தமிழ்
English
Contact
Wednesday 25th November 2020    
රටම කනත්තට තල්ලු කරන්න ජේ.ආර්. යොදාගත් අත්තනෝමතික බලය, 20 වැනි සංශෝධනයෙන්! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

රටම කනත්තට තල්ලු කරන්න ජේ.ආර්. යොදාගත් අත්තනෝමතික බලය, 20 වැනි සංශෝධනයෙන්!



20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් විධායක ජනාධිපතිවරයා අත්තනෝමතික සර්වබලධාරියකු බවට පත් කිරීමට අවශ්‍ය අමතර බලතල හිමිකරන්නට යෝජනාකර ඇති බව අනාවරණය වේ.

පසුගිය ආණ්ඩුව විසින් 2015 වසරේදී සම්මත කළ 19 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනාධිපතිවරයා සතුව පැවති ඇතැම් බලතල කප්පාදු කළද වත්මන් ආණ්ඩුව විසින් නැවත ඒම බලතල හිමිකර දෙන්නට යෝජනාකර ඇත. තවද පාර්ලිමේන්තු මැතිවරණයකින් ජනතාව විසින් මන්ත්‍රිවරු පත්කර වසර 4 1/2 යනතුරු එය විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට නොහැකිවන ලෙස පැවති 19 වැනි සංශෝධනයේ වගන්තිය ඉවත් වී පාර්ලිමේන්තුව වසරක් ගතවූ පසු විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට හිමි බවක් යෝජනාකර තිබේ. ද්විත්ව පුරවැසියන්ට ජනාධිපතිවරණයට සහ පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ කළ නොහැක යන වගන්තිය ද අහෝසි කරන්නට 20 වැනි සංශෝධන කෙටුම්පතෙන් යෝජනාකර ඇත. ජනාධිපතිවරයා සතුව තිබුණු ඇතැම් බලතල කැබිනට් ඇමති මණ්ඩලයටත් පාර්ලිමේන්තුවටත් පවරා දෙන ලද්දේ 19 වන සංශෝධනයේ ප්‍රතිපාදන මගිනි.

යෝජිත 20 වැනි සංශෝධනය අනුව 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් හඳුන්වා දුන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වෙනුවට පාර්ලිමේන්තු සභාව නමැති ව්‍යුහයක් හඳුන්වා දී ඇත. එසේම එම සභාව විසින් ස්වාධීන කොමිෂන් සභාවලට සාමාජිකයන් පත්කිරීමට ඇති අයිතිය අහෝසි කර එම පත් කිරීම් ජනාධිපතිවරයා වෙත අත්පත්කර දෙන්නට යෝජනාකර ඇත.

කෙසේවෙතත්, ජනාධිපති ලෙස දිවුරුම් දුන් අයකු දෙවරකට වඩා ජනාධිපතිවරණයකට අපේක්ෂකයකු ලෙස ඉදිරිපත්වීම වැලැක්වීමේ වගන්තිය වෙනස්කර නැත. ඒපමණක් නොව, ජනාධිපතිවරයාගේ සහ පාර්ලිමේන්තුවේ නිල කාලය වසර 05කට සීමා කිරීම වෙනසක් නොකර තිබෙන්නට හැර තිබේ.

මීට අමතරව, අගවිනිසුරුවරයා, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්, අභියාචනාධිකරණ සභාපතිවරයා හා එහි විනිසුරුවරුන්, නීතිපති, පොලිස්පති, විගණකාධිපති, ඔම්බුඩ්ස්මන් ඇතුළු රජයේ ඉහළ නිලතලවලට පුද්ගලයන් පත්කිරීම මින් ඉදිරියට ජනාධිපතිවරයාට හිමි කාර්යයක් බවට පත්කිරීමට යෝජිතය.

මේ අතර, ආණ්ඩුව විසින් කැබිනට් ඇමති මණ්ඩලය පත් කිරීමේ දී ජනාධිපතිවරයා අගමැතිගේ උපදෙස් මත ඒම පත් කිරීම් සිදුකළ යුතු බවට වූ වගන්තියද අහෝසි කර කැබිනට් ඇමතිධුර සංඛ්‍යාව 30ක සහ කැබිනට් නොවන අමාත්‍යවරුන් 40ක සීමාව ඉක්මවා නොයා යුතුයි යන වගන්තිය ද ඉවත් කරන්නට යෝජනාකර තිබේ.

ඉහත ආකාරයට ඊයේ(2) මධ්‍යම රාත්‍රියේ ගැසට් නිවේදනයකින් ප්‍රකාශයට පත්කර ඇති ආණ්ඩුවේ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනා, 1978 ජේ.ආර්. ජයවර්ධනට අත්තනෝමතික බලයක් හිමිකර දුන්, විධායක ජනාධිපති ධුරය සතුව පැවති ප්‍රශ්න කළ නොහැකි බලය යළි පිහිටුවීමේ උත්සාහයක් බව පැහැදිලිය.

විධායක ජනාධිපතිධුරය නිසා පීඩාවට පත් ජනසමාජයේ විරෝධය කොල්ල කමින් තමන් කැමති ආකාරයේ ආණ්ඩු ක්‍රමයක් සාදාගන්නට පසුගිය, රනිල්-මෛත්‍රි යහපාලන ආණ්ඩුව ගෙන ආ 19 වැනි සංශෝධනය හුදු පැලැස්තරයක් බවට එහිදී විවේචන පවා එල්ල විය. වත්මන් ගෝඨා-මහින්ද ආණ්ඩුව, නැවත වරක් ඒ පැලැස්තරය ගලවා සියලු බලතල ගෝඨාභය ජනාධිපතිවරයාට ඒකරාශිකර දෙන්නට 20 වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතෙන් යෝජනා ඉදිරිපත් කර ඇත.