Posted on 01.27.2021 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
2005 – 2010 සමයේ මාධ්‍යවේදීන් ඝාතනයට හා අතුරුදන් කිරීමට ලක්වූවද ඒ සම්බන්ධ වගකිවයුතු අපරාධකරුවන් සම්බන්ධ නීතිමය පියවර නොගැනීම නිසා මුලු සමාජයම නිදැල්ලේ පසුවන අපරාධකරුවන් පිළිබඳ අවදානමකට පත්ව ඇති බව නැගෙනහිර මාධ්‍යවේදියෝ පවසති.
මහින්ද රාජපක්ෂ පාලන සමයේදී උතුරේත් දකුණේත් ඝාතනය වු සහ අතුරුදහන්වු මාධ්‍යවේදීන් හා මාධ්‍ය සේවකයන් සංඛයාව ගණන 44 ක් වුවද ඉන් එක් අයකුගේ හෝ ඝාතන සම්බන්ධව කිසිදු සිදුවීමක් සම්බන්ධව මේ දක්වා අපරාධකරුවන් දණ්ඩනයට හෝ විධිමත් නීතිමය ක්‍රියාදාමයකට නතුකර නැත.
මාධ්‍යවේදීන් ඉලක්ක කොට කෙරෙන හිංසා පීඩා තවමත් නතර වී නොමැති බව පෙන්වා දෙමින් මාධ්‍යවේදීන් ඉලක්ක කරගත් අපරාධ සිදුවී වසර 10කටත් වැඩි කාලයක් ඉක්ම ගොස් ඇතත් ඉන්පසුව පත් වූ සියලු ආණ්ඩු යටතේ එම අපරාධ සම්බන්ධ නීතිය ක්‍රියාවට නැගීමට සමත් වී නැති බව ඔවුහු පෙන්වා දෙති. මාධ්‍ය ආයතනවලට බෝම්බ ප්‍රහාර එල්ල කිරීම, මාධ්‍ය සේවකයන් පැහැරගෙන යාම, මරාදැමීම, අතුරුදන් කිරීම ආදියට සම්බන්ධ සංවිධානාත්මක අපරාධකරුවන් නිදැල්ලේ සිටීම හේතුවෙන් මේ වන විටත් සමස්ත ලාංකීය සමාජය ආනරක්ෂිත බවද ඔවුන්ගේ අදහසයි. පසුගිය මහින්ද රාජපක්ෂ පාලනය සමයේ ඝාතනයට හා මර්දනයේ පීඩාවට ලක් වු සියළු මාධ්‍යවේදීන් වෙනුවෙන් යුක්තිය ඉටු කළ යුතු බව නැගෙනහිර මාධ්‍යවේදීන් වත්මන් ගෝඨාභය රාජපක්ෂ පාලනයට බල කර සිටී.
සිසු දරුවන් පස් දෙනකු මරා දැමීම පිළිබඳව ලොවට හෙළි කිරීම නිසා ඝාතනය කෙරුණු සුබ්‍රමනියම් සුගීදරාජන් මාධ්‍යවේදියාගේ 15වැනි ගුණානුස්මරණය මඩකලපුව කාර්තිව්හිදී පැවති අවස්ථාවේ මෙම කරුනු අවධාරනය කෙරිණි.
අම්පාර හා මඩකලපුව මාධ්‍ය සමාජයත්, මඩකලපුව දෙමළ මාධ්‍යවේදී සංගමයත් සුඩර් ඔලි හා උදයන් වාර්තාකරුවකු වූ මෙම මාධ්‍යවේදියාගේ අනුස්මරණය සංවිධානය කර තිබිණි.
