தமிழ்
English
Contact
Tuesday 25th January 2022    
රතු එළි මැද සිටින මිහිතලය මත කොළ එළි දැල්වීම | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

රතු එළි මැද සිටින මිහිතලය මත කොළ එළි දැල්වීම



අගෝස්තු 9 වැනිදා එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධ ‘දේශගුණ විපර්යාස පිළිබඳ අන්තර් ආණ්ඩු සභාව’ (Inter-Governmental Panel for Climate Change-IPCC) විසින් නිකුත් කළ 6 වැනි වාර්තාවෙන් ‘මානව සංහතිය මුහුණ දෙන ‘රතු එළියක්’ දල්වා ඇත.
මෙම වාර්තාව අනුව, මේ දක්වා මිහිතලය උණුසුම්වීම සම්බන්ධව ලෝක රාජ්‍ය නායකයන් වැය කළ අතිවිශාල ධනයක් කතා කළ පැය දහස් ගණනක් ඇතිකර ගත් සම්මුතීන් හා අත්සන් කළ ගිවිසුම් දුසිම් ගණනක් පාරිසරික පිළිවෙත් සිය ගණනක් යටතේ සැලසුම් කළ ක්‍රියාකාරිත්වයන් ගණනාවක් නිශ්ඵල වී ඇත. මෙම ලියමන ඒ වාර්තාව හා ඍජුව සම්බන්ධ නැතත් අප මුහුණ දී ඇති විනාශයේ අභියෝගය ජයගැනීමේ යෝජනාවකි.

(උපුටාගැනීමේදී කර්තෘ අයිතිය සුරකින්න)

ඉදිරි වසර 10-20 අතර කාලය තුළ මිහිතලයේ උණුසුම්වීම සෙලිසියස් අංශක 1.5ක් දක්වා විය හැකි බව එක්සත් ජාතීන්ගේ ‘දේශගුණ විපර්යාස පිළිබඳ අන්තර් ආණ්ඩු සභාව’ (IPCC) විසින් නිකුත් කළ නවතම වාර්තාවෙන් පෙන්වා දී ඇත. ඒ අනුව, ඇති විය හැකි ප්‍රතිඵල ලෙස උනුසුම් වායු ධාරා මිහිතලය පුරා පැතිර යාමෙන් මිනිසුන් හා සත්ව ජීවිත ඍජුව එහි ගොදුරු බවට පත්වීම, නියං තත්වයන්, ක්ෂනිතව ඇතිවන කාලගුණ විපර්යාස නිසා මහා වැසි ඇදහැලීම් හා ගංවතුර තත්වයන්, ලැව්ගිනි ආදි හේතු නිසා මහා මිනිස් සංහාරයන්, ඉන් අනතුරුව ඇති විය හැකි සාගතයන්, වසංගතයන් මෙන්ම මහා මානව සංක්‍රමණ ආදියේ හානිකර තත්වයන්ට මිනිස් වර්ගයා මුහුණ දීමට නියමිතය. මෙම වාර්තාව මිනිස් සංහතියට ලබා දුන් නිශ්චිත අනතුරු ඇඟවීමක් බව එ.ජා. මහලේකම් අන්තෝනියෝ ගුටරෙස් පිළිගෙන තිබේ.

මෙම වාර්තාව පුරෝකතනය කරන ආකාරයට මේ උණුසුම් වායුගෝලීය තත්වයන් නිසා වසර 2300 පමණ වන විට සාගර ජල මට්ටම මීටර් 2-3 දක්වා ඉහළ යාමේ හැකියාවක් ඇත. එවැනි තත්වයකට මුහුණ දීමට සිදුවන බව අනාවැකි ලෙස පළ කර තිබුණද දැන් ඒ තත්වය අනිවාර්ය බවද ආපසු හැරවිය නොහැකි විනාශයක් කරා අප ගමන් කරමින් සිටින බවද මෙම නව වාර්තාව පෙන්වා දෙයි.

මිනිසාගේ මැදිහත්වීමේ ප්‍රතිඵලයක් ලෙස, මිහිතලය මත ස්වභාවික පරිසරය විනාශය කරා ගමන් කරමින් ඇති බවද එහි වසන මිනිසා ඇතුලු සියලු ජීවින් සම්පූර්ණයෙන් වඳවීමේ (Extinction) භයානක අනතුරක් වර්ධනය වෙමින් පවතින බව දීර්ඝ අධ්‍යයනයන් අනුව පැහැදිලිවන සත්‍යයකි.

