தமிழ்
English
Contact
Friday 14th May 2021    
රජයේ ආයතන සතු වගා නොකළ ඉඩම් පිළිබඳ බැංකුවක් හැදිය යුතුයි - චමල් රාජපක්ෂ | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

රජයේ ආයතන සතු වගා නොකළ ඉඩම් පිළිබඳ බැංකුවක් හැදිය යුතුයි – චමල් රාජපක්ෂ



රජයේ ආයතන සතු වගා කිරීමට සුදුසු ඉඩම් පිළිබඳ බැංකු සංචිතයක් ගොඩනැඟිය යුතු බව වාරිමාර්ග ඇමැති හා රාජ්‍ය ආරක්ෂක, ආපදා කළමනාකරණ, ස්වදේශ කටයුතු රාජ්‍ය ඇමැති චමල් රාජපක්ෂ පවසා තිබේ.

වගා කිරීමට සුදුසු එහෙත් මේ වන විට වගා නොකර ඇති ඉඩම් විශාල ප්‍රමාණයක් රජයේ ආයතන සතුව තිබෙන හෙයින් එම ඉඩම් පාරම්පරික ගොවීන්ට හෝ ගොවිපොළ ඇති කිරීමට දීමට සුදුසු ක්‍රමවේදයක් සකසන ලෙස ඇමැතිවරයා නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බළකායේ ජාතික සම්බන්ධීකරණ කෘෂිකාර්මික අනුකමිටුව එහි සභාපති, ඇමැති චමල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේදී පෙරේදා (10) රැස්වූ අවස්ථාවේ දී එම තීරණයට එළැඹ තිබේ.

වන සතුන්ගෙන් බෝගවලට සිදුවන හානිය වළක්වා ගැනීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව මෙම කෘෂිකර්ම ජාතික සම්බන්ධීකරණ අනු කමිටුවේ දී සාකච්ඡා වූ බව ස්වදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ දැක්වේ.

5-2001 චක්‍රලේඛය අහෝසි කරමින් ‘අවශේෂ වනාන්තර’ ලෙස හඳුන්වන, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පවතින හෙක්ටයාර ලක්ෂ 05ක් පමණ දිසාපතිවරු හා ප්‍රාදේශීය ලේකම්වරු පවරා තිබෙන අතර ඒ අනුව ඒවා පාලනය වන්නේ ස්වදේශ කටයුතු අමාත්‍යංශය යටතේයි. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ පරිසරවේදීන් පවසන්නේ මෙම ඉඩම් වාණිජ භෝග වගාවන් සඳහා විශාල සමාගම් වෙත ලබාදීම මෙම චක්‍රලේඛය අහෝසි කිරීමේ අරමුණ බවයි. ඊට අමතරව මහවැලි අධිකාරිය පවතින්නේ ද චමල් රාජපක්ෂ ඇමතිවරයා යටතේයි. මේ වනවිට මහවැලි අධිකාරියට අයත් රඹ කැන් ඔය අශ්‍රිත ඉඩම් පරිසර නීති උල්ලංඝණය කරමින් සමාගම්වලට ලබාදී තිබේ.

මේ වනවිට යෝජිත වන අලි රක්ෂිතය ගැසට් කරන ලෙස ඉල්ලමින් වල්සපුගල ගොවීන් ගෙනයන අරගලය හමුවේ චමල් රාජපක්ෂ පොරොන්දු වී තිබුණේ මසක් ඇතුළත රක්ෂිතය ගැසට් කරන බවයි. නමුත් මෙතෙක් එම පොරොන්දුව ඉටුවී නොමැති අතට ඒ වෙනුවට චමල් රාජපක්ෂගේ ගෝලයන් විසින් අදාළ යෝජිත රක්ෂිත ප්‍රදේශයේ කැලේ එළිපෙහෙළි කරමින් සිටින බව ගොවි සංවිධාන පවසයි.

මෙම කරුණු සමඟ ගලපා බැලීමේදී චමල් රාජපක්ෂ කියන ආකාරයෙන් ඉඩම් බැංකු සංචිතයක් නිර්මාණය කර ඒවා පාරම්පරික ගොවීන්ට කෙසේවෙතත් විවිධ වාණිජ භෝග වගාවන් සඳහා සමාගම් වෙත පවරා දීම සිදුවෙනු ඇත. එසේම එය විශාල පාරිසරික විනාශයකාටද පාර කපනු නියතය.