தமிழ்
English
Contact
Friday 14th August 2020    
මොන පක්ෂ ඡන්දය ඉල්ලුවත් ඇත්තටම තියෙන්නෙ පක්ෂ දෙකයි! - චමීර කොස්වත්ත | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

මොන පක්ෂ ඡන්දය ඉල්ලුවත් ඇත්තටම තියෙන්නෙ පක්ෂ දෙකයි! – චමීර කොස්වත්ත



මෙවර මහමැතිවරණයෙදි, මොන පක්ෂ ඡන්දය ඉල්ලුවත් ඇත්තටම තියෙන්නෙ පක්ෂ දෙකක් බවත් ඒ පීඩිතයගෙ පක්ෂය සහ පීඩකයගෙ පක්ෂය බව පෙ.ස.ප. මධ්‍යම කාරක සභික, ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂක කණඩායම් නායක චමීර කොස්වත්ත පවසයි.

“සමාජවාදී නියෝජනයක්, සටන්කාමී නායකත්වයක්” යන ‌තේමාවෙන් මහමැතිවරණයට ඉදිරිපත්වන පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මාතලේ දිස්ත්‍රික් අපේක්ෂකයන් සහභාගි වූ ජනරැලිය අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.
ජූලි 11 වැනිදා, පෙරවරු 10.30ට උකුවෙල නගරයේ පැවති පෙ.ස.ප. ජනහමුවේදී චමීර කොස්වත්ත මෙසේද පැවසීය.

“මහමැතිවරණයක් පැමිණ තිබෙන මේ වෙලාවෙ එක එක වේදිකාවල එක එක කතා කියනවා අපට ඇහෙනවා. බලයේ හිටපු අය කියන්නෙ අනේ අපට කොරන්න බැරි වුණා, තව අවුරුදු පහක් දෙන්න කියලා. බලයට පත්වුණ අය කියනවා අපිට මේ බලය මදි ගෙඩිය පිටින් බලයක් දෙන්න කියලා. ඒ අතර දැන් කොරෝනා වසංගතය ආපහු ව්‍යාප්තවෙන්න පටන් අරන්. ඒහෙම වෙලාවක මේ මහමැතිවරණයෙදි වෙන අය කියන කතා මැද අපට තියෙන කතාව කියන්නයි මේ උකුවෙල නගරයට ආවෙ. හැබැයි, අපට කියන්න තියෙන ඇත්ත ටිකක් තිත්තයි. ඒ තිත්ත ඇත්ත ටිකක් අහන්න සූදානම් වෙන්න. ඒ හද පාරවන තිත්ත කතාව ටිකක් අහන්න. ඒ්ක මොළයට ලාභයක් වේවි.

මේ මැතිවරණ සෙල්ලම දිගින් දිගටම අවුරුදු පහෙන් පහට සිදුවෙනවා. ජනතාවට කියන්නෙ ඔබේ අතේ තමයි පරමාධිපත්‍ය බලය තියෙන්නෙ කියලා. රට සෞභාග්‍යමත් කරන්න කතිරෙ ගහන්න කියලා බලය ඉල්ලන අය කියන්නෙ. හැබැයි මේ අය කියන ආර්තික සංවර්ධනය, සෞභාග්‍ය ගැන ඇත්ත කතාව අපි දැනගත යුතුයි. කොරෝනා වසංතය නිසා ආර්තිකය අමාරු වෙනවා කියලා සමහරු අඬා වැළපෙනවා. අපි කියනවා කොරෝනා වසංගතයට කළිනුත් ආර්ථිකය කඩා වැටෙමින් තමයි තිබුණෙ. වසංගතය නිසා දැන් ලෝකෙම ආර්ථිකය ඇද වැටෙමින් තියෙන්නෙ. කොහොමටත් අමෙරිකාව වගේම ලෝකය පාලනය කරන බලවත්තු, වසංගතය නිසා හතරගාතෙන් වැටෙන්න යන තත්වයක් තියෙන්නෙ. හැබැයි මේ අය ලොකෙ ඒක තත්පරෙන් සුන්නද්දූලි කරන්න පුළුවන් භයානක ආයුධ සූදානම් කරගෙන ඉන්නෙ. නමුත් වසංගතය ආවම මුහුණු ආවරණ ටික නිෂ්පාදනය කරගන්න බැරිව හිටියා. ජනතාව වසංගතයෙන් ආරක්ෂා කරන්න බැරි වුණා ඒ් මහ බලවතුන්ට. මිනිසුන් මිලියන ගණන් රැකියාවලින් දොට්ට දමලා, නිෂ්පාදන කඩා වැටෙනවා. 2008 ආර්ථික අර්බුදයටත් වැඩි අර්බුදයක්ලු, දෙවන ලෝක යුද්ධයටත් වඩා වැඩි විනාශයක් ආර්ථිකයට කඩා පාත් වුණාලු. නමුත් මතක තියාගන්න, වසංගතයට කලින්ම ලෝකයේ ආර්ථිකය හොඳට යහතින් බැබලුනාද? ඇත්ත කතාව ඒහෙම නෙවෙයි. ලෝකෙම ආර්ථිකය 2008 ඉඳන්ම කඩා වැටෙන තත්වයක තිබුණෙ.

