தமிழ்
English
Contact
Saturday 23rd March 2019    
යාපනේ සිවිල් ස්ථානවල මිලිටරි කදවුරු ඉවත් කරන්න, පෞරාණික බලකොටුව ඉල්ලයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

යාපනේ සිවිල් ස්ථානවල මිලිටරි කදවුරු ඉවත් කරන්න, පෞරාණික බලකොටුව ඉල්ලයි



යාපනය ඓතිහාසික බලකොටුව කදවුරක් පිහිටුවන්නට හැකි නම්, නගරයේ සිවිල් ජනජීවිතයට වැදගත් ස්ථානවල පිහිටා ඇති හමුදා කදවුරු ඉවත් කරගන්නා ලෙස ජනතාව කරන ඉල්ලීම් ඉටුකළ හැකි නිසා එයට අවසර දෙන ලෙස යුද හමුදාව ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත.
යාපනය භාර අණදෙන නිලධාරි දර්ශන හෙට්ටිආරච්චි මෙම ඉල්ලීම ජනාධිපතිවරයා වෙත ලිඛිතව යොමුකර ඇත. යුද හමුදාවේ කදවුරු තවමත් සිවිල් ස්ථානවල පවත්වාගෙන යන බවට පසුගියදා යාපනය උත්සවයකදී ජනාධිපතිවරයා දැනුවත් කළ විට ඒවා ඉවත් නොකරන්නේද යන්න ජනාධිපතිවරයා යුද හමුදාපති මහේෂ් සේනානායකගෙන් විමසා තිබිණි. එහිදී යුද හමුදාපතිවරයා ජනාධිපතිවරයාට පොරොන්දු වී තිබුණේ සති දෙකක් තුළ එම කදවුරු ඉවත්කරගන්නා බවකි. කෙසේ වෙතත්, මේ වනවිට පන්නයි, ගුරුනගර්, සිංහල මහ විද්‍යාලය යන ස්ථානවල කදවුරු තවමත් ඉවත්කර නැත.

යාපනය පෘතුගීසින් යාපනය අත්පත් කරගත් යුගයේ ඉදිකළ මේ ඓතිහාසික බලකොටුව පසුව ඕලන්ද (වත්මන් නෙදර්ලන්තය) බලකොටුවක් ලෙස වැඩි දියුණු කරන ලදී. යටත් විජිත සමයෙන් පසුව ගරා වැටී ඇති මෙම පුරාවිද්‍යා ස්ථානයේ නෙදර්ලන්ත ආධාර ඇතිව සංරක්ෂණ කටයුතු සිදුකෙරෙමින් පවතී. යාපනය නගර සභාව විසින් රැකියා උත්පාදනය සදහා සුදුසු සංචාරක ආකර්ෂණය ඇති ස්ථානයක් ලෙස හදුනා ගෙන  කටයුතු සිදුකරන්නට සූදානමින් සිටී.