தமிழ்
English
Contact
Thursday 2nd July 2020    
යුද්ධෙ වෙලාවෙවත් කරපු නැති ලෝක්ඩවුන් කිරීම දැන් කරන්න ඕනා නැහැ - ගෝඨාභය රාජපක්ෂ | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

යුද්ධෙ වෙලාවෙවත් කරපු නැති ලෝක්ඩවුන් කිරීම දැන් කරන්න ඕනා නැහැ – ගෝඨාභය රාජපක්ෂ



වසර 30 ක යුද්ධය කාලය තුළ පවා ලෝක්ඩවුන් නොකල රටක් ලෙස, කොරෝනා වසංගතය හමුවේ රට ලෝක ඩවුන් කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කර තිබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මේ බව ප්‍රකාශ කෙළේ කොරෝනා මර්දනය පිළිබඳ කාර්ය සාධක බළකාය ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ඊයේ (17) උදෑසන රැස් වූ අවස්ථාවේ දීය.

කොරෝනා ආසාදනය හේතුවෙන් සෙසු රටවල් විශාල මරණ සංඛ්‍යාවක් වාර්තා කර ඇති අතර, එවැනි තත්වයක් අවම කර ගැනීමට ශ්‍රී ලංකාව සමත් වී ඇතැයි ද ඔහු පැවසීය.

ජනාධිපති මහින්ද රාජපක්ෂ යටතේ ආරක්ෂක ලේකම්ව සිටියදී කිසිදු ප්‍රදේශයක් ලොක්ඩවුන් නොකර යුද්ධය අවසන් කිරීමට තමාට හැකි වූ බව ජනාධිපතිවරයා පවසා ඇත.

“වසර 30 ක යුද්ධයේදී, රාජපක්ෂ රජයේ පාලන කාලය තුළ පවා නගර හෝ රට ලෝක ඩවුන් කිරීමේ තීරණයක් ගත්තේ නැහැ. සමහර දවස්වලට මාසෙටම ඉස්සරහට ගිහින් තියෙන්නේ අඟලයි. නමුත් අපි රට ලොක්ඩවුන් කෙළේ නැහැ. ඒ මෙහෙයුම්වලදී දී 5000කට වැඩි පිරිසකගේ ජීවිත නැති වුණා. 10,000ක් පමණ ආබාධිත වුණා. අපි ලොක්ඩවුන් කෙළේ නැහැ. මට තේරෙන්නේ නැහැ 28 දෙනෙකු රෝගී වුණාම රටම ලොක්ඩවුන් කරන්න ඕනේ ඇයි කියලා. මේවාට කලබල වුණොත් කිසිවක් හරියට කර ගන්න වෙන්නේ නැහැ.ලෝකයේ අනෙකුත් රටවල් වගේ නෙමෙයි එල්ටීටීඊ ත්‍රස්තවාදය පරාජය කිරීමට අපට හැකි වුණා. වෙනත් රටවලට හොඳම වෛද්‍ය පහසුකම් තියෙන්න පුළුවන් වුනත් අපේ උත්සාහයෙන් ආසාදිත පුද්ගලයින් සුව කිරීමට අපට හැකි වුණා”.

මහ මැතිවරණය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කියා සිටියේ මැතිවරණය කල් දැමීම සම්බන්ධයෙන් තමාට තීරණයක් ගත නොහැකි නමුත් අවශ්‍ය නම් එවැනි තීරණයක් ගැනීමට මැතිවරණ කොමිසමට බලය ඇති බවයි.

රජයේ නිවාඩු දිනයන් ප්‍රකාශ කිරීම පහසු නමුත් එසේ කිරීම පුරවැසියන්ගේ එදිනෙදා ජීවිතයට හා රටේ ක්‍රියාකාරිත්වයට අහිතකර ලෙස බලපානු ඇතැයි ගෝඨාභය රාජපක්ෂ පවසා තිබේ.