தமிழ்
English
Contact
Thursday 28th January 2021    
රෝගීන්ගෙන් ඇඳන් පිරෙයි - රෝහල් ධාරිතාවය ඉක්මවන ලකුණු | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

රෝගීන්ගෙන් ඇඳන් පිරෙයි – රෝහල් ධාරිතාවය ඉක්මවන ලකුණු



කොවිඩ් රෝගීන් වෙනුවෙන් රජයේ රෝහල් 12ක් තුළ ඇඳන් 1581ක් වෙන් කර තිබු අතර මේ වනවිට එයින් ඇඳන් 1328ක් රෝගීන්ගෙන් පිරී පවතින බව කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය පවසයි. ඒ අනුව කොවිඩ් රෝගීන් වෙනුවෙන් තවත් ඉතිරිව ඇත්තේ ඇඳන් 253ක් පමණකි. කොළඹ අයි.ඩී.එච් රෝහල තුළ ඇඳන් 120ක් වෙන්කර තිබුණත් එහි ධාරිතාව ඉක්මවා යමින් රෝගීන් 160ක් ඇතුළත් කර තිබේ. මේ අනුව ඉදිරි දින කිහිපය තුළ වැඩිවැඩියෙන් රෝගීන් වාර්තා වුවහොත් සෞඛ්‍ය සේවය අර්බුදයකට මුහුණ පානු ඇත. පෙරේදා කොවිඩ් ආසාදිතයන් 103ක් වාර්තා වූ අතර ඊයේ රෝගීන් 121 දෙනෙකු වාර්තා විය. අද සහ හෙට දිනයන්හිදීත් රෝගීන් 100 ඉක්මවා වාර්තා වුවහොත් දැනට පවතින ධාරිතාව ප්‍රමාණවත් නොවනු ඇත.  

කොවිඩ් රෝගීන් සඳහා වන ඇඳන් සංඛ්‍යාව 3000 සීමාව දක්වා වර්ධනය කිරීමට කඩිනම් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව ඊයේ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රාදේවී වන්නිආරච්චි මහත්මිය මාධ්‍ය වලට පැවසුවාය. නමුත් මෙය ගොදනිලි සහ ඇඳන් වෙන් කිරීම පිලිබඳ ප්‍රශ්නයකට සීමා නොවන අතර සෞඛ්‍ය කාර්ය මණ්ඩල සහ වෛද්‍ය උපකරණ අවශ්‍ය ප්‍රමාණය නොමැති වීමේ ප්‍රශ්නයකි. ලංකාවෙන් වාර්තා වන බොහෝ රෝගීන් රෝග ලක්ෂණ බරපතල ලෙස නොපෙන්වීම අමතර වාසියක් ලෙස පවතින නමුදු රෝහල් ධාරිතාව ඉක්මවා යාම අර්බුදයකට මග පාදනු ඇති බව වෛද්‍යවරුන්ගේ මතයයි.