தமிழ்
English
Contact
Thursday 28th January 2021    
යාපනය 'මළවුන්ගේ ස්මාරකය' ඉවත් කිරීම ගැන ආණ්ඩුවේ ඇමතිවරුන්ගෙන් පරස්පර ප්‍රකාශ | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

යාපනය ‘මළවුන්ගේ ස්මාරකය’ ඉවත් කිරීම ගැන ආණ්ඩුවේ ඇමතිවරුන්ගෙන් පරස්පර ප්‍රකාශ



පසුගිය සිකුරාදා රාත්‍රියේ යාපනය විශ්ව විද්‍යාල පරිශ්‍රයේ යුද්ධයෙන් මියගිය පිරිස් සිහිකිරීම සඳහා ස්මාරකය ඉවත් කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ ඇමතිවරු එකිනෙකට පරස්පර ප්‍රකාශ කරනු දක්නට ලැබේ. මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර ට්වීටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කර තිබුණේ යාපනය විශ්වවිද්‍යාලය තනි ප්‍රජාවක දෙපලක් නොවන බවයි. අහිංසක සිවිල් වැසියන් සිහිකිරීමේ මුවාවෙන් තහනම් ව්‍යාපාරයකට අයත් ත්‍රස්තවාදීන් සැමරීමට ඉඩ දිය යුතු නැති බවද ඔහු පවසා තිබේ.

නමුත් අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අධ්‍යාපන ඇමති ජී. එල්. පීරිස් පවසා තිබුණේ යාපනය විශ්ව විද්‍යාලයේ ඉදිකර තිබූ ස්මාරකය ඉවත් කිරීමට කටයුතු කළේ එය අවසරයකින් තොරව ඉදිකර තිබූ නිසා බවයි. යාපනය විශ්ව විද්‍යාල බලධාරීන් එම හේතුව මත පමණක් ස්මාරකය ඉවත්කිරීමට තීරණය කර තිබූ බවද කිසිම දේශපාලන සාධකයක් මත එම ඉවත් කිරීම සිදු නොකළ බවත් අධ්‍යාපන ඇමතිවරයා පවසයි.

යාපනය විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා උපවාසයේ නිරත සිසුන් සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව අද උදෑසන නව ස්මාරකයක් ඉදිකිරිම සඳහා මුල්ගල තබා තිබුණි.