தமிழ்
English
Contact
Monday 10th December 2018    
‘යකඩ සිල්පර‘ මතින් දෙබෑ කළ වන්නියේ ජීවිත කියවමු! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

‘යකඩ සිල්පර‘ මතින් දෙබෑ කළ වන්නියේ ජීවිත කියවමු!



මෙවර සාහිත්‍ය සම්මාන ලැබූ විමල් උදය හපුආරච්චිගේ ‘යකඩ සිල්පර’ නවකතාව මෑතකදී ජනප‍්‍රිය වෙමින් තිබෙන අතීත ආසියාතික සමාජය සොයා යමින් සාහිත්‍යකරනයේ යෙදීමේ ප‍්‍රවණතාව තුළ ගත හැකි කෘතියක් සේම සිංහල සාහිත්‍යාවලියට නව ලේඛකයකුගේ පැමිණීම සටහන් කරන්නක් ලෙසද අවධානයට ලක් වේ. ඒ නිසාම ඒ සුවිශේෂිත්වය සහිතව අපි මේ සටහන තබන්නෙමු.
නවකතාව ආරම්භ වන්නේ 20 වැනි සියවසේ මුල් භාගයෙනි. ආසියාතික සමාජයේ රදලයන්, කුලයෙන් පහත් කර සලකන ගැමියන්, බි‍්‍රතාන්‍ය යටත්විජිත පාලනය හා ඒ පාලනයට සහාය වන දේශීය පැලැන්තිය යනාදි වශයෙන් සමාජ ධූරාවලිය නියෝජනය කරන චරිත රැසක් මෙම කතාවේ අපට හමුවන මතුපිට කතන්දරය තුළ අපට හමුවේ. ඒ වනවිට ගනේවත්ත දක්වා ඉදි කරන ලද උතුරු දුම්රිය මාර්ගය, යාපනය දක්වා ඉදිරියට ගෙන යාමේදී වන්නියේ ජනතාව මැදට බි‍්‍රතාන්‍ය යටත්විජිත බලහත්කාරය ස්වරූපයෙන් ධනවාදයේ කඩාවැදීම මෙහි යටි පෙළ කතා පුවතයි.
පැතිමාන කිහිපයකින් එනම් තේමාත්මක ලෙස ‘යකඩ සිල්පර’ කෘතිය සාකච්ඡාවට ගැනීමට මෙහිදී අපට හැකිය. යටත්විජිත පාලනය විසින් ඇති කරන සමාජ පරිවර්තනය එක් පසෙකින්ද ආසියාතික සමාජය තුළ පැවති මිනිස් පැවැත්මේ පසුගාමීත්වය තවත් පැත්තකින්ද සාකච්ඡුා කරන මේ කෘතිය පේ‍්‍රමය, ඊර්ෂ්‍යාව, වීරත්වය, දීනත්වය සහ කාරුණිකත්වය හා කෲරත්වය වැනි මානව ලක්ෂණ නිරූපණය කරයි. චරිත ගොඩනැගීමේදී එක් එක් චරිත නිරූපණය කරන සමාජ ආර්ථික පසුබිම පදනම් කරගෙන එම චරිතවලට හැසිරෙන්නට හැකි සාධාරණ නිදහසක් ලේඛකයා විසින් ලබා දී ඇත.
