Posted on 03.28.2022 by Chandana Sirimalwatte in විදෙස් පුවත් with 0 Comments
රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීමෙන් මසයක් ගතවී අවස්ථාවේ රුසියානු විදේශ ඇමති සර්ජි ලැව්රොව්ගේ පළමුවැනි විදේශ සංචාරය ලෙස ඉන්දියාවට පැමිණීමට නියමිතය.
ජනාධිපති ව්ලැඩිමීර් පුටින් යුක්රේන ආක්‍රමණය තීන්දු කළ පසුව රුසියානු රාජ්‍ය තාන්ත්‍රිකයකු විසින් කරන ලද පළමු සංචාරය, එම ආක්‍රමණය විවේචනය නොකළ ඉන්දියාව තෝරාගැනීම විදේශ නිරීක්ෂකයන්ගේ අවධානයට ලක්ව ඇත.
සර්ජි ලැව්රොව්ගේ මෙම සුවිශේෂි සංචාරය, ආක්රමණික මැදිහත්වීමට ප්‍රතිචාර ලෙස යුරෝපා-අමෙරිකා එක්සත් ජනපද ආර්ථික සම්බාධක හා බැඳුනු එකක් වනු ඇතියි අපේක්ෂා කෙරේ. රුසියානු තෙල් මිලදී ගැනීම, ගෙවීම් යාන්ත්‍රණයන්, රුසියානු බැංකුවලට එරෙහිව සම්බාධක සහ මිලිටරි දෘඩාංග සැපයුමේ ඇති විය හැකි බාධා පිළිබඳ නිශ්චිත සාකච්ඡා කෙරෙහි අවධානය යොමු වේ යයි අපේක්ෂා කෙරේ.
රුසියානු තෙල් වට්ටම් සහිතව ලබා ගැනීමට සලකා බලමින් සිටින බව ඉන්දිය අගමැති මෝදි පසුගිය සතියේ පාර්ලිමේන්තුවේදී අනාවරනය කර තිබුණි. ඉන්දිය මුදල් අමාත්‍යාංශයේ ප්‍රධානත්වයෙන් යුත් විශේෂ අන්තර් අමාත්‍ය කණ්ඩායමක් යුද්ධයෙන් සහ බටහිර සම්බාධකවලින් පැන නගින ඉන්දියානු ආනයනකරුවන් සහ අපනයනකරුවන්ට බලපා ඇති ගැටළු අවධානයට ලක් කර ඇත. මේ වනවිට එක්සත් ජනපදයට සමීප ක්රියාකාරිත්වයක සිටියද ඉන්දිය ආර්ථිකයේ රුසියානු පාර්ශ්වය යනු සීතල යුද සමයේ සෝවියට් රජය සමග ඇති කරගත් විදේශ සබඳතා හේතුවෙන් ආරම්භ වූ වෙළඳ කටයුතු සම්බන්ධ අඛණ්ඩ ඉතිහාසයකට හිමිකම් කියයි.
මෑත ඉතිහාසය තුළ රුසියානු යුද උපකරණ මිලදී ගැනීම හේතුවෙන් එක්සත් ජනපදය විසින් ඉන්දියාවට සිය අප්‍රසාදය පළ කර තිබිණි. රුසියානු නායක පුටින් විසින් ඉන්දිය සංචාරයකදී අගමැති මෝදි සමග ද්විපාර්ශ්වික සබඳතා නැවත ශක්තිමත් කරගැනීමේ පියවර තබා තිබිණි. මේ නිසා, යුක්රේන යුද්ධය මෙන්ම රුසියාවට එරෙහි සම්බාධක ක්‍රියාත්මකව පවතින අතර රුසියානු විදේශ ඇමතිවරයාගේ මෙම ඉන්දිය සංචාරය විශේෂ වැදගත්කමක් දරයි.