தமிழ்
English
Contact
Tuesday 30th November 2021    
රැකියා විරහිත උපාධිධාරීන් දේශපාලන සෙල්ලමට ගැනීම ගැන රැකියා විරහිත උපාධිධාරීන්ගේ විරෝධය! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

රැකියා විරහිත උපාධිධාරීන් දේශපාලන සෙල්ලමට ගැනීම ගැන රැකියා විරහිත උපාධිධාරීන්ගේ විරෝධය!



රැකියා විරහිත උපාධිධාරින් වසංගත තත්වය යටතේ සේවයට කැඳවීම සහ ඔවුන් දේශපාලන අරමුණු මත මුලාකිරීම සම්බන්ධ ආණ්ඩුවේ පිළිවෙත ප්‍රශ්න කරමින් ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමය, ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය වෙත ලිපියක් යවා ඇත.

ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමයේ කැඳවුම්කරු තැන්නේ ඥානානන්ද හිමි විසින් අද (08) රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් වෙත යොමු කළ මේ ලිපිය, ජනාධිපතිවරයාට මෙන්ම අගමැතිවරයාට සහ ජනාධිපති ලේකම්ටද පිටපත්කර ඇත.

එම ලිපිය සම්පූර්ණයෙන් මෙසේය.

”අපි සංගමයක් ලෙස දිගින් දිගටම ආණ්ඩුවේ බලධාරින්ට අවධාරණය කළේ මැතිවරණයට පෙර සියලූ උපාධිධාරීන් රැකියා ගත කරන ලෙස යි. ජනාධිපතිවරයා ද ප්‍රකාශ කොට තිබුණේ 2020 ජනවාරි 01 වැනි දා පත්වීම් ලබා දෙන බවයි.

එහෙත් එය පසුව ජනවාරි 15 යැයි ප්‍රකාශ කෙරිණි. පසුව එය පෙබරවාරි දින ගණන් දක්වා කල් යැවිණි. පෙබරවාරි අග දක්වා ද මේ තත්ත්වය දිග්ගැස්සුනු විට ආණ්ඩුවේ සැලසුම තවත් පැහැදිලි විය.

එනම් මැතිවරණ කොමිසම විරුද්ධ වන බව දැන දැනත් උපාධිධාරින් කොටසකට පත්වීම් ලිපි තැපෑලෙන් යොමු කිරීමයි. අවසානයේ සිදු වූයේ අපි ජනවාරි 15 දී පවා පුරෝකථනය කළ පරිදි මැතිවරණ කොමිසම පත්වීම් ලබා දීමේ ක්‍රියාවලිය නවතාලීමට මැදිහත් වීමයි.

තවද ඒ මොහොතේ පවා බලධාරීන් කොමිසම පිට වරද පටවා අත පිසදා ගැනීමට උත්සුක වූවා මිස උපාධිධාරීන් පත් වූ වියවුලට පිළියම් සෙවීමට මැදිහත් වීම මන්දගාමී විය.

එම තත්ත්වය යටතේ සුදුසුකම් සැපිරූ සැලකිය යුතු උපාධිධාරීන් කොටසකට පත්වීම් ලිපි හෝ නොලැබුණි. එමෙන්ම ජනාධිපති ලේකම් කාර්යාලය මැදිහත් වී රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය හරහා ප්‍රසිද්ධියට පත් කළ තෝරාගත් උපාධිධාරීන්ගේ නාම ලේඛනය තුළ ද විශාල අඩුපාඩුකම් තිබිණි.

සමහර පත්වීම් ලිපි ලද උපාධිධාරීන්ගේ නම් පවා එම නාම ලේඛනයට ඇතුළත් වී නොතිබීමෙන් එහි අක්‍රමවත් බව පෙනෙයි. තවත් උපාධිධාරීන් කොටසකගේ නම් එම නාම ලේඛනයේ තැන් කිහිපයක සදහන්ව තිබිණි. පත්වීම් ලිපි තැපෑලෙන් යොමු කිරීමේ දී ද මෙවැනි අවිධිමත්කම් ගණනාවක් සිදු වූ බව අප විසින් දිගින් දිගටම පෙන්වා දෙන ලදි.

ඉන් කිහිපයක් ලෙස හිස් ලිපි කවර තැපැල් කොට තිබීම, ලිපි කවරයේ සදහන් ලිපිනය හා පත්වීම් ලිපියේ සදහන් නම් – ලිපිනයන්වල වෙනස්කම් පැවතීම දැක්විය හැකි ය. එහෙත් අදාළ බලධාරින්ගෙන් මේ පිළබදව විමසූ විට අප වෙත ප්‍රකාශ කළේ පත්වීම් ලිපි සම්බන්ධ ක්‍රියාවලිය තෙවරක් විධිමත්ව අධීෂණය කළ බව යි.