ලංකාවෙදි මේක කොහොමද? අපි යමු 2015 මහමැතිවරණය කාලෙට. රනිල්-මෛත්‍රි ආණ්ඩුව ආවම 2015 අගෝස්තු මහමැතිවරණයට කලින් පෙට්‍රල් මිල අඩු කළා. වෙනත් බඩු මිල සෑහෙන මට්ටමකින් අඩු කළා. මැතිවරණ කාලෙදි ගොඩක් අය කියන්නෙ අපායෙ ඉන්ටවල් කියලා. ඡන්දය බලාගෙන පාලකයන් ජනතාවට නොයෙක් සහන පිරිනමනවා. ‌ගෝඨාභය ජනාධිපතිවුණාම හාල් මිල අඩු කරනවා කිව්වා. පාලන මිල ගැසට් කළාම රු. 88ට විකුණන්න පුලුවන් හාල් කිලෝව රු. 98ක් වුණා. ඔන්න එයාට දෙන්න පුළුවන් සහන.

හාල් මාෆියාව මට්ටු කොරනවා කියපු ‘විරුවා’ මෝල්කාරයන් ඉදිරියෙ මට්ටු වුණා. ඔකයි තිත්ත ඇත්ත. ත්‍රීවීල් වැඩකරන සහෝදරවරු දන්නවා, මුල්‍ය සමාගම්වල සෙල්ලම. සහනයක් ලෙස ලිසිං වාරික, ණය වාරික කපන්න කියලා ඒ අය ආණ්ඩුවෙන් ඉල්ලුවාම මාස හයකින් කල් දැම්මා. මාස හයකට පස්සෙ ත්‍රීවිල් ලීසිං වාරික දෙගුණයකින් ගෙවන්න වෙනවා. ෆිනෑන්ස් වාහන ගත්ත අය දෙපාරක් හමගහන ආණ්ඩුවක් මේක. ඒ මදිවට තව 11%ක පොලියකුත් අමතරව එකතු වෙනවා. ත්‍රිවිල් ගත්ත, කොරෝනා කාලෙ අමාරුවෙන් ගැටගහගත්ත අය සහන ඉල්ලුවෙ වාරික කපන්න කියලා. ඔන්න මහින්දගෙ ගෝඨාභයගෙ ආණ්ඩුව දුන්න සහනය.