එහිදී ඒ විනාශයේ හේතු සාධක අතර ප්‍රධාන වන්නේ මිහිතලයේ සම්පත් පරිභෝජනය කිරීමේ විනාශකාරී බව සහ යළි ඒ ස්වභාවික සම්පත් වර්ධනයට ඉඩක් නොතබා කටයුතු කිරීමය. මෙම විනාශකාරී ක්‍රියාවලිය මිනිසා විසින් පවත්වා ගෙන යන්නකි. එහි ආසන්න ප්‍රතිඵල ලෙස දැන් වාර්තා වෙමින් ඇත්තේ මෙවැනි තත්වයන්ය.
– මිහිතලය උණුසුම්වීම
– ජෛව විශේෂ අතුරුදන්වීම
– පාරිසරික තත්වයන් වෙනස් කිරීම නිසා ස්වභාවික විපත් හට ගැනීම
– අවසානයේ ජීවයේ ස්වභාවික පැවැත්ම අහෝසිවන කොන්දේසි ඇති වීම

මිනිස් වර්ගයා ඇතුලු මේ පොළොවේ ජීවත්වන සතුන්, ශාක පරිසරයේම කොටස් බව පිළිගත යුතුව තිබේ. පාරිසරික ක්‍රියාවලියේදී සතුන් මැදිහත්වන අතර පරිසරය වෙනස්වීමේ ක්‍රියාදාමය තුළ සතුන් යම් පමණකට අවිඥානකව දායක වේ. කෙසේවෙතතත්, සමස්තයක් ලෙස ශාක හා සතුන් පරිසර තත්වයන් වෙනස් කිරීමේදී මිනිසා තරම් ප්‍රබල දායකයකු නොවේ.

නමුත් මිනිස් වර්ගයා මිහිතලයේ පාරිසරික කොන්දේසි වෙනස් කිරීමේ හැකියාව තබා ඇත. ආරම්භයේ සිටම මිනිසා පරිසරය වෙනස් කිරීමේ කාර්ය සිදු කරනු ලැබුවේ සිය පැවැත්ම වෙනුවෙනි. දැනුවත්ව, සචේතනිකව පරිසර තත්වයන් වෙනස් කිරීමෙන් මිනිසා, සතුන්ගෙන් හා ශාකවලින් වෙනස් සුවිශේෂ පාරිසරික මැදිහත්කරුවකු වී සිටී.
පරිසරයේ කොටසක් ලෙස හිඳිමින් පරිසරය වෙනස් කිරීමේ යෙදී සිටින මිනිසා තම පැවැත්ම ද වෙනස් කරගනී. මේ නිසා මිනිසා යනු, පරිසරය වෙනස් කිරීම මෙන්ම තමා වෙනස්වීම යනුවෙන් හඳුන්වන්නට හැකි එකිනෙකින් වෙන් කළ නොහැකි ලෙස එකිනෙකට සම්බන්ධ ක්‍රියාදාමයක කොටසකි.

මේ නිසා මිනිසා හා පරිසරය අතර අඛන්ඩව, අන්‍යෝන්‍ය රඳාපැවැත්මක් හා අන්‍යෝන්‍ය බැලපෑම් සහගත ක්‍රියාවලියක් පවතී. නමුත් මේ වන විට මෙම අන්‍යෝන්‍ය සම්බන්ධය විනාශකාරී ඉමක් වෙත වේගයෙන් ගමන් කරමින් තිබේ. මේ සම්බන්ධයෙන් නිදසුන් ලෙස, ‘දේශගුණ විපර්යාස පිළිබඳ අන්තර් ආණ්ඩු සභාව’ විසින් නිකුත් කළ නවතම වාර්තාව විසින් අනාවරණය කළ මිහිතලයේ ජෛව පැවැත්ම සම්බන්ධ මිනිසා සිදුකරන බලපෑමේ ස්වභාවය හඳුනාගත හැකිය.

සිය ජීවිත පැවැත්ම වෙනුවෙන් ආහාර සපයා ගැනීම, වාසස්ථාන සපයා ගැනීම වැනි සීමිත අරමුනු වෙනුවෙන් පැවතී පැරණි මිනිසාගේ තත්වයේ සිට දැන් මෙම තත්වයේ පූර්ණ වෙනසක් ඇතිව තිබේ.

