தமிழ்
English
Contact
Thursday 28th January 2021    
යාපනය විශ්වවිද්‍යාලයේ ස්මාරකය විනාශ කිරීමට එරෙහි වෙමු! - අ.වි.ශි.බ.ම. | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

යාපනය විශ්වවිද්‍යාලයේ ස්මාරකය විනාශ කිරීමට එරෙහි වෙමු! – අ.වි.ශි.බ.ම.



ජනවාරි 8 වැනිදා රාත්‍රියේ යාපනය විශ්වවිද්‍යාලය තුළ පිහිටුවා තිබුනු ‘මළවුන්ගේ ස්මාරකය’ විනාශ කිරීම සම්බන්ධයෙන් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය සිය විරෝධය පළකර ඇත.

කැඳවුම්කරු රත්කරව්වේ ජිනරතන හිමි විසින් නිකුත් කර ඇති ප්‍රකාශයේ සඳහන් වන්නේ යුද්ධයේදී මියගිය හමුදා භටයන් සැමරීමට මෙන්ම විවිධ අරගලවලදී මියගියවුන් සිහි කිරීමට ඇති අයිතිය, යාපනයේ ජනතාවටද ඇති බවත් ඒ අයිතිය අහිමි කිරීමට කිසිවකුට නොහැකි බවත්ය. මියගියවුන් සිහි කිරීම වළක්වමින් ආණ්ඩුව පසුගිය කාලයේ පවත්වාගෙන ගිය මර්දනයේ අවස්ථාවක් ලෙස මෙවැනි බලහත්කාරයක් කිසිසේත් අනුමත කළ නොහැකි බව පවසන කැඳවුම්කරු, හිමියන් ඊට විරේධය පළ කිරීමට ප‍්‍රජාතන්ත්‍රවාදයට, මනුෂ්‍යත්වයට ගරු කරන සියලූ ජනතාව එක් විය යුතු බව අවධාරනය කරයි.
අ.වි.ශි.බ.ම. නිවේදනය පහත පළ වේ.

මළවුන් සිහිකිරීම අයිතියක්! – යාපනය විශ්වවිද්‍යාලයේ ස්මාරකය විනාශ කිරීමට එරෙහි වෙමු!

යාපනය විශ්වවිද්‍යාලයේ ඉදිකර තිබූ මළවුන්ගෙන් ස්මාරකය කඩා බිඳ දමා බලහත්කාරීව ඉවත් කර තිබේ. පසුගිය 08 දින රාත්‍රි මෙය ඉවත් කිරීමට සැරසෙන විට සිසුන් සහ ප‍්‍රදේශයේ ජනතාව විරෝධය දැක්වීම හේතුවෙන් විශ්වවිද්‍යාලයට සන්නද්ධ හමුදා කැඳවා තිබේ. දශක ගණනක් පුරා පැවති ජනඝාතක යුධයෙන් දහස් ගණන් මිනිසුන් මරණයට පත් විය. ආබාධිත විය.
දේපල විනාශ විය. කොටින්ම කිවහොත් මනුෂ්‍යත්වය මරණයට පත් විය. විශ්වවිද්‍යාලයේ සිසුන් ස්මාරකයක් ඉදිකර තිබුණේ එම ජනඝාතක  යුද්ධයෙන් මිය ගිය සිය ඤාතීන්, හිතවතුන් ඇතුළු සමීපතමයන් සිහි කිරීම සඳහාය.