වන්නිය හරහා උතුරු දුම්රිය මාර්ගය ඉදිකිරීම සරල කාර්යයක් නොවීය. භූමිය ලෙස පොල්වතු සහිත තැනිතලා අතරින් ඉදිකිරීම් කටයුතු පහසු වුවද මහ මූකලාන් සහිත වන ලැහැබ් කපාගෙන ඇතැම් විට වැව්, ගංගා මතින් එය ඉදිකිරීම විශාල මිනිස් ශ‍්‍රමයක් අය වැය කරගත් කර්මාන්තයක් විය. ඊටත් වඩා සියවස් ගණනාවක් ස්ථාපිත වූ මිනිස් පැවැත්මකට එරෙහිව නව ධනවාදී සබඳතා බිහිකරමින් පැරණි ආසියාතික ජන ජීවිතය උඩුයටිකුරු කරමින් යන්නක් වූ නිසාම දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් ක‍්‍රියාවලිය යම් ආකාරයක විප්ලවකාරී ස්වරූපයක් උසුලයි. ලොකුනායක ආරච්චිල මෙන්ම පුංචි බණ්ඩා මඩහපොළ රටේමහත්තයා නියෝජනය කරන රදල පැලැන්තිය සිය ඉඩම්, වංශක්කාර බලය ආරක්ෂා කරගැනීමේදී දුම්රිය මාර්ගයට සතුරුය. එහෙත්, බි‍්‍රතාන්‍ය යටත්විජිත බලයට යටත්වීමේ දීනභාවය නිසාම එම ඉදිකිරීම් කර්මාන්තයට දේශපාලන ස්වරූපයේ ප‍්‍රතිරෝධයක් දැක්වීම වෙනුවට කඩාකප්පල්කාරී ක‍්‍රියාවලින් පිළිතුරු දීම හැර අන් මගක් ඔවුන් විසින් නොගනී. ගොරබාගේ සිට රම්බා දක්වා නියෝජනය වන කුලයෙන් පහත් ලෙස සලකනු ලැබූ සාමාන්‍ය ජනතාවට දුම්රිය මාර්ග කර්මාන්තය විමුක්තිකාමී ප‍්‍රවේශයක් ලබා දෙයි. රදලයන් යටතේ බැලමෙහෙවර කිරීමට සහ රදලයන්ගේ අතපල්ලෙන් වැටුනවුන් ලෙස වාසය කරනවාට වඩා වැටුප් ශ‍්‍රමික ජීවිතය ඔවුහු උද්යෝගයෙන් වැලඳ ගනිති.
එහෙත්, ඔවුන් නොදැනුවත්ව වුවද භාරගන්නා ජීවිතය යනු හුදෙක්ම සුදු මහත්තයකුගේ පාලනයෙන් ඔබ්බෙහි වූ කෲර මර්දනකාරීත්වයකට මුහුණදීම බව වටහා ගන්නේ කල්යාමේදීය. ඩන්ස්ටන් මුලර් නමැති දුම්රිය මාර්ග ඉදිකිරීම් ක‍්‍රියාදාමයේ පාලකයා සහ ඔහුගේ අතවැසි සොයිසාගේ නියෝග අනුව, දුම්රිය මාර්ගයේ වැඩ කරන්නට පටන් ගන්නා පදක්කයා ඇතුළු ගැමියන්ට මුලින්ම හමුවන්නේ යාප්පුවෙන් හා කාරුණිකව සලකන යටත් විජිත පාලනයකි. එහෙත් නැවත වැඩට නොයන්නට තීරණය කරන්නට නොහැකි බන්ධනයක් කරා තමන් ඇද වැටී ඇති බව ඔවුන් දැනගන්නේ රදලයන්ද නියෝජනය වන බි‍්‍රතාන්‍ය යටත්විජිත පාලනය දුම්රිය මාර්ගය ඉදිකිරීම අනිවාර්ය රාජකාරියක් බවට සලකන නිසාය. දෛනික වැටුප, ක‍්‍රමයෙන් මාසික වැටුප බවට පත් වී රාජකාරියට නොපැමිණියහොත් සිරගත කරන්නට පවා හැකි නීතියකින් දුම්රිය මාර්ග කම්කරුවන් බවට පත් ගැමියන් බැදී සිටී. එපමණක් නොව, ජීවිතය මෙන්ම මරණය දක්වා සියල්ල පාලනය කළ ගැමි ජීවිතයේ දුක්ඛිතභාවය වෙනුවට බි‍්‍රතාන්‍ය පොලිසියෙන් සමන්විත පාලනයක් ඔවුන්ගේ ජීවිත අරා රජයන බව පදක්කයා වටහා ගන්නේ පීටර්ස් නමැති ඉංජිනේරුවා මිය යාමෙන් පසුවය. ඔහුට සිය වෛරය මැද වුවද පීටර්ස්ගේ ජීවිතය මුදාගන්නට ගත් ක‍්‍රියාමාර්ගය සනාථ කිරීමට අවස්ථාවක් හිමි නොවේ. කිසිදා නොතිබුණු ඒ අයිතිය, ධනවාදයෙන් හිමකර දෙන අලුත් ජීවිතයේදීද හිමි නොවන බව පීඩිතයා වටහා ගන්නේ එසේය.