දැන දැනම මිනිසා විසින් සිදු කරන පාරිසරික විනාශය, මුලු මහත් ජෛව ගෝලයේ පැවැත්ම අභියෝගයට ලක්කරර ඇත. ඒ බව මිනිසා විසින්ම හඳුනා ගෙන සිටින තත්වයක් තුළ පවා එකී විනාශය නවතා දැමෙන තත්වයක් දක්නට නොලැබේ.
ඊට හේතුව වන්නේ තවදුරටත්, තම පැවැත්ම වෙනුවෙන් මිනිසා විසින් ආරම්භ කළ පරිසරයට මැදිහත්වීමේ හා පරිසර කොන්දේසි අභිබවා වෙනස්කම් සිදු කිරීමේ සමාජ ආර්ථික දේශපාලන ක්‍රියාදාමය මිනිසාගේ පාලනයෙන් ගිලිහී පැවතීමය. මේ වන විට එය ලාභය පිණිස හඹායන, මිනිසාගේ සමාජයීය අරමුණු වෙනුවට ප්‍රාග්ධන සංකේන්ද්‍රණය උදෙසා පවතින ‘නවලිබරල් ධනවාදී අධිරාජ්‍යවාදය'(Neo-Liberal Imperialism) නමැති සංකීර්ණ ලෝක පැවැත්මක කොටසකි.

නමුත් තවමත් මිනිස් වර්ගයා විසින් තනි පුද්ගලයන් ලෙසත් සාමුහිකවත් පාරිසරරික විනාශයන් නවතාලීමට මැදිහත්වීමේ හා විනාශය වැළැක්වීමේ ප්‍රයත්නයන් ගිනිමින් සිටී. කෙසේවුවද අප වටහා ගන්නා ආකාරයට මේ මැදිහත්වීම් ප්‍රමාණවත් නැත. මේ මැදිහත්වීම් ප්‍රමාණවත් නොවන බව කිව යුතු වන්නේ ඒවායේ සීමාවන් විසින් මේ විනාශකාරී තත්වය වෙනස් කිරීමට අසමත් නිසාය.

පාරිසරික ස්වභාවවාදය (Environmental Naturalism)
මෙයින් අදහස්වන්නේ පරිසරය යනු අතිශයින්ම ස්වභාවික පැවැත්මක් බවද එය කිසිසේත් වෙනස් නොකළ යුතු බවද පවසමින්, මිනිසා ස්වභාවික පරිසරය තුළ ජීවත්වනවා මිස එයින් මිදිය යුතු නැත යන දෘඪ අදහස් සහිත මතයයි. මේ වන විටත් මිනිසා අවශ්‍ය තරම ඉක්මවා පරිසරය වෙනස් කර ඇති අතර පරිසරයේ පැවැත්මට අනුව, මිනිසා පැවතිය යුතුය යන්නෙන් ගම්‍ය වන්නේ මිනිසා සත්වයකු පමණකි යන අන්තවාදී අදහසකි.
මෙම පරිසර අන්තවාදය මිනිසාගේ පැවැත්මේ ප්‍රගතිය ප්‍රතික්ෂේප කිරීමක් හා ශිෂ්ටාචාරයේ ආපසස්සට යාමක් නියෝජනය කරයි. එපමණක් නොව, මෙයින් සිදුවෙමින් පවතින මහා විනාශකාරී තත්වයන් වෙනස් කිරීමේ ප්‍රයත්නයන් අවතක්සේරුවට ලක් කරයි.

