தமிழ்
English
Contact
Tuesday 25th January 2022    
රෝහල් කනිෂ්ට සේවකයෝ හෙට සේවයෙන් බැහැර වෙති! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

රෝහල් කනිෂ්ට සේවකයෝ හෙට සේවයෙන් බැහැර වෙති!



රෝහල් කනිෂ්ඨ කාර්ය මණ්ඩල හෙට (09) දිනයේ පෙ.ව. 8.00 සිට දහවල් 12.00 දක්වා සේවයෙන් බැහැර වීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹීමට තීරණය කළ බව ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමය පවසයි.

මේ අනුව, දිවයිනපුරා පිහිටි රෝහල් 42 කට ආසන්න රෝහල්වල සේවය කරන කනිෂ්ට කාර්ය මණ්ඩල සේවයෙන් ඉවත්වනු ඇත. වසර ගණනාවක් සිට නොවිසදුනු ගැටලුවලට අදාළව ඉල්ලීම් 11ක් වෙනුවෙන් පසුගිය කාලයපුරාම මෙම වෘත්තීය ක්‍රියාමාර්ග ලෙස උද්ඝෝෂණ, පාගමන්, සාකච්ඡා පැවැත්වුවද මේ වන තෙක් නිසියාකාර විසදුමක් ආණ්ඩුව විසින් ලබා නොදීම හේතුවෙන් මෙවැනි තීන්දුවකට එළඹූනු බව ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ටැම්පිටියේ සුගතානන්ද හිමියන් පවසයි. ඇතිව තිබෙන කොවිඩ් වසංගත අවදානම හේතුවෙන් එම ඉල්ලීම් 11 ඉල්ලීම් කිහිපයක් ඉවත් කර අත්‍යඅවශ්‍ය ඉල්ලීම් ඉදිරිපත්කර ඇති බව ඒ හිමියන් වැඩිදුරටත් පෙන්වා දෙයි.

හෙට දිනයේ සේවයෙන් ඉවත්වීමට අදාළ ඉල්ලීම් වන්නේ

  • දෙවසරක් තිස්සේ ස්ථිර නොකළ අනියම්, ආදේශක සේවකයන් වහා ස්ථිර කිරීම.
  • සියලූ සෞඛ්‍ය සේවකයන්ට කොවිඩ් අවදානම් දීමනාවක් ලබා ගැනීම.
  • ප‍්‍රවාහන, එන්නත්කරණ සහ ආරක්ෂිත උපකරණ ගැටලූ වහාම සහ සේවක හිගය පියවා ගැනීම.
  • සතියේ වැඩකරන අමතර පැය 08 ට වැටුපෙන් 01/30 ක දීමනාවක් ලබා ගැනීම.

යන ඉල්ලීම්ය.
මෙම මේ ඉල්ලීම් මුල් කරගෙන ජාතික රෝහලතුල ආරම්භ කළ සත්‍යග්‍රහයට බාධා පමුණුවමින් එම අට්ටාලයද පසුගියදා රාත්‍රියක පොලිසිය විසින් ඉවත්කර තිබිණි. මේ අතර ඉහත සේවක ඉල්ලීම් ඉතා සාධාරණ ඉල්ලීම් බවත් මේවා දේශපාලන අධිකාරිය විසින් කළයුතු බවත් සෞඛ්‍ය සේවක අධ්‍යක්ෂ ජනරාල්වරයා පවා පිළිගෙන ඇති බව සුගතානන්ද හිමි ‘ලංකාවීව්ස්’ වෙත පැවසීය.

එබැවින් මේ ඉල්ලීම් සම්බන්ධයෙන් ඉක්මනින් තීරණයක් ලබාදිය යුත්තේ ආණ්ඩුව බවත් ආණ්ඩුව දිගින් දිගටම මේ ප්‍රශ්න තම මහහරිමින් සහ මිලිටරිකරණය යොදාගනිමින් සේවක අරගල මැඩ පැවැත්වීමට උත්සාහ කරමින් සිටින බවත් සුගතානන්ද හිමියන් පෙන්වා දෙයි. කෙසේවුවද, මෙම සාධාරණ ඉල්ලීම් ම් දිනා ගන්නා තෙක් කුමන බාධක පැමිණියද සියලු සෞඛ්‍ය සේවකයන් සමග එක්ව අඛණ්ඩව අරගල කරන බවද ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමයේ ප්‍රධාන ලේකම් හිමි අවධාරණය කරයි.