ස්වකීය රදල බලය විසින් වන්නිය අරා සිටි පාලනය ප‍්‍රතික්ෂේප කරන ගෝනලාව ගැමියන්ගේ නිවාස ගිනි තබා ආරච්චිල විසින් තහවුරු කරන්නට උත්සාහ ගන්නේ තවමත් සිය බලය අනුලංඝනීය බවය. එහෙත් එයින් ඇත්තටම සිදුවන්නේ පැරණි සමාජය නියෝජනය කරන ගෝනලාවේ නායකයා ගොරබා ඇතුළු ආසියාතික යටහත්භාවය ගිනිලෑම බව රදලයා වටහා ගන්නේ නැත. තවදුරටත් ආරච්චිලගේ නියෝග අදාළ කර නොගන්නටත් අලූත් ජීවිත පැවැත්මක් ස්ථාපිත කරන්නටත් නව සමාජ සබඳතා සහිත දුම්රිය මාර්ගය ගෝනලාවේ කුලහීනයන් වෙත අත දිගු කර තිබේ.
ඒ දුම්රිය මාර්ගය ඔස්සේ වන්නි සමාජය වෙත ප‍්‍රවේශ වන්නේ ඩන්ස්ටන් මුලර්, සොයිසා, පීටර්ස් සහ පහතරැුටියන් හෝ සක්කිලියන් ලෙස ගර්හාවට ලක් වූ දුම්රිය කම්කරුවන්ය. ආරච්චිලාගේ සූරාකෑමට හා බලහත්කාරයට යට වූ පදක්කයා සහ රඹී නියෝජනය කරන වන්නියේ පීඩිතයෝ දුම්රිය මාර්ගය සිය ජීවන පැවැත්ම වෙනුවෙන් නව මාවතක් ලෙස වටහා ගන්නේ එම වැඩබිමේදී අත්විඳින වෙනස්කම්වලිනි. ඩන්ස්ටන් වැනි ලිබරල් චින්තනයක් ඇති පාලකයකු මෙන්ම සොයිසා වැනි නිර්දය පාලකයකු ඔවුන් ඒ නව ජීවිතයටත් නව මිනිස් සබඳතා වෙතත් කැඳවා ගෙන යන කාරකයන් වැනිය. එහෙත් ඒ අතරම මේ කාරකයන් ආසියාතික සමාජය පෙරළා දමා යටත්විජිතයට අවශ්‍ය ධනේශ්වර සබඳතා පිහිටුවාලීමේ පුරෝගාමීහුද වෙති. දුම්රිය වැඩබිමේදී ඔවුන් අත්විඳින වැටුප් ශ‍්‍රමික නව සබඳතාව ඩව්බිගින්ගේ මර්දනකාරීත්වය විසින් ආරක්ෂා කරනු ලබයි. පදක්කයා, සොයිසා වෙතත් රම්බා ඩන්ස්ටන් වෙතත් තවතවත් සමීප වන්නේ ඒ මර්දනය නිසාය. එයින් සංකේතීය ලෙස ඉදිරිපත් කරන්නේ නව ජීවන පැවැත්මක් කෙරෙහි ඔවුන් සතුව ඇති ආශාවය.
සොයිසා විසින් දුම්රිය මාර්ග ඉදිකිරීම් ව්‍යාපෘතියේ නියැළෙන අතරමැදියකු බවට පත්වන අතර ඔහුගේ අමතර ආදායම් උල්පතක් ලෙස හොර මත්ද්‍රව්‍ය ව්‍යාපාරයද දුම්රිය මාර්ගය දිගේ ඉදිරියට ගමන් ගනී. පසුකාලයක අරක්කු රේන්දය ලබා ගැනීමට හැකි මට්ටමේ ආදායමක් ඔහු අත්පත් කරගන්නේ දුම්රිය මාර්ගයේ ඩන්ස්ටන්ගේ සහායක රැකියාව නිසා නොවේ.