අනුරාගික පරිසරවාදය (Environmental Romaticism)
පරිසර විනාශයන් සිදුවන විට පරිසරයට ආදර කිරීම විලාසිතාවක් බවට පත් කරගත් ප්‍රදර්ශණකාමී අනුරාගයක දක්වන පිරිස් උත්සාහ කරන්නේ වන විනාශය හමුවේ ගස් බදාගන්නා, සිය නිවෙස්වල ප්‍රදර්ශනකාමී ලෙස සතුන් ඇතිකරන, ගස් වගාකරන මෙම මැදිහත්ත්වීමෙන් සිදුවන විනාශය වෙනස් කිරීමට කිසිදු දායකත්වයක් නැත. බොහෝ විට පරිසර විනාශය වැළැක්වීමේ වඩා වෙහෙසකර, කැපකිරීම් සහිත කටයුතුවලට දායක වීම වෙනුවට ඇඟ බේරාගැනීමේ ව්‍යාජ මතවාදයක් මොවුන් විසින් උසුලයි.
පරිසරය වනසා දමන සමාජ ආර්ථික කොන්දේසි වෙනස් කිරීමේ මැදිහත්වීමක් වෙනුවෙට ඉන් ඇඟ බේරාගෙන පලායාමේ ව්‍යාජ පරිසරවාදයක් ඔවුන් වංචනික ලෙස යොදාගනී. බොහෝ විට පරිසරය විනාශ කරමින් වර්ධනය වන ආර්ථිකයේ ප්‍රතිඵලයක් ලෙස ජීවිත පහසුව සළසා ගැනීම සිදුකරන මධ්‍යම පන්තික ප්‍රජාව හෝ ධනවතුන් මෙවැනි අනුරාගික පරිසරවාදයක සරණ යයි.

පාරිසරික ජාතිකවාදය (Environmental Nationalism)
ධනවාදය විසින් පරිසරය විනාශ කරන බවට චෝදනා කරමින් නව සමාජ පැවැත්ම වෙනුවට පැරණි සමාජ ආර්ථික සබඳතා වෙත යාම යෝජනා කරන මිනිස් සමාජයේ අපාසු ගමනක් යෝජනා කරන මතයකි. ලංකාවේදී නම්, ආසියාතික නිෂ්පාදන රටාව තුළ ආර්ථික පැවැත්ම පරිසර හිතකාමී බව පෙන්වා දෙමින් දැනට සිදුවන පාරිසරික විනාශයේ සැබෑ හේතු පල සම්බන්ධය වෙනස් කිරීමේ ප්‍රයත්නයන් වෙනුවට නිශ්පල පාරිසරික සාමුහිකත්වයක් වෙත මෙම මතවාදය යෝජනා කරයි.
විශේෂයෙන් විල්පත්තු වන විනාශය සිදුකිරීමේදී එහි වගඋත්තකරුවකු වූ රිෂාඩ් බද්යුදීන් පමණක් ඉලක්ක කරමින් හඩ නැගූ මෙම පරිසර ජාතිකවාදීන්, සිංහරාජ, යාල, නකල්ස්, සෝමාවතිය, නිල්ගල මෙන්ම උත්රේ හා නැගෙනහිර ආදී වශයෙන් රටපුරා පැවති විවිධ වන විනාශයන්, පාරිසරික විනාශයන් දකිමින් එහි සැබෑ වගඋත්තරකරුවන් හෙලි දරව් කිරීමට කටයුතු කළේ නැත.
සමස්තයක් ලෙස පාරිසරික විනාශයේ ප්‍රතිඵල සමාජයට අහිතිකර නිසා එහි අවසානයක් වෙනුවෙන් ක්‍රියාත්මක වනු වෙනුවට ජාතිවාදී දේශපාලන ව්‍යාපාර වෙත වාසිදායක උද්ඝෝෂන මේ හරහා සංවිධානය වූ අතර ඒ අනුග්‍රාහකත්වය මෙන්ම වෙනත් වංචනික ක්‍රම හරහා ශක්තිමත් වී දේශපාලන බලයට පත් වූ වත්මන් ගෝඨාභය රාජපක්ෂ පාලනය විසින් සිදුකරන ඉඩම් කොල්ලය, වන සම්පත් බහුජාතික ප්‍රාග්ධනයට පැවරීම හෝ සාගරය තුළ සිදු කළ මහා විනාශයන් සම්බන්ධ කිසිදු හඩ නැගීමක් නැත.
මේ වන විට බහුජාතික සමාගම් වෙත වන සම්පත්, රජයේ ඉඩම් හා පරිසර සම්පත් කොල්ල කෑමට, ආණ්ඩුව විසින් සකස් කරමින් පවතින සැලසුම්, නීති සංශෝධන හා කුමන්ත්‍රණකාරී පියවර මේ පරිසර ජාතිකවාදීනගේ අවධානයට ලක් නොවන අතර ඇතැම් විට ඒවා සාධාරනිකකරණය කිරීමට පවා ඔවුන් ඉදිරිපත් වේ.