පොදු සමාජීය අරමුණු වෙනුවෙන් මියගිය මිනිසුන් දකුණේද සමරනු ලබයි. එ් සඳහා ස්මාරක ඉදිකර තිබේ. තිස් වසරක යුධයෙන් මියගිය හමුදා සෙබළුන් සිහි කෙරෙන ස්මාරක දකුණේ ඕනෑතරම් තිබේ. ඔවුන් සමරන උත්සව පවත්වනු ලැබේ. නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් සිදුකරන අරගලයෙදී රජය විසින් ඝාතනය කෙරුණු සිසුන් සිහි කෙරෙන විරු සිසු ස්මාරක විශ්වවිද්‍යාලවල සිසුන් විසින් ඉදිකර තිබේ. සෑම වසරකම ජූනි මස 20 දින අරගලයේදී මියගිය මිනිසුන් සිහිකිරීම සඳහා විශ්වවිද්‍යාලවල විරුසිසු දිනය සමරනු ලැබේ. එලෙසම 71 අරගලයේදී 88/89 භීෂණ සමයේදී මරාදැමුණු මිනිසුන් සිහිපත් කෙරෙන සැමරුම් උත්සව දකුණේ සංවිධානය කරනු ලැබේ. මියගියවුන් සිහිකිරීමේ එම අයිතිය උතුරේ ජනතාවටද එලෙසින්ම තිබිය යුතුය. ඔවුන් විසින් සිදු කළ අරගලය සාධාරණද අසාධාරණද යන්න වෙනම සාකච්ඡාවකි. දේශපාලන මතවාද කුමක් වූවත් තමන් වෙනුවෙන් පෙනී සිට මිය ගියා යැයි සළකන මිනිසුන් සිහි කිරීමට උතුරේ ජනතාවටද අයිතියක් තිබේ.

මෙය ජනවාරි 08 දින සිදු වූ හුදෙකලා සිදුවීමක් නොවේ. මින් පෙර රජය විසින් උතුරේ මියගියවුන් සිහිකෙරෙන සැමරුම් උත්සව තහනම් කරන ලදී. සන්නද්ධ මැදිහත්වීම්වලින් ඒ්වා වළක්වන ලදී. දැන් මියගියවුන් වෙනුවෙන් ඉදි කළ ස්මාරක කඩා බිඳ දමමින් තිබේ. මෙය විශ්වවිද්‍යාල පාලනාධිකාරිය විසින් සිදු කළ ක‍්‍රියාවක් බව කියමින් විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවත්, ආණ්ඩුවත් අතපිසදමා ගැනීමට සැරසෙයි. නමුත් මෙය ආණ්ඩුව විසින් සැලසුම් සහගතව සිදුකළ ක‍්‍රියාවක් වන බව පැහැදිලිව
පෙනෙන්නට තිබේ.
උතුරේ මළවුන් සමරන දින තහනම් කළ යුතු බව, ස්මාරක ඉවත් කළ යුතු බව කියන්නේ අන්තවාදයන් බිහිවීම වැළැක්වීමටය. නමුත් පාලකයන් ඉතා දැනුවත්ව මේ සිදුකරමින් සිටින්නේ අන්තවාදයන් පැලවීමට නැවතත් බිම් සකස් කිරීමය්. අන්තවාදයන් බිහි වන්නේ සැමරුම් ස්මාරක ඉදිකිරීමෙන් හෝ සැමරුම් දින පැවැත්වීමෙන් නොවේ, එ්වා පාගා තලා පෙළා දැමීමෙනි. දකුණට සේම උතුරටද මියගියවුන් සැමරීමට අයිතියක් ඇති බව පිළිගත යුතුය. මිය ගියවුන් සිහි කිරීම ප‍්‍රජාතන්ත්‍රවාදය අගයන, මනුෂ්‍යත්වයට ආදරය කරන ඕනෑම ශිෂ්ඨ සම්පන්න සමාජයක පිළිගැනෙන අයිතියකි. එම අයිතිය උදුරාගනිමින් මේ සිදු කරන්නේ තුවාල වූ උතුරේ හදවත යළි යළිත් පාරා රුධිරය වැගිරෙන්නට සැලැස්වීමයි. එහෙයින් යාපනය විශ්වවිද්‍යාලයේ මළවුන්ගේ ස්මාරකය කඩා බිඳ දැමීම අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය ලෙස අප තරයේ හෙළා දකින අතර මෙම අත්තනෝමතික මැදිහත්වීමට එරෙහි වන මෙන් ප‍්‍රජාතන්ත්‍රවාදයට, මනුෂ්‍යත්වයට ගරු කරන සියලූ ජනතාවගෙන් ඉල්ලා සිටිමු.

මෙයට,
රත්කරව්වේ ජිනරතන හිමි, කැඳවුම්කරු,
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය.