தமிழ்
English
Contact
Monday 8th March 2021    
රඹකැන් ඔය ඉඩම් අක්කර 2750ක් පෞද්ගලික සමාගම්වලට ලබාදීමට කැබිනට් අනුමැතිය | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

රඹකැන් ඔය ඉඩම් අක්කර 2750ක් පෞද්ගලික සමාගම්වලට ලබාදීමට කැබිනට් අනුමැතිය



බඩඉරිඟු මෙට්‍රික් ටොන් 250,000ක් නිෂ්පාදනය කිරීම සඳහා රඹකැන් ඔය ඉඩම් අක්කර 2,750 ක් ආයෝජකයින්ට වසරක කාලයක් සඳහා බදු දීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය විසින් පාලනය කරනු ලබන මෙම රඹකැන් කලාපයේ ඉඩම් දේශීය ආයෝජකයින්ට වසරක කාලයක් සඳහා ලබාදීම සඳහා වාරිමාර්ග අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර ඇති බව කැබිනට් තීරණ දැනුම් දීමේදී සඳහන් කෙරී තිබේ.

රඹකැන්ඔය මහවැලි කලාපය ලෙස ප‍්‍රකාශයට පත්කර තිබෙන භූමි ප‍්‍රදේශයේ අලි – ඇතුන් ඇතුළු ජෛව ප‍්‍රජාවගේ රැුකවරණය සඳහා හා රඹකැන්ඔය ජලාශයේ හා මුන්දෙනිආරු ජලාශයේ ජල පෝෂක ප‍්‍රදේශ ලෙස සංරක්ෂණය කළ යුතු ව ඇති වනාන්තර හා තෘණ භූමි මේ ආකාරයෙන් සමාගම්වලට ලබා දීම මගින් අලි – මිනිස් ගැටුම උග‍්‍රවීම පමණක් නොව මෙම ජලාශ දෙක මගින් ජලය ලබා දීමට සැලසුම් කළ ප‍්‍රදේශ වල ජනතාව ජල හිඟය හේතුවෙන් දැඩි පීඩනයකට ලක්වනු ඇති බව පරිසරවේදීන්ගේ අදහසයි. එසේම මෙම ඉඩම් මහවැලි අධිකාරියට අයත් වුවත් ඒවායෙහි ඇති වනාන්තර ප්‍රදේශ එළිපෙහෙළි කිරීම පාරිසරික පනත් කිහිපයක් උල්ලංඝණය කිරීමක් බව ද පරිසරවේදීන් වැඩිදුරටත් පවසා තිබුණි.

රඹකැන් ඔය සිදුවන වන විනාශයට එරෙහිව එම ප්‍රදේශයේ ජනතාව, ආදිවාසීන් සහ පරිසරවේදීන් විසින් සිදුකරන ලද අරගලයක ප්‍රථිපලයක් ලෙස මෙම විනාශය යම් තරමකට නැවතී තිබුණද ආණ්ඩුව නැවතත් එය නොතකා කටයුතු කිරීමට උත්සාහ ගන්නා බව පෙනේ.