පාරිසරික ප්‍රතිසංස්කරණවාදය(Environmental Reformism)
පරිසර විනාශය වැළැක්වීමට නීතිමය ක්‍රම භාවිත කරමින් ප්‍රතිසංස්කරණ හරහා කටයුතු කළ යුතු බව අවධාරනය කරමින්, සත්‍ය තත්වය යටපත් කරන මතවාදයකි.
පරිසරය විනාශ කිරීමේ ක්‍රියාදාමය ලෝක පරිමාණයෙන් සිදුවන සමාජ ආර්ථික දේශපාලන ක්‍රියාදාමයක කොටසක් බව පිළිගැනීම ඒමගින් ප්‍රතික්ෂේප කෙරේ. වසර දශක කිහිපයක් පුරා පරිසර විනාශයන් වැලැක්වීමේ අරමුනින් කියොටෝ සම්මුතිය, පැරිස් සම්මුතිය ඇතුලු ගිවිසුම් මෙන්ම ක්‍රියාමාර්ග ගණනාවක් නොතකා හරිමින් ලාභ ලැබීමේ ඉලක්ක පසුපස හඹා යාමේදී මිහිතලයේ ජීවින් විනාශය කරා ගෙන යාමේදී, ලෝක අධිරාජ්‍යවාදී රාජ්‍ය පද්ධතියේ වගකීම නොසළකා හුදු රටක නීති වෙනස් කිරීමකින්, පරිසරය වනසන පුද්ගලයන් හෝ සමාගම්, අධිකරණය හමුවට කැඳවීම මගින් මේ විනාශයන් නවත්වා දැමීම (එසේ කළ හැකි යයි උපකල්පනය කරමින්) මෙමගින් යෝජනා කරයි.

පරිසරවාදය මානවවාදයක් කරා
මේ වනවිටත් වැළැක්විය නොහැකි මහා විනාශයක් පිළිබඳ පුරෝකථන සිදුවෙමින් තිබියදී, අප පරිසර විනාශය සළකා බැලිය යුතු වන්නේ ලෝකයේ පාරිසරික විනාශයන් සම්බන්ධ පවතින සත්‍යයන් සැළකිල්ලට ගෙන බවත් විනාශයේ ඇත්ත හේතු වෙනස් කිරීමෙන් මිස ‘විනාශය නවතා ලීම’ කෙසේවෙතත් පාලනය කිරීමවත් කළ නොහැකි බව වටහා ගත යුතුව ඇත.
ලෝකයේ අද පවතින ලාභ ඉපදවීම වෙනුවෙන් පරිසරය පරිභෝජනය කරන නව ලිබරල් ආර්ථිකය, පරිසර ගැටලුව පමණක් නොව, මිනිස් පැවැත්ම තර්ජනයට ලක් කරන තවත් ගැටලු ගණනාවක හේතුව වේ.
1 පරිසර විනාශය මිනිස් පැවැත්මට තර්ජනයක් බවට පත් කළේ නවලිබරල් ධනවාදයයි.
2 කොරෝනා ව්‍යාප්තියේ සැබෑ වගඋත්තරකරුවා නවලිබරල් ධනවාදයයි.
3 වරින්වර ලෝකය තුළ ආර්ථික අර්බුද ඇතිකර ජනතාව විවිධ මට්ටමෙන් පීඩාවන්ට පත් කිරීමට හේතුවන්නේ නවලිබරල් ධනවාදයයි.
4 ණය අර්බුදයක් ඇතිකරමින් ලෝකය අද වොලගෙන පවතින මහා පරිමාණ ආර්ථික අර්බුදය නවලිබරල් ධනවාදයේ ප්‍රථිපලයකි.

කොරෝනා වසංගතය තුළ පරිසරය කෙසේද?
වසංගතය ආරම්භයේ නගරවල කාර්මික ක්‍රියාදාමය නැවතීම නිසා කාර්මික වායු නිකුත්වීම නතරවීමෙන් ඇති කළ තත්වය හා ජනාවාස වෙත වනසතුන් පැමිණීම ගැන කෙරුණු උත්ප්‍රාසවත් වර්ණනා හා සමාන්තරව මිනිස් ජීවිත පැවැත්ම සම්බන්ධ අවදානමක් තුළ පවා වඩා යහපත් අපේක්ෂා ඇති කරවීය. නමුත්, ඉන් පසුව නැවත නගර විවෘතවීමෙන් හා කර්මාන්ත හාලා මුල්කරගත් ආර්ථික කටයුතු ආරම්භ වීමෙන් අප ජීවත් වන ලෝකය පිළිබඳ සැබෑ තත්වය අපට සිහිපත් කර දී තිබේ.

