தமிழ்
English
Contact
Friday 6th December 2019    
රොහාන් ගුණරත්නටත් ඇත්ත කියන්න වෙනවලු! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

රොහාන් ගුණරත්නටත් ඇත්ත කියන්න වෙනවලු!



අප්‍රේල් 21 වැනිදා සිදුවීම් සම්බන්ධයෙන් ආණ්ඩුවේ නායකයන් වෙත ඍජුව චෝදනා කරමින් සන්නද්ධ දේශපාලන තොරතුරු සම්බන්ධ විශ්ලේෂකයකුවන රොහාන් ගුණරත්න පවසන්නේ තමන්ට ඇත්ත කියන්න සිදුවන බවය.

මේ වනවිට සිංගප්පූරුවේ නැන්යං තාක්ෂණික විශ්වවිද්‍යාලයේ ‘දේශපාලන ප්‍රචණ්ඩත්වය හා ත්‍රස්තවාදය පිළිබද පර්යේෂණායතනයේ‘ මහාචාර්යවරයකු ලෙස කටයුතු කරන රොහාන් ගුණරත්න පවසන්නේ නායකත්වයේත් සාමූහික වගවීමේ දුර්වලතාව අප්‍රේල් 21 ප්‍රහාරයට ප්‍රධාන හේතුවක් බවය. ඊයේ(20) කොළඹ පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය. කලක් ලංකාවේ දේශපාලන අරගලවලදී ආණ්ඩුවට පක්ෂපාති මත සම්පාදකයකු හා සන්නද්ධ අරගල මර්දනය කිරීමේදී උපදේශකයකු ලෙස කටයුතු කිරීමේ ප්‍රවීණත්වයක් ලබා සිටින මහාචාර්යවරයා, IS සංවිධානය සම්බන්ධයෙන් 2003 පළ කළ කෘතියට අමතරව, 1987-89 ජ.වි.පෙ අරගලය සම්බන්ධයෙන්ද උතුරේ අරගලය සම්බන්ධයෙන්ද ලියූ කෘති කිහිපයකි.

මහාචාර්ය රොහාන් ගුණරත්න සම්මන්ත්‍රණයේදී සිය අදහස් දක්වමින් වැඩිදුරටත් මෙසේ පැවසීය.

“සහරාන්ගේ කණ්ඩායම සහ IS සංවිධානයට අනුබද්ධ ජාලය ගැන නිරීක්ෂණය කරන්න බැරිවුණේ ඇයි කියන කාරණාව ගැන පැහැදිලි කරන්න මට ඉඩදෙන්න. 2015 දී මේ ආණ්ඩුව බලයට පත්වුණාම මාර්ග බාධක සහ ආරක්ෂක මුරපොළ ඉවත් කළා. ඔවුන්ට එය නොකර ඉන්න තිබුණා.මොකද පුනරුත්ථාපනය කරන ලද ත්‍රස්තවාදීන් 11,500ක් මේ රටේ ඉන්නවා ඒ නිසා ආරක්ෂක සහ බුද්ධි අංශ ශක්තිමත්ව තබා ගැනීම අවශ්‍යයි.

සෑම ගමක් නගරයක් මාර්ගයක් ආවරණය වන පරිදි බුද්ධි අංශ ජාලයක් තිබුණා. නමුත් ඒ ආරක්ෂක සහ බුද්ධි අංශ අඩපණ කළා. ඊළඟට කරුණ ආරක්ෂක අංශ නිලධාරීන්ට බැරැක්කවලට යන්න කිව්වා.  එය විශාල අත්වැරැද්දක්. ජනතාව සහ ආරක්ෂක අංශ අතර සම්බන්ධතාව රට ආරක්ෂා කරනවා. නමුත් සාමාන්‍ය ජනතාව අතර එය බිඳවැටුණා. ඇතැම් විට බටහිර රටවලට සහ සුළු  ජාතික දේශපාලන පක්ෂවල උවමනාව එය වෙන්න ඇති.

