ කිරීමට ඇති අයිතිය අහිමි වෙනවා. රෑට නිදා ගන්නකොට ආණ්ඩුවට කුණුහරුපෙන් බැනලා නිදා ගන්න නම් පුළුවන්. වෙන මොකක්වත් කරන්න බෑ.

දැන් සිවිල් සමාජය මේක මැදට පැනලා තියෙනවා. දැන් මොනවද ඒ අය කෑ ගහලා කියන්නෙ? මහින්ද නැගිටිනවා කියනවා. නමුත්, ඒ ගොල්ලො තමයි මෛත්‍රී ගේන්න කපුකම කළේ? රාජපක්ෂට කිරි පෙව්වේ කවුද? 2015 ජනමතය ලැබුණේ වංචා දූෂණ අල්ලන්න. වික්‍රමසිංහ මොකද කළේ? විධායක ජනාධිපතිකම අහෝසි කරනවා. අවුරුදු තුන හමාරක් තිස්සේ විධායක ජනාධිපතික්‍රමය අහෝසි කරන්න එක උද්ඝෝෂණයක් කළාද? එක පා ගමනක් ගියාද? මෛත්‍රී ඒ ජනමතයට පස්ස හැරෙව්වා නම් ඒ ගැන කතා කරන්න වගකීමක් තිබුණේ නැද්ද? වික්‍රමසිංහ ආයෙත් අගමැත පුටුවේ වාඩි වෙලා ප්‍රති ත්‍රස්ත පනත ගේනවා නම් ඔයගොල්ලො මොකද කරන්නේ කියලා අපි සිවිල් සමාජයෙන් අහනවා.

වෘත්තීය සමිති ව්‍යාපාරය හදිසියේ සටන් පාඨ අරගෙන වැඩවර්ජනයකට යන්න ලෑස්තියි කියලා අපිට ආරංචියි. විධායක ජනාධිපතික්‍රමය අහෝසි කරන්න කියලා. ඔව්, විධායක ජනාධිපතික්‍රමය අහෝසි කරන්න ඕන. නමුත් විශ්‍රාම වැටුප අහෝසි කිරීම අමතක කරලා, සේවකයන්ගෙ වැටුප් වැඩි නොකිරීම අමතක කරලා, වතු කම්කරුවන්ගේ රුපියල් 1000 ඉල්ලීම අමතක කරලා, එහෙම කලාම හරිද?

ඔන්න දැන් වෘත්තිය සමිති ව්‍යාපාරයේ පළපදියම් වුණු අයට වෙලා තියෙන දේ. දැන් ඒ වගේම දෙයක් ජනතා විමුක්ති පෙරමුණට, අපි හිටිය පරණ පක්ෂයට වෙලා තියෙනවා. දැන් ජනතා විමුක්ති පෙරමුණට ආචාර්ය කෙනෙක් මහාචාර්ය කෙනෙක් දැක්කොත් කටේ කළෙ බේරෙනවා. අපි කියන්නේ නෑ ඒ අයට භූමිකාවක් නෑ කියලා. නමුත් දැන් ජ.වි.පෙ.ට මොකක්ද වෙලා තියෙන්නේ? ජනතා විමුක්ති පෙරමු‍ණේ අත්දැකීම් සහිත වෘත්තීය සෙමිති නායකයෝ පොල් කුඩු වෙලා. අත්දැකීම් සහිත නායකයෝ පොල් කුඩු වෙලා. අපි අහනවා ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරිකයන්ගෙන් ඒක නෙවෙයිද මේ වෙලා තියෙන්නේ?

ජනතා විමුක්ති පෙරමුණ එක කකුලක් තිස්සමහාරාමේ ගහගෙන ඉන්නවා. අනෙක් කකුල කුරුඳුවත්තේ ගහගෙන ඉන්නවා. අපි කියනවා මේ පාවාදීම කරන්න එපා. වික්‍රමසිංහ වටේ කැරගෙන ග්‍රහ තාරකා බවට ජනතා විමුක්ති පෙරමුණේ තාරකා පත් වලො තියෙනවා. ඉතිහාසයේ ජනතා විමුක්ති පෙරමුණ නිර්මාණය කළ ගමන නොවෙයි මේ යන්නේ.