කොරෝනා වසංගතයේ ව්‍යාප්තිය පාලනය කිරීමට අසමත්වීම සම්බන්ධ ප්‍රශ්නය වුවද සෞඛ්‍ය පිළිවෙත් අනුව කටයුතු කිරීම වෙනුවට ආර්ථික කටයුතු, ලාභය පිනිස කටයුතු කිරීම නිසා ඇතිව තිබෙන තත්වයකි. එක්සත් ජනපදය, කොරෝනා වසංගතයෙන් වැඩිම හානියක් ලැබුවේ මුල් අවස්ථාවේම රට වසා දමන්නට විශේෂඥයන් දුන් උපදෙස් නොතකා ආර්ථිකය පවත්වා ගෙන යාම වෙනුවෙන් හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කළ මැදහත්වීමේ ප්‍රතිඵලයක් ලෙසය.

ලංකාවේදී පළමු ව්‍යාප්තිය සඳහා හේතු වූයේද ආර්ථික කටයුතුවලට හා දේශපාලන බලය වෙනුවෙන් මැතිවරණ පැවැත්වීමට මුල් තැන දී සෞඛ්‍ය ආරක්ෂාව දෙවැනි තැනට දැමීමට ගෝඨාභය රාජපක්ෂ පාලනය විසින් ගත් වැරදි තීරණවල ප්‍රතිඵලයක් ලෙසය. අනතුරුව ඇරඹුනු කොරෝනා රැලිවල ඇත්ත හේතුව වූයේද ආර්තිකය පවත්වා ගෙන යාමට රට තුළ දුන් ප්‍රමුඛතාව නිසා කම්හල්වල සේවක පිරිස් කොරෝනා ව්‍යාප්තවීමේ වාහකයන් වීම, සංචාරකයන් හා විදේශවල සිට පැමිනෙනවුන් සම්බන්ධ වසංගතයට අවශ්‍ය ලෙස මැදිහත් වෙමින් සෞඛ්‍ය පිළිවෙත් ක්‍රියාත්මක කිරීම හා අවශ්‍ය වියදම් නොදැරීමේ හේතු නිසාය.

වසංගතයේදී මෙන්ම ආර්ථික අර්බුදයේදී ජනතාව මහත් පීඩාවට ගොදුරු කරන නවලිබරල් ධනවාදයේ පැවැත්ම පිළිබඳ කෘර සත්‍යයන් වටහා ගැනීමට සරළ නිදසුන් කිහිපයක් අවධානයට ගත හැකිය. (මේ සම්බන්ධ සුලභව ඇති සංඛ්‍යාලේඛන සාක්ෂි ගෙන හැර පෑම වෙනුවට තත්වය සරලව පැහැදිලි කිරීම මෙහිදී සිදු වේ.)

එක් රටක මිලියන ගණන් ජනතාව කොරෝනා වසංගතයට මුහුණ දීමට අවශ්‍ය සෞඛ්‍ය පහසුකම්, මුහුණු ආවරණ හෝ අවම වශයෙන් ජීවත්වීමට අවශ්‍ය ආහාර පවා නොමැතිව සිටියදී ඒ රටේම බිහිවන බිලියනපතියන් ඉහළම ආදායම් වාර්තා තබමින්, උසස් නිවාස පහසුකම්, නවීන පන්නයේ රථවාහන, අති නවීන තාක්ෂණික මෙවලම් පරිහරණය කිරීම දක්නට ලැබේ.
ලෝකයේ අති නවීන පහසුකම් හා ඉහළම ආදායම් මත රජකරන අධිරාජ්‍යවාදී බලවතුන් ලෙස රටවල් කිහිපයක් පවතින අතර ඒ රටවලම සාමාන්‍ය වැසියන්ට දිනපතා ඩොලරයක් දෙකක් උපයාගෙන යැපෙන්නට තරම් ආර්ථික හැකියාවක් නොමැති තත්වයක් ඇත.