අප එය තහවුරු කොට ප්‍රතිෂේප කළේ ඒ වන විටත් මතුව තිබූ ව්‍යාකූලතා පැහැදිලිව පෙන්වා දෙමිනි. කෙසේ වුවත් සියලූ උපාධිධාරින්ට කඩිනමින් පත්වීම් ලබා දිය හැකි නම් වහා එම පත්වීම් ලබා දිය යුතු බව අපගේ ස්ථාවරය යි.

මේ අතර 2020/04/07 (ඊයේ) අග්‍රමාත්‍යවරයාගේ ප්‍රකාශය තුළින් නැවත උපාධිධාරීන් රැකියා සදහා කැදවන බව අවධාරණය කෙරිණි. එසේ නම් අවම තරමින් පත්වීම් ලිපි ලබා දී උපාධිධාරීන් රැකියා ගත කිරීම සම්බන්ධව මැතිවරණ කොමිසම හා රජය සාකච්ඡා කොට අවසන් තීරණයකට එළඹිය යුතුය. එසේ නොමැතිව ආණ්ඩුවේ මෙම ක්‍රියාකලාපයෙන් තවදුරටත් සිදුවන්නේ උපාධිධාරියා පඹගාලක පටලැවීම යි.

මේ තත්ත්වය වඩා සැලකිල්ලට ගැනීම මේ මොහොතේ ඉතා වැදගත් යැයි වගකිව යුතු සංවිධානයක් ලෙස අපි සිතමු. විවිධ චක්‍රලේක පසුගිය දින කිහිපයේ ද නිකුත් වුවත් ඒවායින් උපාධිධාරීන්ට හෝ රටට වූ සෙතක් නොමැති බව ඇස් පනාපිට පෙනෙන්නට තිබිය දී තවදුරටත් එකම දේ නැවත නැවත සිදු කරමින් බලධාරින් සෙල්ලම් කරනුයේ උපාධිධාරීන්ගේ ජීවිත සමග බව නැවත සිහිපත් කරමු.

මේ වන විටත් උපාධිධාරීන් කරමින් සිටි තාවකාලික හා අවිධිමත් රැකියාවලින් ඉවත්ව – අභ්‍යාසලාභී පුහුණුව සඳහා ඔවුන් අයදුම් කර ඇත. අවසානයේ අල්ලා සිටි අත්ත සේ ම පය ගැසීමට සිටි අත්ත ද අහිමිව උපාධිධාරීන් කබලෙන් ලිපට වැටී ඇත. කොටසකට පත්වීමි ලිපි ලැබී ඇත. කොටසකට පත්වීම් ලිපි ලැබී නොමැත. තවත් කොටසකගේ නම් ප්‍රසිද්ධ නාම ලේඛනයේ සදහන්ව ඇත. කොටසකගේ නම් සදහන්ව නොමැත. තවත් කොටසකගේ නාම ලෙඛනයේ නමත් නැත. පත්වීම් ලිපිත් නැත. මේ තත්ත්වය මත රජය ප්‍රකාශ කරන වැඩපිළිවෙළ කුමක් දැයි අපි ප්‍රශ්න කරමු.

එසේ නම් කඩිනම්ව කළ යුත්තේ සුදුසුකම් සැපිරූ එහෙත් පත්වීම් ලිපි නොලද උපාධිධාරීන්ට වහා පත්වීම් ලිපි යොමු කිරීම ය. ඒ සියල්ලට පෙර සිදුවිය යුත්තේ පත්වීම් ලිපි ලබා දීම සම්බන්ධව මැතිවරණ කොමිසම සහ බලධාරීන් සාකච්ඡා කොට අවසන් තීරණයක් ගැනීමය.

අපි බලධාරින්ගෙන් ඉල්ලා සිටින්නේ සියලූ උපාධිධාරීන්ගේ වගකීම රජය බැරෑරුම්ව ගෙන සියලූ රැකියා විරහිත උපාධිධාරීන් රැකියා ගත කිරීමට අදාළ මැදිහත් වීම කඩිනම් කරන ලෙස යි. එමෙන්ම මෙවැනි පිරිසක් පවතින වසංගත තත්ත්වය තුළ සක්‍රීය රාජ්‍ය සේවයට කැදවන්නේ නම් ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරින්ගේ උපදෙස් හා නිර්දේශ සැලකිය යුතු බවත් අවධාරණය කරමු”.