ඉතින් එහෙමනම්, මොකක්ද අද අපිට යන්න තියෙන ගමන…? මේ නිර්මාණය වෙලා තියෙන අර්බුදය අස්සේ අපි කොහොමද පාරක් කපා ගන්නේ? රනිල්ද? මහින්දද? කියන ප්‍රශ්නය වෙනුවට ජනතාවගේ ප්‍රශ්නය උඩට ගන්නේ කොහොමද? ඡන්දවලින් විතරයි දේශපාලනය කරන්න ඕන කියන එක්ටැම් ගෙයින් එළියට එන්නේ නැතිව ඒක කරන්න බෑ. එතැනින් එළියට එන්නම ඕන. ඡන්දෙන් විතරයි මේක වෙනස් කරන්න තියෙන්නේ කියලා හිතන තැනින් එළියට එන්න ඕන. ඒක පළවෙනි පියවර.

ඊළගට මේ අයගෙ බස් තියෙනවා. එක පැත්තක සෙනග එකතු කරනවා, කොළපාට බස් එකට. ප්‍රජාතන්ත්‍රවාදය දෙනවා, යහපාලනේ දෙනවා කියලා. අනෙක් පැත්තෙන් කියනවා රට බෙදන්න දෙන්නෙ නෑ කියනවා, ජාතික උරුමයන් ගැන කියනවා. සිංහල ජාතිය පමණයි කියනවා, ටික දුරක් යන කොට සෙනග මදි නම් අපි දෙමළ අයටත් කැමතියි, මුස්ලිම් අය එක්කත් සමගියි කියනවා. මේ විදියට මේ අය මගදි බස් එකට, ඩීසල් ගහන්න නවත්වන්නෙ එකෙන්. දෙගොල්ලම ඒකයි කරන්නෙ. බස් එකේ පාට වෙනස් වුණාට දෙගොල්ලගෙම තෙල් ගහන්නෙ මුල්‍ය අරමුදලෙන්. ඒ අය කියනවා අපෙන් තෙල් ගහනවා නම් අහවල් පාරෙන් යන්න ඕන. ඒ නිසා තෙල් ගහන තැනින් උපදෙස් දෙන පාරේ මේ බස් දෙකේම අපිව අරන් යනවා. ඒ නිසා ආදරණීය සහෝදරියනි, සහෝදරවරුනි, දැන් අපි කොළ පාට නිල් පාට බස් දෙක වෙනුවට අලුතින් බස් එකක් හදා ගන්න වෙනවා. ඒක තමයි කළ යුත්තේ. අපිට ඒක අලුතින්ම හදන්න ඕන නෑ. පරණ බස් එකකුත් තියෙනවා. වෘත්තීය සමිති ව්‍යාපාරය 80 වැටුණා ඒක ඇත්ත. ඒත් තවම ශක්තිය තියෙනවා. ගම් දනව්වලට යන කොට ගොවි සංවධාන තියෙනවා. ශිෂ්‍ය ව්‍යාපාරය දැවැන්ත අරගලවලට නායකත්වය දෙන ශක්තිමත් තැනක තියෙනවා. ධීවර සංවිධාන තියෙනවා. ඒ වගේම උඩුගම් බලා පීනන්න කැමති වාමාංශිකයන් ඉන්නවා.