මිනිස් සබඳතා නිරූපණය පැත්තෙන්ද ‘යකඩ සිල්පර’ කියවා ගන්නට අපට පුළුවන. විශේෂයෙන්ම හඳුනාගන්නට හැකි බලය පදනම් කරගත් සබඳතා මෙන්ම මානුෂීයත්වය පදනම් කරගත් සබඳතාද මෙම කතා පුවත දිගහැරීමේදී අනාවරණය වේ. ආරච්චිල නියෝජනය කරන රදල පැලැන්තියේ බලයට යටපත් වන ගොරබා නියෝජනය කරන්නේ ආසියාතික පැරණී පීඩිත සමාජයයි. පීඩකයා සමග යාප්පුවෙන් හා කැපවීමෙන් ජීවත්වනවා හැර පීඩාවට එරෙහි අරගලයකට ඔහු සූදානම් නැත. නව සමාජයක් ඉල්ලා සිටින මොහොතේ පදක්කයා ඇතුළු ගෝනලාවේ තරුණ පරම්පරාව, ආරච්චිලගේ තර්ජන මෙන්ම ගොරබාගේ නියමයන් ඉවත දමා දුම්රිය වැඩ බිම කරා යති. ඩන්ස්ටන්ගේ භූමිකාව එක් අතකින් දුම්රිය මාර්ග වැඩ බිමේ මූලිකයා ලෙස යටත්විජිත පාලනයේ බලය භාවිතයකි. අනෙක් අතින් එය සංස්කෘතික නියෝජනයකි. යටත්විජිත පුරාම සිදුවන ම්ලේච්ඡුත්වයට එරෙහි ශික්ෂණ කාර්යයක් සඳහා ලිබරල්වාදීන් මැදිහත්වන්නේ තමන් විසින් පැරණි අගතීන් විනාශ කර නව මිනිස් සමාජයක් ස්ථාපිත කිරීමේ උත්කෘෂ්ට කාර්යයේ නිමග්න වන බවට විශ්වාසයෙනි. එහෙත් ඒ හා සමාන්තරව තමන් නියෝජනය කරන යටත්විජිත ස්වාමියාගේ මර්දනකාරී බලහත්කාරය සම්බන්ධයෙන් ඔවුන්ට ඇත්තේ අප‍්‍රසන්න හැඟීමකි. ඩන්ස්ටන් මේ දෙබිඩි ස්වභාවය හොඳින්ම නිරූපණය කරයි. රම්බා සිය පහසු ගොදුරක් ලෙස සූරාකෑමට යටත්වන විට ඔහු ඇයට ඉංග‍්‍රීසි භාෂාව උගන්වන්නේ අනාගතයේ ඇය විවාහ කරගන්නා අදහස පෙරදැරි කරගෙන නොවේ. ඊට වඩා මිනිස් ප‍්‍රවේශයක්, ඇය ගිලී පවතින පැරණි සංස්කෘතික අගතීන්ගෙන් මුදා ගැනීමේ අභිප‍්‍රායක් ඩන්ස්ටන් මුලර් සතුව තිබේ. රම්බා කෙරෙහි පදක්කයා තුළ ඇතිවන ආදරය හුදෙක් ඇය තමන් සතු කරගැනීමේ අරුතින් වූවකි. එහෙත් දුම්රිය මාර්ග වැඩබිම වෙත ඇය ගෙන යන්නට ඔහු අකමැති වූවද ජීවිතයේ කොන්දේසි විසින් තවදුරටත් ඇය තමන්ට රඳවා තබාගන්නට හැකියාවක් නොමැති බව ඔහු වටහා ගනී. මෙම කතාපුවත අප වෙත ගෙන ඒමේදී වෙනත් මිනිස් සබඳතා ගණනාවක් අපගේ අවධානයට ලක් වේ. එහෙත් මේ සබඳතා සියල්ල නවකතාකරු විසින් සිය කතාව ගෙනහැර පෑමට උපයෝගි කරගන්නා සීමාවන් සහිතය. නිදසුන් ලෙස, දකුණු අප‍්‍රිකාවේදී ආරම්භ වී ලංකාවටද එන ඩන්ස්ටන් හා රූත් අතර සබඳතාව විශ්වසනීයත්වයෙන් දුරස්තය. රූත් සහ ගවරා අතර ඇතිවන සබඳතාව වටහාගැනීමට ඊට වඩා සාධාරණ තත්වයන් කතාව තුළ සොයාගත හැකිය.
නවකතාවක් ලෙස ‘යකඩ සිල්පර’ නිර්මාණය කිරීමේදී ලේඛකයා ප‍්‍රධාන වශයෙන් තුන්වැන්නකුගේ දෘෂ්ටිකෝණය (ප‍්‍රථම පුරුෂ) උපයෝගි කරගනී. වරින්වර එය ඩන්ස්ටන්ගේ දිනපොතටද රූත්ගේ දින සටහන්වලටද මාරු වේ. භාෂාව භාවිතයේදී පැරණි සිංහල ගැමි භාෂා ව්‍යවහාරය හා ජනශ‍්‍රැතියෙන් අමුද්‍රව්‍ය උපයෝගී කරගනී. කතාව ගලා යන්නේ වර්තමාන කාලයෙන් වුවද අතීතාවර්ජනයක ලක්ෂණද අඩංගු වේ.