අධි ආරක්ෂක කලාපයක පිහිටි ත්‍රිකුණාමලේ ආණ්ඩුකාර කාර්යාලය අබියස සිය නිවස ආසන්නයේ සුබ්‍රමනියම් සුගීදරාජන් වෙඩි තබා මරා දමා තිබුනේ 2006 ජනවාරි 24 දාය. ‘රාජන්’ නම් ජනප්‍රිය හැඳින්වීම හිමි සුගීදරාජන් ඝාතනය කරන ලද්දේ ත්‍රිකුණාමලයේදී මරා දමන ලද සිසුන් පස් දෙනකුගේ ඝාතනයට රජයේ ආරක්ෂක අංශ වග කිව යුතු බවට ප්‍රබල සාක්ෂි දැක්වෙන ඡායාරූප පළ කිරීමෙන් අනතුරුවය. ෂන්මුගරාජා ගජේන්ද්‍රන්, ලෝගිදරාජා රෝහන්, තංගදුරෙයි සිවානන්දා, යෝගරාජා හේමචන්ද්‍රන් හා මනෝහරන් රජිහර් 2006 ජනවාරි දෙවැනිදා මියගියේ බෝම්බ ප්‍රවාහනය කරමින් සිටිය දී ඒවා පුපුරා යාමෙන් බවට ආණ්ඩුව සහ ආරක්ෂක අංශ ශ්‍රී ලංකාවේ අධිපති මාධ්‍ය ඔස්සේ ගෙනගිය ප්‍රචාරය බොරු කරන්නට රාජන්ගේ ඡායාරූප සමත් විය. එම හෙළිදරව්ව නිසා පලිගැනීමක් ලෙස සිදුකළ සුගිදරාජන් ඝාතනයට අවුරුදු 4පිරෙන දින එනම් 2010 ජනවාරි 24 වැනිදා පැහැරගෙන යන ලද මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අද වනතුරු අතුරුදහන්ය.
පසුගිය වසරක කාලයක් තුළ උථුර හා නැගෙනහිර මාධයවේදීන් සිය වෘත්තියමය කාර්යයන්හි යෙදීමේ වරදට තර්ජනයට හා මර්දනයට ලක් වෙමින් සිටින බවද මෙම අනුස්මරණ අවස්තාවේ අවධානයට ගනු ලැබිණි. 2020 ජනවාරි මාසයේදී තමිල් බසින් කටයුතු කරන මාධ්‍යවේදීන්ට මරණ තර්ජන රැගත් අත්පත්‍රිකා මඩකලපුව තමිල් මාධ්‍ය සංගම් කාර්යාලයට දමා තිබුණි. එම පත්‍රිකාවේ ‘සන්ඩේ ලීඩර්’ පුවත් පතේ හිටපු කතෘ ලසන්ත වික්‍රමතුංග අනුස්මරණය සඳහා සංවිධානය කළ අවස්ථාවක ගන්නා ලද ඡායාරූපයකට සහභාගී වු තමිල් මාධ්‍යවේදීන්ගේ මුහුණු රවුම් කර ඔවුන්ට තර්ජනය එල්ල කර ඇත්තේ මෙසේය.
“මේ තමයි, විදේශ රටවල කොටින්ගෙන් මුදල් එන වාර්තාකරුවන්. ඉක්මනින්ම උන්ටත් මරණ දඬුවම ලැබෙනවා.”
මේ ආකාරයට මරණ තර්ජනයට හා වෙනත් හිරිහැරයන්ට ලක්ව ඇති මාධ්‍යවේදීන් වන්නේ ස්වාධීන රූපවාහිනියේ ක්‍රිෂ්ණකුමාර්, ලංකා ශ්‍රී ආයතනයේ සෙල්වකුමාර් නිලන්තන්, සිරස රූපවාහිනියේ පුන්‍යමුර්ති ෂශීකරන්, ශක්ති නාළිකාවේ කුහර්ෂ සුපෝජන් හා නල්ලතම්බි නිත්‍යනාදන් මෙන්ම තිනකුරල් පුවත් පතේ වඩිවෙල් ශක්තිවේල් සහ සුබ්‍රමනියම් කුනලිංගම් ය.