ඒ නිසා මොන කතා කිව්වත් කොරගන්න බැරි තත්වයක් දැන් තියෙන්නෙ. ඡන්ද කඩාගන්නවත් අවම සහනයක් දෙන්න බැරි තැනට හිරවෙලා. ඒත් කියන්නෙ අපට පාර්ලිමේන්තු බලය ගෙඩිය පිටින් දෙන්නලු. දුන්න බලයට සොච්චමක් සහනයක් දෙන්න බැරිව ගෙඩිය පිටින් දුන්නම මොනවා දෙයිද? අපි කියනවා, මේක තමයි තිත්ත ඇත්ත. මේ රටේ පාලකයන් ඡන්ද අරනෙ බලයට පත් වුණාට ඇත්තටම ඒ අයට කොරගන්න පුලුවන් දෙයක් නෑ. ඇයි එහෙම වෙන්නෙ කියලා පොඩ්ඩක් තේරුම් ගන්න. අපි කියනවා, අපෙන් කතිර ගහගෙන ගියාට ඇත්තටම රට පාලනය කරන්නෙ ඒ අයම නෙවෙයි. මේ රටේ ඇත්ත පාලකයන් ඔය දියවන්නා ගුබ්බෑයමේ ඉන්න අය නෙවෙයි. අපි කියනවා, මේ රටේ ඇත්ත පාලනය තියෙන්නෙ, ධම්මික පෙරේරලා, හැරී ජයවර්ධනලා, ඩඩ්ලි සිරිසේනලා, සිරිපාල ගම්ලත්ලා අතේ. ඒ වගේ අය තමයි මේ රටේ ආර්ථිකය, බඩු මිල, ආදායම් වියදම් පාලනය කරන්නෙ. මේ රටේ මැතිවරණවලට පක්ෂ කීයක් ආවත්, ඇත්තටම තියෙන්නෙ පක්ෂ දෙකයි. ඒ තමයි, වැඩකරන, පඩිගන්න, පීඩිතයන්ගෙ අපේ පක්ෂය. අනෙක් එක තමයි, වැඩ නොකර, ලාභ ගන්න, අපේ කරමත නැගලා ඉන්න ධනපතියන්ගෙ පක්ෂය.

අන්න ඒ නිසා තමයි අපි කියන්නෙ ධනපතියන් වෙනුවෙන් රට පාලනය කරන්න, උන් වෙනුවෙන් නීති හදන්න පාර්ලිමේන්තුවට යවන මැතිවරණයෙදි ඡන්දය පාවිච්චි කරන කොට අපි දෙපාරක් තුන්පාරක් සියපාරක් කල්පනා කළ යුතුයි කියලා. අපි කියන්නෙ හැරීල ජයවර්ධනලට, ධම්මික පෙරේරලාට අවශය පාලනය වෙනුවෙන් නම් අපිට කවදාවත් අපේ ප්‍රශ්න විසඳාගන්න වෙන්නෙ නෑ. අන්න ඒ නිසා තමයි අපේ පන්තියෙ මිනිස්සුන්ගෙ පාලනයක් වෙනුවෙන් ඡන්දය දෙන්න කියලා අපි ඔබට කියන්නෙ. අපේ රටේ වැඩකරන පීඩාවට පත්වන, හැමදාම රැවටෙන වැඩකරන ජනතාව වෙනුවෙන් බලයක් පිහිටුවන්න දේශපාලනය කරමු. ඒ වෙනුවෙන් බලයක් ගොඩ නගන්න, අපේ රටේ පීඩිතයන්ගෙ සංවිධානාත්මක බලයක් වෙනුවෙන් මහමැතිවරණයෙදි කුලුගෙඩිය ලකුණ ඉදිරියෙන් ඡන්දය දෙන්න.

අපි කියන්නෙ පෙරටුගාමී සමාජවාදී පක්ෂයෙ අපිට තනියම කොරන්න පුලුවන් දෙයක් ගැන නෙවෙයි, අපි හැමදාම කියන්නෙ මේ රටේ පාලකයන්ගෙ, ධනපතියන්ගෙ බලය වෙනුවෙන් කතිරය ගහන දේශපාලනය අත්හරිමු, හෙට අනිද්දා මහමැතිවරනයෙදි ඒ්ක පෙන්වන්න, කුලුගෙඩිය ලකුන ඉදිරියෙන්, සමාජවාදී නියෝජනයක්, සටන්කාමී නායකත්වයක් වෙනුවෙන් කතිරය ගහමු.
ඒ් තීරණය ගන්න ඔබට ශක්තිය, ධෛර්ය ලැබේවා!