චරිත ගොඩනැගීමේදී මුලින්ම හඳුනාගත හැකි දුබලතා අතර එකක් වන්නේ කතුවරයා විසින් ඒ එක් එක් චරිත ලක්ෂණ ගෙන හැරපෑමය. එය නවකතාවක සාහිත්‍යමය අගය දුර්වල කරවන්නකි. නවකතාකරුවා සිය සාහිත්‍යමය මැදිහත්වීමෙන් සිදුකරන්නේ කතාවක් පමණක් පැවසීම නොවේ. නවකතාවක පෙළගැසෙන වෘතාන්තයේ එක් එක් සිදුවීම් ඇසුරින් හුදු කතාවකට වඩා සමාජ දේශපාලන පුවතක් ප‍්‍රකාශ වේ. නවකතාකරුවාට එවැනි මැදිහත්වීමක් සිදුකළ හැක්කේ ස්වාධීන හා එහෙයින්ම විශ්වසනීය චරිත ගොඩනැංවීමට සමත්වන්නේ නම් පමණකි.
‘යකඩ සිල්පර‘ කතාව වර්ධනය වන්නේ එවැනි විශ්වසනීයත්වයක් මැද වුවද ඇතැම් අවස්ථාවලදී කතුවරයා සිය සංයමය බිඳ ගනී. විශේෂයෙන්ම ගවරාගේ චරිතය යම් ආකාරයක ආකර්ෂණීය වීරයකු බිහි කිරීම අරමුණු කරගෙන ගොඩනැගු බවක් නොපෙණුනද එම චරිතයට ආරෝපණය කරන මායාමය ලක්ෂණ එවැනි පෙනුමක් අත්කරගෙන තිබේ. නවකතාකරුවා, විමල් උදය හපුගොඩආරච්චි ජනමාධ්‍ය ඔස්සේ පළ කරන අදහස් අනුව, ඔහුට සයිමන් නවගත්තේගමගේ මායාරූපී කතා කලාවේ ආභාසය ලැබී ඇත. එහෙත් මුළු කතාවම යථාර්ථවාදී ආඛ්‍යානයක් ලෙස ගොඩනැගෙන අතර ඇතැම් අවස්ථා ඉන්ද්‍රජාලික යථාර්ථවාදී ආභාසයක් ගනී. ගවරාගේ කතාව සහමුලින්ම පාහේත් රූත්ගේ පුත‍්‍රයා වොලී, සිය පියා සොයායන අවස්ථාව සහ හිරගෙදරින් නිදහස්වී ආ පදක්කයා, රාත‍්‍රියේ ආරච්චිලගෙන් පළිගන්නට එළඹෙන අවස්ථා නිරූපණය මායාරූපි ශෛලියක් ගෙන ඇත.
නවකතාකරුවා දී ඇති කාලසීමාවක, දී ඇති සමාජ ආර්ථික වටපිටාවක පුවතක් අප වෙත ගෙන එන්නේ හුදු විශ්ලේෂාත්මක අරමුණකින් නොවේ. ඔහුගේ අරමුණ සාහිත්‍යමය ව්‍යායාමයක් ඔස්සේ යම්කිසි නිර්මාණාත්මක මැදිහත්වීමකි. කෘතියට බලහත්කාරී දේශපාලන ස්වභාවයක් ගෙන එනවා වෙනුවට කතා පුවත විසින් මවන චරිත, සිදුවීම් ඔස්සේ සහෘදයන් ඥානනය කිරීමේ භාවිතයක යෙදීම ප‍්‍රශස්ත නවකතාවක මූලික කොන්දේසියයි. ‘යකඩ සිල්පර’ එම ප‍්‍රශස්තභාවය අත්කරගෙන ඇති බව නිගමනය කිරීමට ඉහත ගෙන හැර පෑ කරුණු සෑහේ යයි සිතමි.

(2018-ඔක්තෝබර් ‘වම‘ පුවත්පතෙනි)