මේවා අත්වැරදීම් කවදාවත් නොකර ඉන්න තිබුණා. සහරාන්ගේ කණ්ඩායම ගැන ලොකු අවබෝධයක් දක්ෂ සහ පළපුරුදු තිබුණු මුස්ලිම් ජාතික හමුදා නිලධාරියෙක් විදෙස් ගත කළා. 5000 ක් පමණ ඉන්න බුද්ධි අංශ ජාලය අකර්මණ්‍ය කළා. රටේ ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කළ පරිසේ සතු නොබිඳිය හැකි ශක්තිය බිඳදැමුණා. එය  සාමුහික වගකීමේ දුර්වලතාවක්. නිරන්තරයෙන් ජාතික ආරක්ෂාවේදී ඔබට බුද්ධි අංශ ගොඩනගන්න සිදුවෙනවා.

අනිත් අයට සිද්ධ වෙනවා ඒ බුද්ධි අංශ තොරතුරු මත වැඩ කරන්න එසේ වැඩ නොකිරීම අපරාධයක්. පාස්කු ඉරිදා ප්‍රහාර සිදුවීම බුද්ධි අංශ වල දුර්වලතාවක් නොවෙයි. ඒක ක්‍රියාත්මක වීම පිළිබඳ ප්‍රශ්නයක්. දේශපාලකයෝ ජාතික ආරක්ෂාව එක්ක සෙල්ලම් කළා මට ඇත්ත කියන්න සිදුවෙනවා.“

මේ ආකාරයට ඔහු ආණ්ඩුවට චෝදනා එල්ල කිරීමට පෙර අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් සිය පළමු අදහස් දැක්වීමේදීම එය IS සංවිධානයේ දේශීය හස්තයක් විසින් සිදුකළ බවට නිගමනයක් ඉදිරිපත් කර තිබිණී. IS සංවිධානය සාමාන්‍යයෙන් සිදුකරන ආකාරයට ප්‍රහාරයේ වගකීම එය සිදුව මිනිත්තු කිහිපයක සිට පැය කිහිපයක් තුළ භාරගෙන තිබුණේ නැත. කිසිදු මූළික විමර්ශනයකින් තොරව රොහාන් ගුනරත්න එහි වගකීම IS සංවිධානයට බැර කිරීමද සුවිශේෂී වේ.

මහාචාර්යවරයා ආණ්ඩුව වෙත දැඩි දෝෂදර්ෂණයක් එල්ල කරන්නේ මහින්ද රාජපක්ෂ පාර්ශ්වය විසින් බුද්ධි අංශ අකර්මණ්‍ය කළ බවට සිදුකරමින් පවතින චෝදනා තවදුරටත් විද්වත් ආකාරයට ශක්තිමත් කරමිනි. කෙසේවෙතත් ඔහු බුද්ධි අංශයේ 5000ක් පමණ සිිටින බව පැවසුවද එහි ඇත්ත කාර්යමණ්ඩලය 12,000ක් බව ආණ්ඩුවේ ඇතැම් නායකයන්ගේ ප්‍රකාශ අනුව හෙළි වේ. රාජපක්ෂවාදින් විසින් සිය පාලනය තුළ සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් වූ ආරක්ෂක හමුදා සාමාජිකයන් අතර බුද්ධි අංශ නිලධාරින් සංඛ්‍යාව 10 දෙනකු පමණ වේ. එසේම අප සතු තොරතුරු අනුව, ඇත්ත වශයෙන්ම එවැනි අපරාධකාරී කටයුතුවලට සහභාගිවුවද චෝදනා ලබා හෝ තවමත් චෝදනා නැතිව සිටින සාමාජිකයන් සංඛ්‍යාව 40ක් පමණ වෙතැයි නිල නොලත් සංඛ්‍යාලේඛන හෙළිකරයි. මේ අතුරින් වැඩි පිරිසක් ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයාගේ ඍජු අධික්ෂණය යටතේ නිල නොවන මෙහෙයුම්වල නිරතවූවන් බවද කියැවේ.

රොහාන් ගුණරත්න විසින් මෙසේ අදහස් දක්වමින් “තවදුරටත් රාජපක්ෂවාදින් ගෙන යන මතය සවිමත් කිරීමේ කාර්යයක යෙදී සිටිනවාද නැතිනම් විදේශ ඔත්තුසේවා සහභාගි කරගෙන මෙරට ආරක්ෂාව සහතික කළයුතුය“ යන එක්සත් ජනපදයට අවශ්‍ය මතය තහවුරු කිරීමේ ක්‍රියාමාර්ගයක යෙදී සිටිනවාද යන්න පැහැදිලි නැත.