‘2015 රැවටුණා, අයෙත් රැවටෙන්න ඕන නෑ!‘ කියලා හිතන සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය ගැන හිතන අය ඉන්නවා. ඒ නිසා අපි හිතනවා අද දවසේ කාර්යභාරය තමයි මේ හැම දෙනාටම මුහුවෙන්න පුළුවන්, වැඩ කරන්න පුළුවන්, එකට එකතු වෙන්න පුළුවන් වේදිකාවක් ගොඩනගන එක. ඒක මේ මොහොතේ අවශ්‍යතාවක් විතරක් නොවෙයි. මේ යුගයෙ අවශ්‍යතාවත් ඒක. ඒ ගමන අදවත් පටන් ගමු. ඒ හැර වෙනත් යෝජනාවක් නෑ. මේ රටේ වාමාංශික පක්ෂවලට, ක්‍රියාකාරීන්ට යෝජනා කරනවා මොන අතරමැද සටන් පාඨ අරගෙන මොන කඳවුරට ගියත් අපට සිද්ධ වෙන්නේ ඒ කඳවුරේ සේවකයන් බවට පත් වෙන්න. නැත්නම් ඒ කඳවුරුවලට ගාල් වෙන්න. ඒ නිසා අපි ඉල්ලා සිටිනවා, 2015 රංගනය දැන් විගඩමක් බවට පත් වෙලා රඟ දැක්වෙමින් තිබෙනවා. ඒ විගඩමට එකතු වෙන්න එපා. ජනතා විමුක්ති පෙරමුණේ සහෝදරවරුන්ගෙන් ඉල්ලනවා, ජනතා විමුක්ති පෙරමුණේ අද කතා වෙන්නේ එක්සත් ජාතික පකෂය හදන පෙරමුණට යනවද නැද්ද කියන එක නම්, තවත් මොකටද ජනතා විමුක්ති පෙරමුණේ ඉන්නේ? පැලවත්තේ කාර්යාලෙ කෙරෙන සාකච්ඡාව, එජාපය හදන පෙරමුණට යන එක සාධාරණීකරණය කරන්නේ කොහොමද කියන එක නම්, මොකක්ද තවත් කතා කරන්න තියෙන්නේ?

මේ සදහා දවසක දෙකක ව්‍යාපාරයක් නෙවෙයි අපි ගොඩ නගන්න යොදා කරන්නෙ. අපි ජනතාව සමග දීර්ඝ කාලයක් වැඩ කරන්න, බාගෙට නැතිව පූර්ණ ජයග්‍රහණ වෙනුවෙන් වැඩ කරන්න අපි සූදානම්. දැනටමත් හෝමාගම මාහේන්වත්ත ඉඩම් අහිමි කරන ජනතාවගේ අරගලය සමග එක්ව ඉන්නවා. මොනරාගල ඇතිමලේ ගොවි ඉඩම් අයිතිය වෙනුවෙන් සටන් කරමින් ඉන්නවා. වතුකරයේ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරන ජනතාව සමග අපි වැඩ කරනවා. ඒ වගේම සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාවට තමන්ට හිමි ඇත්ත අයිතිවාසිකම් වෙනුවෙන් එක්ව සටන් කරන්න පුලුවන් සැබෑ ජනතා ව්‍යාපාරයක් වෙනුවෙන් අපි වැඩ කරනවා.

මොන පදනමක් මතින්ද ජනතා ව්‍යාපාරයක් හදන්නේ? ඒක වාමාංශික ජනතා ව්‍යාපාරයක්. මොනවද ඉල්ලීම්? ඔව් අපට වැඩපිලිවෙළක් තියෙනවා. සමාජවාදී වැඩපිලිවෙළක්. ඒ වගේම අපි ලෑස්තියි, මේ සමාජයට ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් දිනාගන්න, සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් අතරමැද වැඩපිළිවෙළක් එක්ක වැඩකරන්න ලෑස්තියි. අපි ව්‍යවස්ථාවක් ඉල්ලනවා. මේ රටේ ජනතාවගේ පරමාධිපත්‍ය බලය ඇත්තට රැකෙන ව්‍යවස්ථාවක් ඉල්ලන්නේ. අපට වැඩපිළිවෙලක් තියෙනවා. නමුත් අපි ලෑස්තියි වෘත්තිය සමිති එක්ක කතා කරන්න. වෙනත් සංවිධාන එක්ක කතා කරන්න. අපි ගොඩනගන්න හදන්නේ ජනතාවට ඇත්ත බලයක් ලැබෙන ව්‍යාපාරයක්. ඒ වෙනුවෙන් එකතු වෙන්න කියා අපි ඔබට ආරාධනා කරනවා.

ඔව්, ඇත්ත ජනතා බලයක් පාර්ලිමේන්තුවෙන් පිට ඇත්ත ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ඇත්ත ජනතා ව්‍යාපාරයක් ගොඩනගන්න එක් වෙමු ශක්තිමත් ජනතා ව්‍යාපාරයක් ගොඩනගමු කියලා අපි මේ රටේ ජනතාවගෙන්, ඉල්ලා සිටිනවා.