தமிழ்
English
Contact
Monday 22nd April 2019    
රජයේ අරමුදල් අවභාවිතය ගැන නඩුවට ගෝඨාභය ප්‍රමාදයි - විශේෂ මහාධිකරණය අවවාද කරයි! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

රජයේ අරමුදල් අවභාවිතය ගැන නඩුවට ගෝඨාභය ප්‍රමාදයි – විශේෂ මහාධිකරණය අවවාද කරයි!



රාජපක්ෂ රෙජීමය යටතේ වීරකැටිය ප්‍රදේශයේ ඩී. ඒ .රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදි කිරීමේදී රුපියල් මිලියන 34ට ආසන්න රජයේ මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කිරීම සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ලෙස කටයුතු කළ ගෝඨාභය රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් හත් දෙනකුට එරෙහි නඩුව විභාග කිරීමට ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයට බලයක් නොමැති බව සඳහන් කරමින් විත්තිකරුවන් ගොනුකර ලද මූලික විරෝධතාව ප්‍රතික්ෂේප කිරීමට කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය නියම කළේය.

සම්පත් අබේකෝන්, සම්පත් විජේරත්න, චම්පා ජානකී රාජරත්න යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය කරනු ලැබීය.

රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලන සමයේ මැදමූලන ප්‍රදේශයේ ඩී. ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීම සඳහා ඉඩම් ගොඩ කිරිමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවට අයත් රුපියල් මිලියන 33.9 ක මුදලක් යොදවා එම මුදල සාවද්‍ය පරිහරණය කළ බවට චෝදනා කරමින් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව පොදු දේපල පනත යටතේ නීතිපතිවරයා මෙම නඩුව පවරා තිබේ. මෙම නඩුවේ සෙසු විත්තිකරුවන් ලෙස ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ හිටපු සභාපති ප්‍රසාද් හර්ෂණ ද සිල්වා සහ එම ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයින් වශයෙන් කටයුතු කළ භද්‍රාවතී කමලදාස, සුධම්මික  ආටිගල, සමන් කුමාර ගලප්පත්ති , ඩී මෙන්ඩිස් සාලිය සහ මල්ලිකා කුමාරි සේනාධිර යන අය නම් කර තිබේ.

නඩුවේ පළමුවන විත්තිකරු ලෙස නම් කර සිටින හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අධිකරණයේ පෙනී නොසිටි අතර නඩුව ආරම්භ වී සුළු වේලාවකින් ඔහු අධිකරණයට පැමිණි අවස්ථාවේ ඔහුගේ නීතිඥවරු අධිකරණයට දන්වා සිටියේ මාර්ගයේ පැවති අධික වාහන තදබදය හේතුවෙන් ඔහුට නිසි වේලාවට අධිකරණයට පැමිණීමට නොහැකි වූ බවයි. ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල සියලුම විත්තිකරුවන් නිසි වේලාවට අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි අවවාද කළේය.

නඩුව පෙබරවාරි 22 දක්වා කල් දැමූ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය එදිනට විත්තිකරුවන්ගේ උත්තර ඉදිරිපත් කරන මෙන් ද නියම කළේය.