මේ පසුබිම තුළ ඇතැම් රරටවල බිලියනපතියන් විසින් සාමාන්‍ය වැසියකුට සිතිය නොහැකි තරම් මුදලක් වැය කරමින් අභ්‍යාවකාශ ගමන් සිය විනෝද චාරිකා ලෙස සිදුකරමින් පවතී.

පරිසරයේ මෙන්ම මිනිස් පැවැත්මේ සැබෑ සතුරා
මේ නිසා පාරිසරික විනාශයන් ඇතිකරන නවලිබරල් ධනවාදයේ පැවැත්ම පවා මිනිස් සමාජයේ පැවැත්මට සතුරු තත්වයකි. ලංකාවේදී නවලිබරල් ධනවාදය විසින් පරිසර විනාශයට හේතුවන අත්දැකීම් ගණනාවක් අතර සරල නිදසුන් සළකා බලන විට මෙවැනි අත්දැකීම් හමුවේ.
කැලනි ගංගා ඉවුරේ පදිංචි ජනයා සිය දෛනික ජීවිතයේදී ගං ජලයට එකතු කරන ද්‍රව්‍ය(ඉඳුල්, සබන්, මළ ද්‍රව්‍ය, සුලු ප්‍රමාණයක් ප්ලාස්ටික්) හා ගං ඉවුරේ කම්හල්වලින් ටොන් ගණනින් දැවැන්ත නළ මගින් නිකුත් කරන රසායනික අපද්‍රව්‍ය ප්‍රවාහය සැසඳිය නොහැකිය.

මේ තත්වය නිසා වෙනස් කළ යුත්තේ නීති පමණක් නොව, ලාභය පසුපස හඹා යන සමාජ ආර්ථික ක්‍රමය ද වෙනස් කළ යුතුව ඇත. මිනිස් පරිභෝජනය වෙනුවෙන් නොව, බලහත්කාරයෙන්, වෙලඳ දැන්වීම් මගින් ප්‍රවර්ධනය කරන භාණ්ඩ පමණක් නොව, මිනිස් ජීවිතය හා පාරිසරික සම්පත් ලාභය පිණිස යොදවන නවලිබරල් ධනවාදය වෙනුවට, මිනිස් අවශ්‍යතා වෙනුවෙන් නිෂ්පාදනය කරන මිනිස් සමාජය වෙනුවෙන් පාරිසරික, ආර්ථික සාධක සලකා බලන නිෂ්පාදන ක්‍රමයක් අවශ්‍ය වේ.
මේ නිසා, පොළෝ තලයේ ජීවි පැවැත්මේ විනාශය කර යන මේ ගමන, හුදු පරිසර ගැටලුවක් නොව, ලෝක පරිමාණයේ සමාජ ආර්ථික දේශපාලන ගැටලුවක් ලෙස සළකා පිළියම් යෙදිය යුතුය.

මුලු මහත් මිනිස් සමාජය ම මේ විනාශය‍ වැළැක්වීම සඳහා යොමු කරගැනීම වෙනුවට,
බහුජාතික සමාගම් විසින් ලාභය පිණිස වනාන්තර විනාශය, හරිතාගාර වායු නිකුත් කිරීම, මිනිස් සමාජයට අවශ්‍ය නොවන පාරිභෝගික භාණ්ඩ මහා පරිමාණයෙන් නිෂ්පාදනය කිරීම වැනි විනාශකාරී තත්වයන් අහෝසි කිරීම වෙනුවට
විවිධ පටු සීමාවන් තුළ හිඳිමින් අඳුරේ අතපත ගෑමට අපට නොහැකිය. ඒ නිසා හුදු පරිසර ප්‍රේමය(Romance with Environment) වෙනුවට දැනුවත් මිනිස් ක්‍රියාකාරිත්වයක්(Concious Resistance) තුළ ස්වභාවික ජෛව ලෝකය, මිනිස් සමාජය යන සියල්ල පවතින අන්‍යෝන්‍ය ආරක්ෂාව හා පැවැත්ම සලසා ගන්නා සමාජ දේශපාලන ක්‍රියාකාරිත්වයක්(Socio-Political Movement) උදෙසා පෙළ ගැසීම අද දවසේ අවශ්‍යතාව වේ.

-චන්දන සිරිමල්වත්ත
2021 අගෝස්තු 19